ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සදම්ටන්හිදී සහභාගිවූ අවසන් පුහුණු තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 5කින් පරාජයට පත්විය.
පළමුව පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා පිල ලබාදුන් ලකුණු 240ක ඉලක්කය ඕවර 44.5කදී සපුරා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වෙද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බිඳ දමාගත හැකි වූයේ කඩුලු 5ක් පමණි.
ලකුණු 240ක ඉලක්කය හඹා යෑම ඇරැඹු ඔස්ට්‍රේලියානු ඉනිමේදී නායක ඒරන් ෆින්ච් (11) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 16කට සීමා කිරීමට නුවන් ප්‍රදීප් සමත්වුවත් ජයග්‍රහණයේ අඩිතාලම දැමූ ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට තවත් අවශ්‍යව තිබුණේ ලකුණු 22ක් පමණි. ඔහු, ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ ස්ටම්ප් කිරීමකින් දැවී ගියේය.
පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමගින් ලකුණු 89ක් රැස්කළ කවාජා, දෙවැනි කඩුල්ලට ෂෝන් මාෂ් සමගින් ලකුණු 80ක්, ග්ලේන් මැක්ස්වෙල් සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 65ක සහ මාකස් ස්ටොයිනිස් සමග සිවුවැනි කඩුල්ලට ලකුණු 42ක සබඳතා ගොඩනැගීය.
හතරේ පහර 3ක් සමගින් පන්දු 46කින් ලකුණු 34ක් ලබාසිටි මාෂ්, ධනංජය ද සිල්වාගේ පන්දුවකට මිලින්ද සිරිවර්ධන අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. මැක්ස්වෙල් ලකුණු 36කටත්, ස්ටොයින්ස් ලකුණු 32කටත් දවා ගැනීමට මිලින්ද සිරිවර්ධන සහ ජෙෆ්රි වැන්ඩසේ සමත් වූහ. ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 18ක් සහ පැට් කමින්ස් නොදැවී ලකුණු 9ක් ඉනිමට එක් කළහ.
එංගලන්ත සහ ස්කොට්ලන්ත සංචාරයේදී වසර 4කට පසුව එක්දින පිටියට පිවිසෙමින් සාර්ථක පිතිකරුවකු ලෙස පිට පිට තරග 2කදී අර්ධ ශතක රැස්කළ නායක දිමුත් කරුණාරත්නගේ ඉනිම ලකුණු 16කින් නතර කළ කේන් රිචඩ්සන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 44කට සීමා කළේය.
පළමු පුහුණු තරගයේදී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිස ලකුණු නොලබා දැවීගිය කුසල් ජනිත් පෙරේරා ඊයේ අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසියද ඔහුගේ ඉනිම ලකුණු 12කට සීමාවූයේ ග්ලේන් මැක්ස්වෙල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම හේතුවෙනි.
ඊයේ දිමුත් සමගින් ඉනිම ආරම්භ කළ ළහිරු තිරිමාන්න ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වනවිට ලකුණු 56ක් ලබා තිබිණි. පන්දු 69කට මුහුණදී හතරේ පහර 7ක් එල්ලකර සිටි ඔහු නේදන් ලියොන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. කුසල් මෙන්ඩිස් ලකුණු 24ක් ලබාසිටියදි ඇඩම් සම්පා හමුවේ නේදන් ලියෝන් උඩ පන්දුවක් රැක ගැනීමෙන් සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර පන්දු යැවූ ස්ටීවන් ස්මිත් විසින්ම උඩ පන්දුවක් රැක ගැනීමෙන් ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම ලකුණු 17කට සීමා විය. මුළු ලකුණු 161 වෙද්දී ජීවන් මෙන්ඩිස් (21) දැවී ගියේ ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසිනි. අනතුරුව පිටියේ එක්වූ ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා පන්දු 56කින් ලකුණු 64ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. පන්දු 33කදී හතරේ පහරක් සමගින් ලකුණු 27ක් රැස්කරගෙන සිටි තිසර දැවී යෑමෙන් එම සබඳතාව නිමාවට පත්විය. ධනංජය ද සිල්වා 8 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ හතරේ පහර 4ක් සමගින් පන්දු 41කින් ලකුණු 43ක් ලබා සිටියදීය.
එංගලන්තය කඩුලු 9කින් දිනයි
මේ අතර ඊයේ ලන්ඩන් හිදී පැවැති පුහුණු තරගයේ ඇෆ්ගනිස්තානය පරදවා කඩුලු 9ක පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්තය සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕවර 38.4කදී ලකුණු 160කට සීමා කළ සත්කාරකයෝ කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ ඕවර 17.3ක් පමණක් වැය කරමිනි.
වේගවත් ඉනිමක් දියත් කළ ජේසන් රෝයි නොදැවී ලකුණු 89ක් රැස් කළේ පන්දු 46කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය. ජෝ රූට් නොදැවී ලකුණු 29ක් රැස්කළ අතර දැවී ගිය එකම පිතිකරු වූ ජොනි බෙයාර්ස්ටෝ පන්දු 22කින් ලකුණු 39ක් වාර්තා කළේය.
මොහොමඩ් නබි පන්දු 42කදී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 44ක් රැස්කරමින් ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.
පන්දු යැවීමේදී ජෝ රූට් ලකුණු 22කට කඩුලු 3ක් සහ ජොෆ්රා ආචර් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්හ.
ශ්‍රී ලංකාව - 239/8 (ඕවර 50) ළහිරු තිරිමාන්න 56 (ඇඩම් සම්පා 39/2)
ඔස්ට්‍රේලියාව - 241/5 (ඕවර 44.5) උස්මාන් කවාජා 89 (ජෙෆ්රි වැන්ඩසේ 51/2)
0 Comments