ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර කණ්ඩායම්වලට සිය දස්කම් මුවහත් කරගැනීමට ලබා දී ඇති පුහුණු තරග අද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කාඩිෆ් නුවර පැවැත්වෙන තරගයෙන් ආරම්භ වෙයි. දෙපිල අතර පැවැත්වෙන මේ පුහුණු තරගය ලෝක කුසලාන තරගාවලියේදී දෙපාර්ශ්වයේම පිතිකරුවන් සහ පන්දු යවන්නන්ගේ දස්කම් මැන ගැනීමට ලැබෙන කදිම අවස්ථාව ද වෙයි.
ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන සංචාරය අතරතුර ස්කොට්ලන්තය සමග පැවැති එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිල අද තරගයට එක්වන්නේ ඉහළ මානසිකත්වයකින් යුතුවය. තරග දෙකකින් සමන්විත එම තරගාවලියේ පළමු තරගය වර්ෂාව නිසා අතහැර දැමුවද දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නෝ ද ඔවුනොවුන්ගේ දස්කම් උරගා බැලීමට එය අවස්ථාව කරගත්හ.
වසර හතරකට පසුව එක්දින තරගයකට ක්‍රීඩා කළ නායක දිමුත් කරුණාරත්න එම තරගයේදී පන්දු 88කින් ලකුණු 77ක් රැස් කරමින් ලකුණු අතරට පැමිණීමට සමත්වීම ශ්‍රී ලංකා පිතිකරු අංශයේ සැනසිල්ලට හේතුවනු ඇත. කණ්ඩායමේ සෙසු පිතිකරුවන් මෑත කාලයේ ජාත්‍යන්තර එක්දින පිටියේ ක්‍රීඩා කර තිබුණත් දිමුත්ගේ දස්කම් ටෙස්ට් පිටියට පමණක් සීමාවී තිබිණි.
ස්කොට්ලන්ත තරගාවලියට එක්නොවූ ශ්‍රී ලංකා පිලේ වේගපන්දු තුරුම්පුව ලසිත් මාලිංග අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර අයි.පී.එල්. තරග බිමේ දැක්වූ දස්කම් එංගලන්තයේදී ද පෙන්වනු ඇතැයි කණ්ඩායම බලාපොරොත්තු සහගතව පසුවෙයි. ඔහුගේ සහයට සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් ද සිටිති. ස්කොට්ලන්ත තරගයේදී නුවන් ප්‍රදිප් කඩුලු 4ක් දවාලූ අතර තරගයේ වීරයා බවටත් පත්විය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පිලේ පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ පැවැති එක්දින තරගාවලිය 5-0කින් පරාජය වීමේ අමිහිරි මතකය ස්කොට්ලන්ත තරගයෙන් මකාදැමීමට නොහැකි එකකි. එම තරගාවලියේ තරග 4කදීම ඕවර 50 ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් අසමත්වූ අතර අංක 9 පිතිකරු ලෙස ක්‍රීඩා කළ තුන්ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානගේ වේගවත් පිතිහරඹයක නිරතවෙමින් සිවුවැනි තරගයේදී ලකුණු 78ක් රැස් කිරීම හැරුණු විට කිසිදු පිතිකරුවකු ශතකයක් රැස් කළේ ද නැත. මේ හේතුවෙන් අද තරගය එක් අතකට ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට දකුණු අප්‍රිකානු වැනි වේගවත් පන්දු යවන්නන් සිටින කණ්ඩායමකට එරෙහිව යළි හිස ඔසවාගැනීමට හැකිවන්නේ නම් එය වේගවත් තණතීරු සහිත එංගලන්ත භූමියේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට කදිම පිටුවහලක් වනු ඇත.
ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වේදනාත්මක අත්දැකීම් ඇති කණ්ඩායම බවට පත්වී සිටින දකුණු අප්‍රිකාව මෙවර එංගලන්තය බලා පැමිණියේ අතීතය අමතක කර දමමිනි. දකුණු අප්‍රිකානු පිලේ නායක ෆෆ් ඩු ප්ලෙසි මෙවර සිය කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යනු ඇතැයි විචාරකයන් අනාවැකි පළ කර ඇති බැවින් අද තරගය ඇතුළු පුහුණු තරගවලදී ඔවුන් දක්වන දස්කම් තීරණාත්මක සාධකයක් වනු ඇත.
දකුණු අප්‍රිකානු පිල පිතිහරඹය, පන්දු යැවීම හා පන්දු රැකීම අංශ තුනෙන්ම එක හා සමාන දස්කම් පෙන්නුම් කරන සමබර කණ්ඩායමක් ලෙස ප්‍රකටය. ඔවුන්ගේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඩේල් ස්ටේන් සමග කගීසෝ රබාඩා සහ ලුන්ගි එන්ගිඩි මෙන්ම මේ වසරේ අයි.පී.එල්.තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්වූ ඔවුන්ගේ දඟපන්දු තුරුම්පුව ඉම්රාන් තාහීර් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රතිවාදී කණ්ඩායම්වලට දැඩි තර්ජනයක් වනු ඇත. අද පුහුණු තරගයේදී මේ තර්ජනයට මුහුණ දීමට ශ්‍රී ලංකා පිලට ද සිදුවෙයි.
අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වන අතර එය ‘චැනල් අයි’ රූපවාහිනී සේවයේ සජීවිව විකාශය කෙරේ.
ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර පුහුණු තරගයත් අද බ්‍රිස්ටල් හී දී පැවැත්වීමට නියමිතය.

0 Comments