ත්‍රස්ත උවදුර සම්පූර්ණයෙන් රටින් තුරන් කර රට තුළ සාමකාමී සහ නිදහස් පරිසරයක් කඩිනමින් ස්ථාපනය කිරීමේ වගකීම රාජ්‍ය නායකයා ලෙස තමා භාරගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සර්ව ආගමික කමිටුව රැස් වූ අවස්ථාවේදීය.
මේ විනාශකාරී ත්‍රස්තවාදය රටින් මුලිනුපුටා දැමීමට සියලු පාර්ශ්වයන්ගේ සහාය මේ වන විට අප වෙත හිමිව තිබෙන බව ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය. මේ කටයුත්තේ දී තමා මෙරට ආරක්ෂක අංශ පිළිබඳ දැඩි විශ්වාසයක් තබා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, කිසිදු ආකාරයකින් විදේශීය හමුදා මෙරටට ගෙන්වීමට කටයුතු නොකරන බව ද සඳහන් කළේය.
මේ අනපේක්ෂිත අවස්ථාවේ ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතබා සාමාන්‍ය ජනතාව අතර සාමය සහ සංහිඳියාව ගොඩනැඟීමේ වගකීම ඉටුකිරීමට මෙරට සියලු ආගමික නායකයන් කැපවනු ඇති බවට ජනාධිපතිවරයා විශ්වාසය පළ කරන ලදි. මේ ඛේදවාචකය හමුවේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු සියලු කිතුනු පූජකවරුන් මෙන්ම කිතුනු ජනතාව කටයුතු කළ සාමකාමී අන්දම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ ජනාධිපතිවරයා ඔවුන් එමඟින් රටටම ආදර්ශයක් සපයා තිබෙන බව ද පැවැසීය.
රට තුළ මතුව ඇති තත්ත්වය මර්දනය කරමින් ජනතාව අතර සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමට ගතයුතු පියවර පිළිබඳ මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයන් මෙහි දී දීර්ඝ වශයෙන් තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.
මෙහි දී අදහස් දැක් වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ මේ ක්‍රියාවලිය කිසිසේත් ඉස්ලාමීය ජනතාව සිදුකළ එකක් නොවනවා සේම මෙරට බහුතර මුස්ලිම් ප්‍රජාව මේ ත්‍රස්ත ක්‍රියාවන්ට තරයේ විරුද්ධ වන බවත්, මීට වගකිව යුතු ත්‍රස්ත සංවිධානයට එරෙහිව කඩිනම් පියවර ගත යුතු බවත්ය. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙරට බුද්ධි අංශ ශක්තිමත් කිරීමේ වැදගත්කම ද උන්වහන්සේ පෙන්වා දුන් අතර, පසුගිය වසර කිහිපය තුළ සිදු වූ ජාත්‍යන්තර අතපෙවීම් මෙරට බුද්ධි අංශ අඩපණ වීමට ඉවහල් වූ බව ද කියා සිටියහ.
මෙහි දී අදහස් දැක් වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායට අලුතින් එක් වූ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම රටේත්, සමස්ත ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් වෙනස්වීමකට බඳුන් විය යුතු බව තමන්ගේ ද යෝජනාව බවයි. ජාතීන් වශයෙන් බෙදා වෙන් කර ඉගැන්වීම් සිදුකරන පාසල් ඉවත් කළ යුතු බව පෙන්වා දුන් උන්වහන්සේ වෙන් වූ විට භේද ඇතිවනවා මිස එකමුතුකම ඇති නොවන බව පෙන්වා දුන් අතර, භාෂා දැනුම වර්ධනය කිරීම තුළ සමාජයේ සියලුදෙනා අතර විශ්වාසය සහ අවබෝධය ගොඩනැඟිය හැකි බව සඳහන් කළේය.
සමස්ත ලංකා ජයතුල්ලා උලමා සංවිධානයේ සභාපති ෂේක් මව්ලවි රිෂ්විතුමා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ ෂී ත්‍රස්ත සංවිධානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තම සංවිධානය 2014 වසරේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක අංශ වෙත තොරතුරු සැපයූ බවයි. එහෙත් ඒ පිළිබඳ එම කිසිවකුගේ අවධානය යොමු නොවූ බව ද එතුමා සඳහන් කළේය.
මේ අතර මව්ලවි අර්ක්‍රම් නූර් අමීඩිතුමා අදහස් දක්වමින් දිගුකලක පටන් මෙරට මුස්ලිම් ප්‍රජාව රටේ සියලු ජනවර්ග සමඟ සුහදශීලීව සහ සහයෝගයෙන් යුතුව විසූ බවත් ඉතා සුළු පිරිසක් විසින් සිදුකළ මේ ම්ලේච්ඡ ක්‍රියාව හේතුවෙන් සමස්ත මුස්ලිම්වරු අපහසුතාවට පත්ව ඇති බවත් සඳහන් කළේය. එසේම මේ ත්‍රස්ත කණ්ඩායම මැඬලීමට උපරිම සහාය රජයට ලබාදීමට තම වැසියන් සූදානම් බව ද මව්ලවිතුමා වැඩි දුරටත් පැවැසීය.
මෙහි දී අදහස් දක්වමින් කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේ සඳහන් කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් නියෝජිතයන් ද මෙවැනි සාහසික ක්‍රියාවන්ට වගකිව යුතු බව පෙනී යන බවත් පාර්ලිමේන්තු නිල බලයට මුවා වී ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනාධිපතිවරයා දැඩි අවධානය යොමු කළ යුතු බවත්ය.
ආගමික නායකයෝ රැසක් මෙහි දී සර්ව ආගමික කමිටුවට තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය මුළුමනින්ම රටින් තුරන් කර, ජනතාව අතර සාමය සහ විශ්වාසය ගොඩනැඟීමේ වැඩපිළිවෙළේ දී මේ සියලු අදහස් සහ යෝජනා සැලකිල්ලට ගන්නා බවයි.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

0 Comments