ශ්‍රී ලංකාව සංචාර සිදුකිරීම සඳහා සුරක්ෂිත ස්ථානයක් මෙන්ම, සාප්පු සවාරි යාමට සුරක්ෂිත තැනක්. අනිත් සියලුම රටවල් මෙන් ශ්‍රී ලංකාව ද සුරක්ෂිත යැයි මාලදිවයිනේ කතානායක මොහමඩ් නෂීඩ් මහතා පවසයි.
ඒ මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවක දීමේ බව කීය.
පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සඳහා මාලදිවයිනේ ඉහළම රාජ්‍ය නියෝජිතයෝ පිරිසක් පසුගියදා (15) ශ්‍රී ලංකාවට පැමිණි අතර කතානායක සහ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, උප ජනාධිපති ෆයිසාල් නසීම් සමඟ මාලදිවයින් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මේ දූත පිරිසට අයත් වූහ.
මේ දූත පිරිස මෙරටට පැමිණියේ අගමැති වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුවය.
ජාතික රාජ්‍යයන් දැන් මුහුණ දෙන ප්‍රශ්න අතරින් සැබැවින්ම විශාලතම ප්රශ්නය ත්‍රස්තවාදය බවත් දකුණු ආසියාවේ තත්ත්වය ඒ අතින් විශේෂ බවත්, මේ පිපිරීමට රටාවක් දක්නට නොමැති බවත් මේ කාරණා නිසා අතීතයේ දක්නට ලැබූ එල්.ටී.ටී.ඊ. පිපිරීම්වලට මේවා සමාන කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
හොඳ කාලයේ දී මෙන්ම නරක කාලයේ දී ත් අප ඔබ සමඟ ඉන්නවා. අපේ රටේ සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර ගොඩනැඟීමේ දී ශ්‍රී ලාංකික විශේෂඥයන් අප සමඟ සිටියා. ඒ නිසා ඔබ අපේ රටේ ඉතිහාසයේ කොටසක් බව මම කියන්න කැමැතියි. ශ්‍රී ලංකාව තිබුණා වගේම සුරක්ෂිතව තිබෙන බව මුළු ලෝකයටම අපි හඬගා කියනවා යැයි උප ජනාධිපති නසීඩ් කීවේය.
අයිඑස් සහ අනිත් ත්‍රස්ත සංවිධානවලින් තර්ජනය තිබෙන බව අප දැනගෙන සිටියා. මාලදිවයින් ආණ්ඩුව වැඩි සැලකිල්ලෙන් මේ ගැන නිරීක්ෂණය කරමින් සිටියා. අයිඑස් තර්ජන ගැන කතා කරන විට, එයට සම්බන්ධ අය කාගේ කවුද ඉන්නේ කොහේද කරන්නේ මොනවාද යනාදී කාරණා අපගේ ආණ්ඩුව දැනගෙනයි හිටියේ.
කලාපයේ අයි එස් ත්‍රස්ත බලවේගය මර්දනය කිරීම වෙනුවෙන් මාලදිවයින නිතරම ශ්‍රී ලංකාවේ බලධාරීන් සහ අන්තර්ජාතික ආයතන සමඟ සහයෝගයෙන් ක්‍රියා කරනවා යැයි කීවේය.
50ත් 250ත් අතර මාලදිවයින් වැසියන් පිරිසක් සිරියාවේ සහ ඉරාකයේ අයිඑස් ත්රස්තයන් සමඟ එක් වී සටන් කරන බවත්, ඔවුන් යම් දිනෙක නැවත මාලදිවයිනට පැමිණියහොත් ජාත්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වන බවත්, සිරියාවේ කඳවුරුවල 30ත් 40ත් අතර දරුවන් පිරිසක් දුක් විඳිමින් සිටින බවත් නෂීඩ් වැඩිදුරටත් කීවේය.
පාස්කු ප්‍රහාරයට එකදු මාලදිවයින් ජාතිකයකු වත් ලක් වී නොමැති බවද හැමදෙනාම උත්සාහ කරන්නේ තමන්ගේ වීසා දීර්ඝ කරගැනීමට බවත් බෝම්බ ප්‍රහාරය සිදු වූ වහාම දැඩි කළ වීසා නීති දැන් ලිහිල් කරමින් ඇති අතර එය තවදුරටත් ලිහිල් කරන්නේ නම් සතුටු වන බවත් නෂීඩ් කීවේය.
මංජුලා ප්‍රනාන්දු සහ බුද්ධි කරුණාරත්න
0 Comments