එකිනෙකාට ඇඟිලි දිගු කරන්නේ නැතිව සියලුදෙනාම එකතු වෙලා මෙම කුරිරු ත්‍රස්තවාදයට විරුද්ධව එක සිතින් කටයුතු කළොත් මෙම ප්‍රශ්නය පහසුවෙන් විසඳා ගැනීමට පුළුවන් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක නගර සැලසුම් ජලසම්පාදන හා උසස් අධ්‍යපන ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.
වත්මන් කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ හකීම් මහතා, මෙවැනි අන්තවාදී සංකල්පයක් මුස්ලිම් සමාජය තුළ ඇති කරන්නට මේ කල්ලිය උත්සාහ කළත් ඒ සම්බන්ධව අතිබහුතරය ආකර්ෂණය නොවන බව අපට විශ්වාසයි. එවැනි මතයකට මුස්ලිම් සමාජය තුළ පැවැත්මක් නෑ. මෙය මුලිනුපුටා දමන්න පුළුවන්.
මේ අයව අත්අඩංගුවට ගන්න කියලා මෙතෙක් දුරට අපේ සමාජයෙන්ම ලබා දුන්න තොරතුරු පිළිබඳව සැලකිලිමත් නොවීම අපේ බුද්ධි අංශයේ හා නීතිය ක්‍රියාත්මත කළ යුතු පාර්ශ්වයන්ගේ විශාල පසු බැස්මක් සහ පරාජයක් බවත් කියන්න පුළුවන්.
මුස්ලිම් සමාජය මෙතෙක් මෙවැනි පුද්ගලයන් ගැන අනතුරු හඟවා තිබුණා. එහෙත් මෙතරම් ධනයක් හා අපරාධකාරී බලයක් එක්වරම ලබාගනිවී කියලා හිතුවේ නැති බව ඇත්තක්. අපිත් මේ ප්‍රශ්නය නිවී සැනසිල්ලේ විසඳාගත හැකි ප්‍රශ්නයක් විදිහට මුලින් සැහැල්ලුවට ගත්තා විය හැකියි. ඒත් මේ මහා අපරාධය නිසා අපි හැමෝගේම ඇස් දැන් විවෘත වෙලා තියෙනවා. අපි පිළිගන්න ඕන මේ ප්‍රශ්නය බරපතළ ලෙස නොදැකීම ගැන රජයේ ඉහළම තලයේ සිට පහළ මට්ටමේ සාමාන්‍ය මනුස්සයා දක්වා සියලුදෙනාම තම තමන්ගේ මට්ටම්වලින් වගකිව යුතු බවත්.
ඔවුන්ගේ සැලසුම් ගැන මාධ්‍ය නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් හකීම් මහතා,
විමර්ශන කටයුතුවල නිරත වෙන බුද්ධි අංශයේ අය, ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානීන් වැනි අය කතා කරද්දී පැවසුවේ කවදාවත් මෙවැනි තාක්ෂණික දැනුමක් මේ රටේදී ලබා ගන්න බැරි බවයි. මේක ඉතාම සැලසුම් කළ ප්‍රහාරයක්. පුපුරන ද්‍රව්‍ය මොනවාද පාවිච්චි කළ යුතු ප්‍රමාණය ආදිය මෙන්ම ඒ ප්‍රහාර එල්ල කළ තැන්වල උපරිම මිනිස් ඝාතන සිදු කිරීම සඳහා කුරිරු සැලසුම් ඔවුන්ට තිබිලා තියෙනවා. මේකට පුහුණුව ලබා දීම හොඳ දැනුමක් තියෙන විදේශික ත්‍රස්තවාදීන් කර ඇති බව පැහැදිලියි.
අනෙක් අතට මෙතරම් සංවිධානාත්මක ප්‍රහාරයක් මාසයකින් දෙකකින් කළහැක්කක් නොවෙයි. ත්‍රස්තවාදීන්ව දිරිමත් නොකළ යුතු නිසා මම ඒ විස්තර වැඩි වශයෙන් කියන්නේ නැහැ. එහෙත් ඉතාම කුරිරු හා අමානුෂික ලෙස ඔවුන් සැලසුම්සහගත වී තිබෙන බව පෙනෙනවා. ඔවුන් හැකි තරම් මිනිස් ඝාතන සිදු කරලා. ඒකේ ම්ලේච්ඡභාවයම ජාත්‍යන්තරයට පණිවුඩයක් ලෙස යවන්න උත්සාහ කරලා තියෙන බව පෙනෙනවා. මොකද වෙනත් කිසිදු අරමුණක් ඔවුන් ප්‍රසිද්ධ කරලා නැහැ.
0 Comments