කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි සිදුවූ ප්‍රහාර හේතුවෙන් මරණයට පත් වූ සහ තුවාල, ලැබූ සියලු දෙනාටම අප පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ ප්‍රහාර සිදුකළවුන්ගේ අරමුණු සාර්ථක කරන්නට ඉඩක් නොතබමින් එම සිදුවීම්වලට තවත් ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිචාර නොදක්වමින් ඉවසීමෙන් කටයුතු කළ ලංකාවේ සිංහල, දමිළ, මුස්ලිම් ඇතුළු සියලු ජනතාවට අපගේ හිස නමා ආචාර කරනවා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂ කාර්යාලයේදි ඉකුත්දා (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අධ්‍යාපන ලේකම්වරයා මෙසේද කීය.
යුරෝපා රටවල මෙවැනි ප්‍රහාර සිදුකරන්නේ තමන්ගේ සංවිධාන වෙත සාමාජිකයන් බඳවාගැනීම සඳහායි. ජනතා ආකර්ෂණය ලබාගන්නයි.
ඒ අතරම මෙවැනි සිදුවීමක් ඇතිවුණාම ඇවිළෙන ගින්නට පිදුරු දමන්නට හෝ ඇවිළෙන රැවුලෙන් සුරුට්ටු පත්තුකරන්න තැත්කරන බලවේග පරාජය කරන්න අප කටයුතු කරන්න ඕනෑ. මොකද 1983 කළු ජූලිය සිදුවීමෙන් පසුව ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබුණු එල්ටීටීඊය වැනි සංවිධානවලට දෙමළ ජනතාවගේ අවධානය හා අනුග්‍රහය ලැබෙන්න පටන්ගත්තා. ඒ නිසා මෙවැනි ප්‍රහාර නිසා සමස්ත මුස්ලිම් ජනතාවම ලක්ෂ ගණනක් ජනයා තෑගි ඔප්පුවකින් අන්තවාදයට ලියා දෙන්න කටයුතු නොකර සමාජ වගකීමකින් කටයුතු කරන්න සියලුදෙනා කටයුතු කළයුතු බව අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ආයාචනා කරනවා, අවධාරණය කරනවා.
ඒ නිසාම මෙවැනි සංවිධානවල ක්‍රියාකාරිත්වය හරහා ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන හා ආරක්ෂක කටයුතුවලට මැදිහත්වීමට බලවතුන්ටත් ඇතැම් ගෝලීය අන්තවාදි බලවේගවලටත් අවස්ථා විවර කර තිබෙනවා. කාලයක් අපි හිතාගෙන හිටියා ලංකාව දූපතක් නිසා ලෝකයේ බලපෑම් අවමයි කියලා. නමුත් මෙවැනි ප්‍රහාර හරහා අපට පෙන්වා දෙනු ලබන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදවමින් මේ රටේ ජනතාව එකිනෙකා මරාගන්න තත්ත්වයකට ඇද දාන්න ලෝක පරිමාණ සැලසුම් ක්‍රියාත්මක වන බවයි. කලාපීය බලය වෙනුවෙන් බලවත් රාජ්‍යයන්ට මේ රටේ තවත් ලේ වැගිරෙන යුද්ධයක් ඇති කරන එක එතරම් දුෂ්කර දෙයක් නොවෙයි. දශක ගණනාවක යුද ගැටුමකින් පසුව අප රටක් වශයෙන් යුද්ධයේ අමිහිරිකම් පිළිබඳ වටහා ගෙන ඉවසීමෙන් සහ සංහිඳියාවේ අගය සම්බන්ධ අවබෝධයකින් කාලය ගතකළත් මෙවැනි ප්‍රකෝපකාරි සිදුවීම් තව එන්න පුළුවන්.
පසුගිය සෙනසුරාදා දක්වා අපට තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කරන ප්‍රතිත්‍රස්ත පනත(CTA) ගැන. සෙනසුරාදා දක්වා වැඩකරන ජනතාව කතාකරමින් හිටියේ ආර්ථික අමාරුකම් ගැන, වැටුප් වැඩිකිරීම ගැන. ඒ වගේම සෙනසුරාදා වෙනකම්ම අපිට තිබුණේ පෞද්ගලික සේවක අයිතිවාසිකම් කප්පාදුකිරීමට සූදානම් වන ආණ්ඩුවේ අලුත් පනත් සංශෝධන ගැන, ඒ වගේම අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් පෞද්ගලික අධ්‍යාපනයට අවස්ථා ලබාදෙන නව අධ්‍යාපන නියාමන කොමිෂන් සභා පනත ගැන, ඒ වගේම මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට අවශ්‍ය ලිනිය ඇක්සලරේටරයක් මිලදී ගැනීමට ජනතාවගේ එක් එක් සාමාජිකයන් රු.50ක් ලබාදීමේ ප්‍රශ්නය ගැන.
මේ සියල්ල මත ඉරිදා දවසේ එල්ල වූ මේ ප්‍රහාර මාලාවෙන් පසුව අපට දැන් බස් රථයක, කෝචිචියක යන්න බැරි මරණ බයක් එකතු වෙලා තියෙනවා. ඒ මරණ බය සහිත අලුත් තත්ත්වය නිසා සෙනසුරාදා දක්වා අපට තිබුණු ප්‍රශ්න අමතක කරදමන්නත් බෑ. ඒ ප්‍රශ්න සියල්ල මැදට මේ අලුත් ප්‍රශ්නය මරණ බය එකතු වෙලා තිබෙනවා.
ඒ අතරම මේ ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ බලධාරීන්ව දැනුවත් කර තිබුණු බවත් මේ සම්බන්ධව පියවර ගැනීමේ දුබලතාවක් ඇති බවටත් චෝදනා නැගී තිබෙනවා. මේ වනවිට සමාජ ජාලවල මේ ප්‍රහාර සම්බන්ධ වේලාසන පොලිසිය විසින් අනතුරු අඟවමින් යැවු ලිපියක් සංසරණය වෙමින් තිබෙනවා. ඒ ලිපිය සත්‍ය එකක් බවට පොලිසිය පිළි අරගෙන නෑ. අගමැතිවරයා නිල ප්‍රකාශයක් කරමින් මේ සම්බන්ධ කටයුතු කිරීමේ දුර්වගතාවක් ඇති බව පිළිඅරගෙන තිබෙනවා. ඒ වගේම හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා කියන ආකාරයට ඉරිදා පාස්කු දේවමෙහෙයට ප්‍රහාර එල්ලවීමට නියමිත බවත් ඒ නිසා පාස්කු දේවමෙහෙයට නොයා සිටින ලෙස ඔහුගේ පියා විසින් අනතුරු ඇඟවූ බවත් කියා සිටියා. ඔහු මාධ්‍ය හමුවකදී කියා සිටියේ පෞද්ගලික රෝහලක සිටි තමන්ගේ පියා පවා මේ ප්‍රහාර ගැන දැනගෙන හිටියා කියලා. ඒ ප්‍රහාර සම්බන්ධ කල්තියා දැනුවත්ව සිටි නිසා මේ රටේ ප්‍රභූන් ඉරිදා පාස්කු දේව මෙහෙයන්ට සහභාගි නොවුණු බව අපි දැන් දන්නවා. එහෙම නම් මේ රටේ ජාතික ආරක්ෂාව කියන්නෙ මොකක්ද කියලා අපිට දැන් අවබෝධයක් ලැබෙනවා. පොලිසිය කියන්නෙත් ප්‍රහාරයක් එල්ල වන්නට නියමිත නිසා ප්‍රභූ ආරක්ෂාව ගැන බලන්න කියලා. මනෝ ගනේෂන් ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා සතියකට කලින් තමන්ගේ ආරක්ෂකයන් මෙවැනි ප්‍රහාරයක අවදානම ගැන දැනුවත් කළා කියලා. ඒ නිසා මේ සිදුවීම් පිළිබඳ පාලකයන් දැනගෙන හිටිය බවත් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ පියවරක් ගන්න හෝ මෙවැනි ප්‍රහාර සම්බන්ධයෙන් වේලාසන ජනතාව දැන්වත් කිරීමට හා ජනතාව විමසිලිමත්ව තබන්න පාලකයන් හෝ ජාතික ආරක්ෂාව සඳහා කියන කිසිදු ආයතනයක් කටයුතු කර නෑ. අපේ බදු මුදලින් ජාතික ආරක්ෂාව සඳහා යයි කියමින් බිලියන ගණන් මුදල් වැය කරන්නේ ඇත්තටම මෙවැනි සිදුවීමකදි ජනතාව ආරක්ෂා කරන්න නෙවෙයි, ප්‍රභූන්, පාලක පන්තියේ ආරක්ෂාව වෙනුවෙන් පමණයි. මේ ප්‍රහාරවලදී ජනතාව සිය ගණනින් මරණයට පත්වුණා, සිය ගණනින් තුවාල ලැබුවා, සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වුණා. විවිධ ආගමික ස්ථාන, හෝටල් ප්‍රහාරයෙන් ආපදාවට පත් වුණා. නමුත් පාලකයන්ට හානියක් වුණේ නැත්තේ ඔවුන් වේලාසනින් මේ ප්‍රහාරය ගැන දැනගෙන හිටියා. ඒ නිසා දැන් විපක්ෂයේ ඇතැම් අය කියනවා මේ සිදුවීම් තමන්ගෙ පාලන කාලයේ සිදු නොවුණ බව. අපි කියනවා, ඔවුන් කියන කාලයෙත් ජාතික ආරක්ෂාව තුළින් ආරක්ෂා කළේ පාලක ප්‍රභූන් පමණයි. හැමදාම ප්‍රහාරවලට ඉලක්ක වෙලා මෙවැනි අසරණ තත්වයට ඇද වැටණේ සාමාන්‍ය ජනතාවයි. ඒ නිසා ජාතික ආරක්ෂාවට මේ අවුරුද්දෙ අයවැයෙනුත් රුපියල් බිලියන 393ක්, බදුආදායමින් දළ වශයෙන් හතරෙන් එකක් වැය කරන්න හදන්නෙ ආරක්ෂක වියදම ලෙසයි. ඒ වැඩිම මුදල වියදම් කරන්නෙ ජනතාව ආරක්ෂා කරන්න නෙවෙයි, පාලකයන් ආරක්ෂා කරන්න බව දැන් පැහැදිලියි. දේවස්ථානවලට ප්‍රහාර එල්ල කරන බව දැනගෙන හිටියා නම් ඇයි ඒවා ආරක්ෂා කරන්න, දේවමෙහෙයට එන සාමාන්‍ය ජනයා ආරක්ෂා කරන්න පියවර ගත්තෙ නැත්තෙ? මේ මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ මණ්ඩල සභික සුජිත් කුරුවිට මහත්වරුද සහභාගි වූහ.

0 Comments