Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තරු සරසන තරු

අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ඇත්තේ තවත් දින 2ක් පමණි. තවත් දින දෙකකින් 12 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ දී සහ වේල්සයේ දී ආරම්භ වන්නේ රටවල් 10ක් තරග බිමට එක් කරලමිනි. සෑම ලෝක කුසලාන තරගාවලියකදීම තරු බිහිවෙයි. නමුත් ඒ තරු දීප්තිමත් කිරීමට උර දෙන පුහුණුකරුවන් ගැන කතා බහට ලක් වන්නේ ඉතා අඩුවෙනි. එක් එක් කණ්ඩායම්වල නායකයන් තම සගයන්ගේ දස්කම් නිරීක්ෂණය කරමින් සිටින අතරතුර සිය කණ්ඩායම සාර්ථකත්වය කරා ගෙන යමින් රටෙහි කීර්තියත්, තම ගෞරවයත් දෙකම ආරක්ෂා කරගැනීමට සෑම කණ්ඩායමකම පුහුණුකරුවෝ බලාපොරොත්තු වෙති. මේ සටහන් වන්නේ වැඩි අවධානයට ලක් නොවන, එහෙත් ලෝක ශූරයන් බිහි කිරීමේ විශාලතම වගකීම කරමත පටවාගත් කණ්ඩායම් පුහුණුකරුවන් ගැනය.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාව

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ජනප්‍රියතම කණ්ඩායම නොවූව ද ලොව ඉහළම පුහුණුකරුවන් අතර ජනප්‍රියත්වයක් දිනාගැනීමට සමත්වූ පුහුණුකරුවන් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ද වේ.

ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම් සිය ක්‍රීඩකයන් සැහැල්ලුවට ගන්නේ නම් එය ඔවුන් විසින් සිදු කරනු ලබන අත් වැරද්දක් වනු ඇතැයි හතුරුසිංහ කියයි. වසර 2017 දෙසැම්බරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ 50 හැවිරිදි හතුරුසිංහ ඉදිරියේ ඇති විශාලතම අභියෝගය ලෝක කුසලානයයි.

වසර 1991 සිට 1999 දක්වා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ආරම්භක පිතිකරුවකු හා මැදපෙළ පිතිකරුවකු ලෙසත් ටෙස්ට් තරග 26කට, එක්දින තරග 35කට ක්‍රීඩා කර ඇති හතුරුසිංහ පන්දුවෙන් ද කැපී පෙනෙන දස්කම් පෑවේය. ඔහු පුහුණුකාර වෘත්තිය ආරම්භ කළේ 2005 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ පුහුණුකරු ලෙසය. අනතුරුව ඔහු ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වූ අතර 2009දී ජ්‍යෙෂ්ඨ සහාය පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායමට එක්වූයේ වර්තමානයේ එංගලන්ත පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ට්‍රෙවර් බේලිස් යටතේය. එහෙත් ඊළඟ වසරේදී තනතුර අහිමිවීමෙන් පසුව ඔහු 2011 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිවුසවුත් වේල්ස් ප්‍රාන්ත පිලේ සහාය පුහුණුකරු ලෙස පත්විය.

හතුරුසිංහ සිය පුහුණුකාර වෘත්තියේ නිම් වලලු පුළුල් කරගත්තේ 2014දී බංග්ලාදේශ පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් පසුවය. ඒ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පසුබෑමකට ලක්ව සිටි බංග්ලාදේශ පිල ඉහළට ඔසවා තැබූ හතුරුසිංහ එරට ජාතික වීරයකුගේ තත්ත්වයට පත්විය. ඔහු ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වන්නේ ඉන් පසුවය.

ට්‍රෙවර් බේලිස් - එංගලන්තය

මෙවර එක්දින ලෝක කුසලානය ඩැහැ ගනු ඇතැයි දැන් දැන්ම අනාවැකි පළවන්නට පටන් ගෙන ඇති සත්කාරක එංගලන්ත පිලේ ප්‍රධාන පුහුණුකරු ට්‍රෙවර් බේලිස් ය. ඔයින් මෝගන්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත පිල දශක 4කට පසුව මෙවර පළමුවරට ලෝක කුසලානය දිනාගනු ඇතැයි විචාරකයෝ පවා කියති. 56 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික බේලිස්ගේ දැන් අපේක්ෂාව වී ඇත්තේ සිය කණ්ඩායමට ඓතිහාසික ජයක් ගෙන දෙමින් එංගලන්තයේ ගෞරවය දිනාගැනීමටය.

පිතිකරුවකු හා පිටදඟ පන්දු යවන්නකු ලෙස ඔහු ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පිල වෙනුවෙන් පළමුපෙළ තරග 58කට ක්‍රීඩා කළේය. අනතුරුව ඔහු 2004දී එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර 2007දී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්විය. වසර 4ක කාලයක් ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ බේලිස් 2011දී ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය දක්වා යාමට විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළේය. වසර 2015දී එංගලන්ත පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ බේලිස් වර්තමාන එක්දින ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තය අංක එක ස්ථානයට පත් කරවීමට සමත්වූ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේ ජනප්‍රියතම පුහුණුකරුවා බවට පත්වී සිටී.

රවී ශාෂ්ත්‍රී - ඉන්දියාව

කවුරුත් කියන්නේ එංගලන්තය මෙවර ලෝක කුසලානය ජය නොගන්නේ නම් නිසැකවම එය ඉන්දියාව සතු වනු ඇති බවය. විරාත් කෝලිගේ නායකත්වයෙන් මෙවර තරගාවලියට සහභාගි වන ඉන්දීය පිලේ පුහුණුකරු ලෙස විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරමින් සිටින්නේ රවී ශාෂ්ත්‍රිය.

ඒ මොහොතේ පවතින තත්ත්වයට නම්‍යශීලී වීම තම පිලේ මන්ත්‍රය බව පවසන 56 හැවිරිදි ශාෂ්ත්‍රී 1983දී ඉන්දියාව පළමුවරට ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සාමාජිකයකු විය. ඔහු 1981 සිට 1992 දක්වා කාලයේදී ඉන්දීය පිල නියෝජනය කරමින් ටෙස්ට් තරග 80කට සහ එක්දින තරග 150කට ක්‍රීඩා කළේය.

ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවකු වූ ශාෂ්ත්‍රී 1985දී එවකට කොදෙව් පිලේ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් තැබූ ඕවරයක හයේ පහර හයේ වාර්තාව පළමුවරට සම කළ පිතිකරුවා ය. ඔහු 2017දී ඉන්දීය පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමට පෙර කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබිණ.

ජස්ටින් ලැන්ගර් - ඔස්ට්‍රේලියාව

ආරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ 48 හැවිරිදි ජස්ටින් ලැන්ගර් විසිනි. වසර 1993 සිට 2007 දක්වා ඔස්ට්‍රේලියානු පිල නියෝජනය කළ ලැන්ගර් පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දස්කම් පාමින් ටෙස්ට් තරග 105කට සහ එක්දින තරග 8කට ක්‍රීඩා කර තිබේ.

පන්දු රැකීම අතින් ඔස්ට්‍රේලියානු පිල ඉහළටම ඔසවා තැබීමට සමත්වූ මේ පුහුණුකරුවා තම කණ්ඩායමෙන් පරිස්සම් වන්නැයි මෙවර තරගාවලියට එක්වී සිටින ප්‍රතිවාදී කණ්ඩායම්වලට අනතුරු අඟවා තිබේ. ඔහු 2016දී ඔස්ට්‍රේලියානු පිලේ තාවකාලික පුහුණුකරු ලෙස වැඩ බැලූ අතර පසුව පසුගිය වසරේ මැයි මාසයේදී කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නිල වශයෙන් පත්විය.

ඔටීස් ගිබ්සන් - දකුණු අප්‍රිකාව

එක්දින ලෝක කුසලාන ඉතිහාසය පුරාම අවාසනාවන්ත ශාපයකට හසුවී සිටින දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේදි ඉන් මුදවා ගන්නා බව කියන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු50 හැවිරිදි ඔටීස් ගිබ්සන් එංගලන්තයට පැමිණ සිටින්නේ එම අභියෝගය කරපින්නා ගෙනය.

බටහිර ඉන්දීය කොදෙව් වැසියකු වන ගිබ්සන් 1995 සිට 1999 දක්වා කාලයේදී කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් තරග 2කට සහ එක්දින තරග 15කට ක්‍රීඩා කර ඇති වේග පන්දු යවන්නෙකි. හෙතෙම 2007දී එංගලන්ත පිලේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර පසුව කොදෙව් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්විය. ඔහු නැවතත් 2015දී එංගලන්ත පිලේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර 2017 අගෝස්තුවේදී දකුණු අප්‍රිකානු පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස තනතුර බාර ගත්තේය.

ගැරී ස්ටීඩ් - නවසීලන්තය

මීට වසර 4කට පෙර අවසන් වරට පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයන් වූ නවසීලන්තය නැවතත් එම අත්දැකීම ලබා දීමේ බලාපොරොත්තුවෙන් පසුවන නවසීලන්ත පිලේ ප්‍රධාන පුහුණුකරු 47 හැවිරිදි ගැරී ස්ටීඩ් 1999 දී පිතිකරුවකු ලෙස නවසීලන්ත පිල වෙනුවෙන් ටෙස්ට් තරග 5කට ක්‍රීඩා කර ඇත.

ඔහු මීට පෙර නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එරට පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත්වූයේ පසුගිය වසරේ අගෝස්තුවේදීය.

මිකී ආතර් - පාකිස්තානය

පාකිස්තාන පිල මෙවර තරගාවලියේදී අවසන් කණ්ඩායම් හතරට එක්වනු ඇතැයි දැඩිව විශ්වාස කරන දකුණු අප්‍රිකානු ජාතික 51 හැවිරිදි මිකී ආතර් පාකිස්තානු පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූයේ 2016 මැයි මාසයේදීය.

1986 සිට 2001 දක්වා දීර්ඝ කාලයක් පුරා දකුණු අප්‍රිකානු දේශීය තරග බිමේ විශිෂ්ට පිතිකරුවකු වූ ආතර් පළමුපෙළ තරග110කට ක්‍රීඩා කර තිබේ. ඔහු එරට ඊස්ටර්න් කේප් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සිය පුහුණුකාර වෘත්තීය ආරම්භ කළේ 2003දීය. ඔහු 2013දී ඔස්ට්‍රේලියානු පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර පාකිස්තාන පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ බාර ගත්තේ 2016 මැයි මාසයේදිය.

ස්ටීව් රෝඩ්ස් - බංග්ලාදේශය

මෙවර තරගාවලියේ විශ්වාසවන්තම කණ්ඩායම බංග්ලාදේශ පිල බව පවසන එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු 54 හැවිරිදි එංගලන්ත ජාතික ස්ටීව් රෝඩ්ස් 1989 සිට 1995 දක්වා කාලයේදී එංගලන්ත පිල වෙනුවෙන් ටෙස්ට් තරග 11කට සහ එක්දින තරග 9කට ක්‍රීඩා කර ඇති කඩුලු රකින පිතිකරුවෙකි. වසර 2005දී එංගලන්තයේ වෝරික්ෂයර් ප්‍රාන්ත පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිය පුහුණුකාර වෘත්තිය ආරම්භ කළ රෝඩ්ස් බංග්ලාදේශ පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූයේ පසුගිය වසරේ ජූනි මාසයේදීය.

ෆ්ලොයිඩ් රයිෆර් - කොදෙව් පිල

මෙවර තරගාවලියේදී සිය කණ්ඩායම පන්දු යැවීමෙන් සාර්ථකත්වයක් ලබා ගනු ඇතැයි විශ්වාසයෙන් පසුවන 46 හැවිරිදි ෆ්ලොයිඩ් රයිෆර් කොදෙව් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූයේ පසුගිය මාසයේදීය.

1997 වසරේ සිට 2009 දක්වා කාලය තුළ වරින් වර කොදෙව් පිල නියෝජනය කළ රයිෆර් තුන්ඉරියව් ක්‍රීඩකයකු ලෙස ටෙස්ට් තරග 6කට සහ එක්දින තරග 8කට ක්‍රීඩා කළේය.

පිල් සිමන්ස් - ඇෆ්ගනිස්තානය

පළමු වරට ඇෆ්ගනිස්තානය එක්දින ලෝක කුසලාන තරගාවලියට රැගෙන යමින් සිය කාර්ය භාරය අකුරටම ඉටු කළ කොදෙව් ජාතික 56 හැවිරිදි පිල් සිමන්ස් එරට විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයකු විය. ඔහු 1988 සිට 1997 දක්වා කාලය තුළ කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් තරග 26කට සහ එක්දින තරග 143කට ක්‍රීඩා කළේය. මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඇෆ්ගනිස්තාන පිලේ පුහුණුකාර තනතුරෙන් සමුගැනීමට බලා සිටින සිමන්ස් එම තනතුරට පත්වූයේ 2017 වසරේදීය.

ඔහු ඊට පෙර 2004දී සිම්බාබ්වේ පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, 2007දී අයර්ලන්තයේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කළ අතර 2015 අගභාගයේදී කොදෙව් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් 2016 විස්සයි20 ලෝක කුසලානය කොදෙව් පිලට දිනාගැනීමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නේය.

ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();