එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින මාකඳුරේ මදූෂ් හෙවත් මදූෂ් ලක්ෂිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ඔහුගේ පුංචිඅම්මා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) තීරණය කළේය.
වෙනත් කෙනෙකු වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවත්වාගෙන යෑමට ඥාතියෙකුට නොහැකි බැවින් පෙත්සම්කාරියට මෙම පෙත්සම පවත්වාගෙන යෑමට නීතිමය අයිතියක් නැති බවට නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම ඉවත දැමීමට තීරණය කළේය.
ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම ඊයේ (27) කැඳවන ලදී. එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතාවය ඉදිරිපත් කළේය.
සූරියවැව හත්පෝරුව ප්‍රදේශයේ පදිංචිකාරියක වන අබේසේකර විජේසේකර ශ්‍රියානි විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි. විශේෂ කාර්යය බළකායේ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්, නීතිපතිවරයා ඇතුළු පස් දෙනකු මෙහි වගඋත්තරකරුවෝ වූහ. මාකඳුරේ මධූෂ් නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු අතර ඩුබායි රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර උදර්පන ගිවිසුමක් නොපවතින බව පෙත්සමේ සඳහන් කර තිබුණි. එබැවින් මාකඳුරේ මදූෂ් මෙරට රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමක් කළ හොත් එමගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට පෙන්වාදී ඇති පෙත්සම්කාරිය එලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

0 Comments