Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පවතින ගැටලු විසඳීමට රජය මනා කළමනාකාරීත්වයකින් කඩිනම් තීන්දු ගත යුතුයි

උපාලි කරුණාරත්න

පවතින ගැටලු විසඳීම සඳහා රජය මනා කළමනාකාරීත්වයකින් කඩිනම් තීන්දු ගත යුතු බව පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවැසීය.

ෂාෆි වෛද්‍යවරයා වඳ සැත්කම් 4000ක් රාජ්‍ය අංශයේ රෝහල්වල කළා කියන සිද්ධිය පිළිනොගන්නා බවද කී රත්නප්‍රිය මහතා වඳ සැත්කම් පිළිබඳ ප්‍රකාශ කරන්නන් ඒ පිළිබඳ සොයා බලා තම අදහස් දැරිය යුතු බවද වැරදි තොරතුරු හේතුවෙන් ජනවර්ග අතර ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවිය හැකි බවද කීය.

පසුගිය දිනක අගමැතිවරයා හමුවී 21 දින ප්‍රහාරය සම්බන්ධව සාකච්ඡා කළ බවද කී සමන් රත්නප්‍රිය මහතා මේ පිළිබඳ තේරීම් කාරක සභාවේ වාර්තාව සඳහා නිශ්චිත කාල රාමුවක් වෙන් කරන ලෙස ඉල්ලීමක් කළ බවද ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයෙකු සිදුකළ වඳ සැත්කම් පිළිබද චෝදනාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය නිහඩව නොසිට වහ වහා සොයා බලා ජනතාවට සත්‍ය තත්ත්වය පහදා සිය යුතු බව වමේ කේන්ද්‍රයේ චමීර පෙරේරා මහතා පැවැසීය.

මේ අදහස් පළ වූයේ ඊයේ(27) රාජගිරිය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා-

එක රටක් තුළ එක් ක්‍රමයක්, එක් නීතියක් එක් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියන ස්ථාවරයේ අප කටයුතු කරනවා. 21 දින සිදුවූ පාස්කු ප්‍රහාරයත් සමඟ ඇතිවූ ගැටළුව නියමාකාරයෙන් විසදීමට බලධාරීන් කටයුතු කරනවාද කියා ජනතාව විමසිලිමත්ව සිටිනවා. ඒ වගේම ජන ජීවිතයද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ප්‍රහාරයත් සමඟ සංචාරක ව්‍යාපාරයට මුස්ලිම් ජාතිකයින්ගේ ව්‍යාපාරයන්ට ගැටලු මෙන්ම රටේ ආර්ථිකයටද යම් බලපෑමක් ඇතිවී තිබෙන බව පෙනී යනවා.

අප අගමැතිවරයාගෙන්, ආණ්ඩුවෙන් 21 දින සිදුවූ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට තේරීම් කාරක සභාවක් ඉල්ලා සිටියා. එය මේ වන විට පත්කර තිබෙනවා. මේ තේරීම් කාරක සභාවට විපක්ෂය නියෝජනය වන්නෙ නැහැ. ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජනාධිපතිවරයාද අදාළ සිදුවීම පිළිබඳ සොයා බලන්න කොමිසමක් පත් කළා. පාර්ලිමේන්තුව 21 සිදුවීම පිළිබඳව සොයන්න සුදුසුම ස්ථානයයි. පාර්ලිමේත්තුවේ සියලු පක්ෂවල නියෝජනය වනවා. විපක්ෂය ඇතිවූ තත්ත්වයට පිළිතුරු සොයන්න කැමැතිද අකමැතිද කියන ගැටලුව මේ අවස්ථාවේ අපට තිබෙනවා.සිදුවූයේ කුමක්ද කියා සොයා බැලීමට එක්වන්න කියා අප විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. පසුගිය දිනෙක අප අගමැතිවරයා හමුවුණා. මෙම තේරීම් කාරක සභාව ප්‍රතිළුල නැති එකක් වෙන්න බැහැ කියා එහිදී අප සිවිල් සමාජ ලෙස අවධාරණය කළා. නිශ්චිත කාල රාමුවක් වාර්තාව දෙන්න වෙන් කරන්න කියා අප ප්‍රකාශ කළා. රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට එල්ලවී තිබෙන විශ්වාශ භංග යෝජනවා පිළිබඳව අතුරු වාර්තාවක් සති දෙකක් තුළ කැදවන බවත් සති තුනක් තුළ මේ කාර්යයට අදාළව තවත් අතුරු වාර්තාවක් කැඳවන්න අපත් එක්ක එකඟ වුණා. කාලරාමුවක් දා ගැනීම පිළිබඳ අපට යම් එකඟතාවයක් තිබෙනවා. කුමක්ද සිදුවුණේ කියන එක අප සොයා ගත යුතුයි. එවැන්නක් ඇතිවීම යළි වලක්වා ගන්න ඕනෙ.

එක රටක් එක ජාතියක් අපට අවශ්‍යයි. ශ්‍රී ලාංකික ජාතියක් සහ සමාජයක් අප නිර්මාණය කළ යුතුයි. ජාතිකත්ව, ආගමික පදනම මත සිතීම මෙයට බාධාවක්. අමෙරිකාව අමෙරිකානුවක් ලෙසද ඉන්දියානුවන් ඉන්දියානුවන් ලෙසද සිතනවා. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය, නීතිය සහ දේශපාලනික ක්‍රමයද මේ තත්ත්වයට බලපානවා. මේවා තුළ යල්පැන ගිය දේ තිබෙනවා. අධ්‍යාපනයේදී විවිධ ජාතිකත්ව පදනමින් පාසැල් පවත්වාගෙන යනවා. වෙනත් ආගමික සාමාජිකයින් ඉතා අඩු පිරිසක් ඒවායේ සිටිනවා. මේ ක්‍රමය ගැලපෙන්නෙ නැහැ. අදාළ නීති රීති වලට අනුව පාසැලක අවට සිටින දරුවන් බඳවා ගත යුතුයි. මිශ්‍ර පාසැල් ක්‍රමය පවත්වාගෙන යාම මෙහිදී ඉතාම වැදගත්.

පවතින දේශපාලන ක්‍රම පිළිබඳවද ආණ්ඩුව සලකා බැලිය යුතුයි. පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන ආයතන ආදී විවිධ දේශපාලන ආයතන තිබෙනවා. මෙතරම් ගණනක් නඩත්තු කළ යුතුද කියන ප්‍රශ්නය පැන නගිනවා. පවතින තත්ත්වය යටතේ ස්ථාවර ආණ්ඩුවක් පිළිබඳවද අවධානය යොමු කිරිම ඉතා වැදගත්. මෙය රටට ඉතා වැදගත්. නිවැරදි මැතිවරණ ක්‍රමයක්ද අපට අවශ්‍යයි. මිශ්‍ර කේවල ක්‍රමය පිළිබඳව කල්පනා කළ යුතුයි.

වඳ සැත්කම් පිළිබඳ ප්‍රකාශ කරන්නන් ඒ සොයා බලා ප්‍රකාශ කළ යුතුයි. වැරදි ප්‍රකාශ නිසා ජනවර්ග අතර ගැටුම් ඇතිවිය හැකියි. සැත්කමක් කරන අවස්ථාවේ ශෛල්‍යාගාරයක විවිධ කොටස් සිටිනවා. හෙද නිලධාරීයෙක් නිලධාරිනියක් මෙහිදී ශෛල්‍ය උපකරණ දෙනවා. සීසේරියන් සැත්කමක් කරන විටත් වඳ සැත්කමක් කරන විටත් අවශ්‍ය ශෛල්‍ය උපකරණ වෙනස් ශෛල්‍යාගාරයක වැරදි වුනොත් අපටත් දුරකතන ඇමැතුම් එනවා. මේ රටේ එක් දරුවෙකු සිටින හා දරුවන් නොමැති මවුවරුන් ලක්ෂ ගණනක් සිටිනවා. මේ තත්ත්වය ඇති කළේ, අත්අඩංගුවට පත් ෂාපී වෛද්‍යවරයාද. මොහු වරදක් කර තිබෙනවා නම් අනිවාර්යයෙන්ම දඩුවම් ලබාදිය යුතුයි. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. හැබැයි වඳ සැත්කම් 4000ක් කළා කියන එක අප පිළිගන්නෙ නැහැ. හැබැයි ෂාපි නිදහස් කිරීමේ උවමනාවක් අපට නැහැ. වඳ සැත්කම් කලා කියා හාමුදුරුවරුන්ට තොරතුරු තිබෙනවා නම් අදාල පරීක්ෂණ අංශවලට ලබාදිය හැකියි. මේ පිළිබඳ ප්‍රකාශ කරන ස්වාමීන් වහන්සේගෙන් තොරතුරුද ලබා ගත හැකියි.

වමේ කේන්ද්‍රයේ චමීර පෙරේරා මහතා-

වඳ සැත්කම් හාරදහසක් පිළිබඳ විශාල ප්‍රචාරයක් මේ දිනවල සිදුවෙනවා. වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගැනීමක්ද සිදුවුණා. මේ ප්‍රචාරයත් සමඟම දේශපාලන වෛද්‍යවරුන් පිරිසක්ද එළියට පැමිණ තිබෙනවා. ඇතැම් පිරිස් මිත්‍යාවන්ද මෙම අවස්ථාවේදී ප්‍රචාරය කරමින් සිටිනවා. වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කරනවා. සිසේරියන් සැත්කමක් කරන අවස්ථාවේ ඒ සඳහා රෝහල් කාර්ය මණ්ඩකයේ විවිධ පිරිස් සහභාගි වනවා. එවන් අවස්ථාවක සියලු දෙනාමට නොදැනෙන්න වඳ සැත්කම් කරන් පුලුවන්ද කියන ගැටලුව තිබෙනවා. හාරදහසකටම වඳ සැත්කම සිදුකර තිබෙනවා නම් එම තොරතුර සොයා ගත්තේ කෙසේද කියන ගැටලුවද ඇතිවෙනවා.

තමන්ට අවශ්‍ය දේශපාලන මත පෙරට ගෙන යාම සඳහා මිත්‍යාවන් වැපිරීමට ඇතැමි පිරිස් කටයුතු සිදුකරනවා. වෛද්‍යවරයෙක් යම් කාලයක් තුළ හොර රහසේ වඳ සැත්කම් සිදුකර තිබෙනවා කියා සැකයක් තිබෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකළ හැකියි. සෞඛ්‍ය අමාත්‍යාංශයටද මේ සඳහා මැදිහත් වෙන්න පුලුවන්. ඇති වී තිබෙන ගැටලුකාරී වාතාවරණය තුළ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය හොරගල් අහුලනවා. ඔවුන් සිංගප්පූරු ගිවිසුම, බලය බෙදා හැරීම පිළිබඳවද කතා කළා. ඒත් මෙම වඳ භාවයට පත් කිරීමේ සිද්ධිය පිළිබඳව කතා බහක් නැහැ. ඒ පිළිබඳ ඔවුන් කරුණු සොයා බැලිය යුතුයි. සත්‍ය තත්ත්වය රටටට පැහැදිලි කළ යුතුයි.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සහ අබ්දුලි රසීක් එකම කාසියක දෙපැත්තක් වශයෙන් හැදින්විය හැකියි. මේ දෙදෙනාම අන්තවාදය පෝෂණය කරනවා. මේ දෙදෙනාටම මුදල් ලැබුණෙ එකම තැනකින්. මේ දෙදෙනාම අත්අඩංගුවේ සිටිය යුතුයි. මොවුන් සමාජය තුළ වෛරය වපුරනවා. නැවත මේ රට කැලෑ නීතියට යන්න ඉඩ දෙන්න බැහැ. පෙර අධ්‍යක්ෂවරයෙක්ගේ උපදෙස් මත කැලෑ නීතිය ගෙන එන්න කාටවත් ඉඩ දිය නොහැකියි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නියෝජිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රණවීර පතිරණ මහතා-

2015 ජනවාරි 08 දින සාධාරණ සමාජයක් ගොඩ නැගීම ආරම්භ කළා. 83 වැනි කළු ජූලියකට මේ රට ගෙන යන්න ඇතැමුන් කටයුතු කරනවා. රට තුළ කලබලයක් ඇතිකර ඒ තුළ දේශපාලනය කිරීමටද ඇතැමුන් උත්සාහ ගන්නා බවක් පෙනෙනවා. විපක්ෂයේ ඇතැමුන් කියන ආකාරයට ඇමරිකාවට මේ රටේ ඉඩම් ගන්න බැහැ. එදා පදිංචි සිටි ස්ථානවළින් ජනතාව පළවා හැරියේ ගෝඨාභය මහත්මය. රටතුල පතුරුවන මිත්‍යාව පිළිබඳ සැබෑ තතු මාධ්‍යයන් විසින් ජනතාවට පැහැදිලි කළ යුතුයි. විමල් කියන්නෙ අමෙරිකාව රට කෑමට පැමිණෙන බව. ඔහු ජනතාවට බොරු බිල්ලන් මවා පෙන්වනවා.

ඡායාරූපය- රුවන්ද සිල්වා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();