Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දක්ෂයන් හා බුද්ධි අංශ ඒකරාශී කරගෙන කටයුතු කළ යුතුයි

රටේ විනාශකාරී ක්‍රියාවක් සිදුව ඇති මේ අවස්ථාවේ දී අන්තවාදය වැපිරීමට කටයුතු නොකර, පාට පක්ෂ බේද නොසලකා, සරත් ෆොන්සේකා වැනි දක්ෂ පුද්ගලයන් මෙන්ම බුද්ධි අංශ නැවතත් ඒකරාශී කරගෙන අවදියෙන් කටයුතු කළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

පොලිස්පතිවරයා නිසි පරිදි සිය රාජකාරිය ඉටු කළා නම් මෙවැනි විනාශයක් සිදු නොවෙන්නට ඉඩ තිබුණු බව ද හෙතෙම පැවැසීය.

දිවංගත ලලිත් ඇතුලත්මුදලි ශ්‍රීමතාණන්ගේ 26 වැනි ගුණානුස්මරණ පින්කමට සහභාගි වෙමින් ලලිත් ඇතුලත්මුදලි සමරු පදනම් කේන්ද්‍රයේ දී 23දා ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

මේ සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියාව සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක් කර තිබියදීත් ඒ සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ග නොගත්ත බවට චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. ඒ සම්බන්ධ යම් ගැටලුවක් ඇතිවී තිබෙන බවට අපි මේ වන විට දැනුවත් වෙලා තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් නිකරුණේ එකිනෙකාට බණින්නේ නැතිව, සැබෑ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. මේ අවස්ථාවේදී පොලිස්පති නිසි පරිදි සිය රාජකාරිය ඉටු කළා නම්, මෙවැනි විනාශකාරී කටයුත්තක් සිදු නොවෙන්න තිබුණා. නිසි පරිදි සොයා බලා, ගැටලුව හරියාකාරව හඳුනාගෙන ක්‍රියා කිරීම අප සතු කාර්යයක්. රජයක් වශයෙන් ඒ තීරණ අපි බය නැතිව ගන්නවා. මේ අවස්ථාවේ දී අන්තවාදය වපුරන්නේ නැතුව, පාට පක්ෂ බේද සලකන්නේ නැතිව සරත් ෆොන්සේකා වැනි දක්ෂ පුද්ගලයන් මෙන්ම බුද්ධි අංශ නැවතත් ඒකරාශී කරගෙන අවදියෙන් කටයුතු කළ යුතුයි. යම් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවානම්, තරාතිරම නොබලා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව බය නැතිව කටයුතු කරනවා.

ඉදිරි දැක්මක් සහිතව, රට වෙනුවෙන් කැපවෙලා කටයුතු කළ හැකි ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයන් ශ්‍රී ලංකාවට නැතිවීමේ පාඩුව අද අපට පැහැදිලිව පෙනෙනවා. මෙවැනි නායකයන් ආදර්ශයට ගෙන රට වෙනුවෙන් කැපවෙලා, රට ඉදිරියට ගෙනයන්න අප සූදානම් විය යුතුයි. එදා ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයන් රටට දුන් නායකත්වය ආදර්ශයට ගෙන අප ක්‍රියා කළ යුතුයි. රටේ ආර්ථිකය තුළින් අපට සෑහෙන පෙරළියක් කළ හැකියි.

අද රටේ උද්ගත වී ඇති මේ තත්ත්වය පිළිබඳ අප සැලකිලිමත් විය යුතුයි. අපේ රටේ පමණක් නොවෙයි, සමස්ත ලෝකයේම මෙවැනි ත්‍රස්ත ක්‍රියා සිදු වෙනවා. නමුත් මේ පිළිබඳව අප සැලකිලිමත්වී මෙවැනි ක්‍රියා මර්දනයට කටයුතු කළ යුතුයි. නවසීලන්තය, ප්‍රංශය, අමෙරිකාව, එංගලන්තය වැනි රටවලත් මෙවැනි ත්‍රස්ත ක්‍රියා සිදුවෙද්දී, ශ්‍රී ලංකාව පමණක් මෙවැනි දේ නොමැති හුදෙකලා රටක් වෙන්නේ නැහැ. නමුත් අපි ඉදිරි දැක්මක් සහිතව අවධියෙන් සිටිය යුතුයි. කුමන අවස්ථාවේ, කුමන ආකාරයකින් ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙයි ද කියලා අපට කියන්න බැහැ. එදා ලලිත් ඇතුලත්මුදලි මහතා ආරක්ෂක ඇමැති ධුරය දරන අවස්ථාවේ, මෙවැනි දේ පිළිබඳ ඉතාමත් විමසිලිමත්ව කටයුතු කරලා, තීන්දු තීරණ අරගෙන මේ පුංචි ලංකාව රැක ගත්තා.

මෙවැනි අර්බුදකාරී, ශෝකාකූල අවස්ථාවක එකිනෙකාට බැණ ගනිමින්, අන්තවාදීව හිතලා කටයුතු කරන එක නෙමෙයි අවශ්‍ය වන්නේ. අපි සියලු දෙනා එකතුමුතු වෙලා, සුබවාදීව හිතලා එකට ගමන් කරමු. මේ ත්‍රස්තවාදී ක්‍රියාවෙන් ජීවිත අහිමි වූ අපේ අහිංසක ජනතාවගේ ජීවිතවල වටිනාකම මුදලින් මනින්න බැහැ. ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට අපගේ ශෝකය පළ කරන ගමන්ම, නැවත වතාවක් මෙවැනි සාපරාධී ක්‍රියාවන් සිදුනොවන්නට අප වගබලාගත යුතුයි. ඒක තමයි ශ්‍රී ලංකාවට තිබෙන එකම ශක්තිය යැයි පැවැසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();