නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද (27) සිට මැයි 03 දින දක්වා ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් අඩු පීඩන තත්වයක් වර්ධනයවී ඇති බවත් මේ නිසා අදාළ කාලය තුළ ගංවතුර සුළි සුළං නායයෑම් තත්වයක් ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අවධාරණය කර සිටී.
මෙම පීඩන අවපාතය ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ගමන් කරන බවත් ඊයේ (26) ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති හදිසි මාධ්‍ය හමුව අමතමින් කරුණානායක මහතා එසේ පැවසීය.
මේ තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් නැගෙනහිර හා බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා වර්ධනය විය හැකි බවත් කරුණානායක මහතා කීය.
දකුණු, සබරගමු, වයඹ, උතුරු මැද, නැගෙනහිර හා උතුරු පළාත් වලටත් මෙහිදී මිලිමීටර් 150 කට අධික වැසි බලාපොරොත්තු විය හැකි බවද දකුණු සබරගමුව වයඹ නැගෙනහිර හා උතුරු පළාත්වල ගංවතුර අවධානයක් ඇතිවිය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
අධික වැසි තත්වය හේතුවෙන් නායයෑමේ තත්වයක් ඇතිවිය හැකි බවද මේ පීඩන අවපාතය නිසා නැගෙනහිර, උතුරු මැද, වයඹ හා උතුරු පළාත්වල ගොඩබිම් ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
ආපදා කළමනාකරණ හා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා - ඇතිවිය හැකි ව්‍යවසන තත්වයන් පිළිබඳව ජනතාව සැලකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කාලගුණ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසු වන ලෙසත් දන්වා සිටිනවා. මේවන විට රජය මගින් සියලුම අමාත්‍යාංශ හා ආයතන දැනුවත් කර ඇති බවත් කී ඇමැතිවරයා හදිසි ඇමැතුම් වෙනුවෙන් ආපදා කළමනාකරන අමාත්‍යාංශය හදුන්වාදී ඇති හදිසි දුරකතන අංක 117 වෙත දැනුම් දෙන ලෙසද ඒ මහතා කීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණානායක, වාරිමාර්ග අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න, සෞඛ්‍ය අමාතියාශයේ අතිරේක ලේකම් (සෞඛ්‍ය සේවා) වෛද්‍ය සුනිල්ද අල්විස් ඇතුළු කිහිප දෙනෙක්ද මෙහිදී කතා කළහ.

0 Comments