Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කළේ එජාප ආණ්ඩුවයි

අසේල ලියනගේ

කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනාදීමට හා කාන්තාවන් බලගතු කිරීමට ඉතිහාසයේ වැඩිම වැඩ කොටසක් කළේ එක්සත් ජාතික පක්ෂය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (26) අරලියගහ මන්දිරයේ පැවැති ‘ධනාභිමානී‘ කාන්තා ව්‍යවසායිකාවන් බලගැන්වීමේ සම්මන්ත්‍රණයට එක්වෙමිනි.

එම වැඩසටහන සඳහා දිවයින පුරා සමෘද්ධි සංවර්ධන කොට්ඨාසවලට අයත් සාර්ථක ව්‍යාපාරවල යෙදෙන කාන්තාවෝ 3000කට අධික ප්‍රමාණයක් සහභාගී වූහ. එහිදී ව්‍යාපාර ආරම්භ කරන ආකාරය, ව්‍යාපාර සඳහා නායකත්වය දිය යුතු ආකාරය, ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා අවශ්‍ය ණය මුදල් ලබාදෙන ආකාරය පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා සිදුවිය.

කාන්තා පාර්ශ්වයේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති 50000ක් ක්‍රියාත්මක කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ. එම ව්‍යාපෘති මගින් කාන්තාවන්ට ස්වයං රැකියා අවස්ථා පිළිබඳව දැනුමක් ලබාදී එම ස්වයං රැකිය ආරම්භ කිරීමට දැනුම සහ දිරිගැන්වීම මෙම ‘ධනාභිමානී‘ වැඩසටහන හරහා සිදුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ උපදෙස් මත සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් කාන්තාවන්ට නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ තමයි අද ක්‍රියාත්මක කර තිබෙන ‘ධනාභිමානී‘ වැඩසටහන. එම වැඩසටහන මගින් ඔබ ප්‍රදේශයේ සිටින කාන්තාවන් හට ව්‍යාපාරයක් ආරම්භ කර සාර්ථක ව්‍යවසායිකාවක් වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුවෙනවා. ඒ තුළින් කාන්තාවන්ගේ ආර්ථීක ශක්තිය දියුණු වෙනවා. ඒ මගින් සමාජයේ ආර්ථික මට්ටම දියුණු කරන්න පුළුවන්.

මෙම වැඩසටහන ඉතා උනන්දුවෙන් ක්‍රියාත්මක කිරීමට කැපවීම පිළිබඳව ඇමැති දයා ගමගේ මහතාට විශේෂ ස්තූතිය මම පුදකරනවා. බිම් මට්ටමේ කුඩා ව්‍යාපාර ගණනාවක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අනෝමා ගමගේ අමාත්‍යතුමිය කාන්තාවන් ඉදිරියට ගෙනඒමට විශේෂ උනන්දුවක් දක්වනවා. එතුමිය නිතරම මාත් සමඟ කාන්තාවන්ගේ ගැටලු ගැන සාකච්ඡා කරනවා. අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රිනී තුසිතා විජේමාන්න මහත්මියත් කාන්තාවන්ගේ ගැටලු පිළිබඳව සොයා බලා වැඩකටයුතු කරනවා.

කාන්තාවන්ට බලය ලබාදීමට මේ රටේ වැඩි වැඩ කොටසක් කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. එය තවදුරටත් වැඩිදියුණු කිරීමට තමයි මෙම ධනාභිමානී වැඩසටහන ආරම්භ කළේ. ඒක රජයක ප්‍රතිපත්තියක් විය යුතුයි. මේ රටේ ජනගහනයෙන් බහුතරයක් කාන්තාවන්. නමුත් ව්‍යාපාර කරද්දි පිරිමි අයයි බහුලව ඉන්නේ. කාන්තාවන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිරිමි අයට වඩා හොඳින් තිබෙනවා. ගමේ පිරිමි අයටයි ගමේ බොහෝ තනතුරු තිබුණේ. බහුතරයක් කාන්තාවන් වුණත් බහුතරයක් ව්‍යාපාර කරන්නේ පිරිමි අයයි. මෙන්න මේ වෙනස පිළිබඳවයි රජය අවදානය යොමුකර තිබෙන්නේ. මේ වෙනස මේ ආකාරයටම දිගටම තිබුණොත් කාන්තාවන්ට විශාල අසාධාරණයක් වෙනවා වගේම සමාජයේ බහුතරයකට අසාධාරණයක් වෙනවා. ඒ නිසා තමයි අපි තීරණය කළේ කාන්තා නියෝජනය ප්‍රාදේශිය සභා මට්ටමෙන් ඇතිකරන්න. ඒ සඳහා බොහෝ දෙනකු විරුද්ධ වුණා. 2015 වසරේදීත් බොහෝ අය විරුද්ධ වුණා.

එක්සත් ජාතික පක්ෂයේ මට හිටියේ මන්ත්‍රීවරුන් 45යි. අපි කිව්වා කාන්තා නියෝජනය ලබාදෙන්නේ නැතිනම් අපි ඡන්දෙකට යනවා කියා. අන්න එතනදි තමයි කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමට එදා තහවුරු වුණේ. ඒ කාන්තා නියෝජනය නිසා අද එක එක පක්ෂවලට අයිති කාන්තා නියෝජිතයන් බිහිවුණේ. එදා එක්කෙනෙක් නැතිනම් දෙන්නෙක් හිටපු ප්‍රාදේශීය සභාවල අද 25%ක් ඉන්නවා. ඒක කාන්තාවට ලැබුණු විශාල බලයක්.

කාන්තා සහභාගීත්වය අනිවාර්ය කළ ක්‍රමවේදයේ විශාල අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩුකම් සංශෝධනය කරන්න අවශ්‍යයි, නිවැරදි කරන්න අවශ්‍යයි. ප්‍රාදේශිය සභා හා පළාත් සභාවල කාන්තා නියෝජනය ඒ ආකාරයෙන් තිබෙනවා නම් පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන් පත්කරගැනීම එතරම් අමාරු කාරණයක් නෙමෙයි. ඒ වගේම කාන්තා නියෝජිතයන්ට වගකීමක් තිබෙනවා ප්‍රදේශයේ කාන්තාවන්ට උදවු උපකාර කරන්න. අද දේශපාලන වශයෙන් මෙම ‘ධනාභිමානී‘ වැඩසටහන හරහා පියවර ගෙන තිබෙනවා.

වතුකරයේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඇඟලුම් කර්මාන්තයේ තවත් විශාල පිරිසක් සිටිනවා. සෞඛ්‍ය අංශයේ කාන්තාවන් සිටිනවා. ගුරු අංශයෙන් බහුතරයක් කාන්තාවන් සිටිනවා. නමුත් ඒ සෑම ආයතනයකම ඉහළ තනතුරුවලට යෑමේදී කාන්තා නියෝජනය අඩුවී තිබෙනවා. ඒ නියෝජනය වැඩි කරන්න අපේ අයවැයෙන් යෝජනා කර තිබෙනවා කොටස් වෙළෙඳපළේ ගනුදෙනු සඳහා කාන්තාවන් යොමුකරන්න. අන්න එහෙම තමයි අපි කන්තාවන් බලවත් කිරීම කරන්නේ. ඒ වගේම ආර්ථික වශයෙනුත් අපි කාන්තාවන් බලගතු කරනවා.

ආර්ථීක වශයෙන් කාන්තාවන් බලගතු කිරීමේ එක් වැඩසටහනක් තමයි ‘ධනාභිමානී‘ වැඩසටහන. ඒ හරහා මේ රට තුළ ව්‍යාපාරිකයන් තුන්දාහක් බිහිවෙනවා. එම වැඩකටයුතු කිරීමට තමන් සාර්ථක වෙන්න ඕනා. රජය සිටිනවා ඒ සඳහා උදවු කරන්න. අපි ඒ වගේම ක්‍රියාකරගෙන යනවා රටේ දිවා සුරකුම් මධ්‍යස්ථාන ඇතිකරන්න. ඒ සඳහා ලෝක බැංකුවේ අධාර අපට ලැබෙනවා. කාන්තාවන් ඒ සදහා සම්බන්ධ විය යුතුයි. තමන්ගේ දරුවන් ඒ සඳහා ඇතුළත්කරගත යුතුයි. මේ අයවැයෙන් විදෙස් රටවල සිටින අයටත් අපි ණය මුදල් ලබාදී තිබෙනවා ගෙවල් සෑදීම සඳහා. මැදපෙරදිග බහුතරයක් කාන්තාවන් මුදල් හොයන්න පිටරට යනවා. ඒ සඳහා සහන ක්‍රමයකට මුදල් දෙනවා නිවාස හදන්න.

මේ රටේ ශ්‍රමිකයන් දිහා බැලුවොත් කාන්තා සහභාගීත්වය අඩුයි. කාන්තා සහභාගීත්වය වැඩිකළ යුතුයි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දිහා බැලුවාම කාන්තා සහභාගීත්වය වැඩියි. අන්න ඒක දැන් අපි වැඩිකරගෙන යනවා. කාන්තා සහභාගීත්වය වැඩිවෙන්න වැඩිවෙන්න රටේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩිවෙනවා. කාන්තාවන් නැතිව ආර්ථිකය දියුණු වෙන්නේ නෑ. කාන්තාවන් සමඟ රට ඉදිරියට ගෙනයෑම රජයේ ප්‍රතිපත්තියක්.

අපි මේ කෙටි කාලයේදී කාන්තාවන්ට දේශපාලන නියෝජනය ලබාදී තිබෙනවා. කාන්තාවන් වෙනුවෙන් නීති ක්‍රියාත්මක කරගෙන යනවා. ආර්ථික වශයෙන් කාන්තාවන් ශක්තිමත් කරනවා. මේ ආකාරයට සාධනීය වැඩසටහන් කාන්තාවන් සඳහා කළ විට කාන්තාවන්ට මෙන්ම රටේ ආර්ථික දියුණුවට අවශ්‍ය මඟ පෑදෙනවා.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා,

කාන්තාවන්ට ව්‍යාපාර කරගෙනයෑම සඳහා වෙනම ණය පහසුකමක් ලබාදෙන්න 26දා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. එදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණයක් ගත්තා අපි බලයට ආවට පස්සේ පළාත් සභා හා පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක් කරනවා කියලා. 2015 මැතිවරණ වේදිකාවේත් අපි ඒ පොරොන්දුව ඔබට දුන්නා. අද ඒ සෑම පළාත් සභාවකම, ප්‍රාදේශීය සභාවකම කාන්තාවන් 25%ක් සිටිනවා.

මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ඇඟලුම්, තේ, රබර්, මැදපෙරදිග රැකියා යන කාර්මාන්තවල නිරතවෙන්නේ කාන්තාවන්. ඔවුන් තමයි රටේ ප්‍රධාන විදේශ විනිමය ගෙනෙන අය. කාන්තාවට විශාල ශක්තියක් තිබෙනවා. එම ශක්තිය කාන්තාවට නොතේරුණත් පිරිමි වර්ගයාට හොඳට තේරෙනවා. මොකද පවුලේ බර සම්පූර්ණයෙන්ම දරන්නේ කාන්තාවන්.

එදා ජේ. ආර් ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය රටට හඳුන්වා දුන් කාලයේ ඇඟලුම් කර්මාන්ත රට පුරා ඉදිකරද්දි විපක්ෂයේ අය කිව්වේ ලංකාවේ තරුණ, තරුණියන් පිටරටවල කාන්තාවන්ට යට ඇදුම් මහනවා කියලා. අදත් 43%ක් ඩොලර් උත්පාදනයට අපනයන භාණ්ඩ ලෙස සේවාවක් දක්වන්නේ ඇඟලුම් කර්මන්තයයි. අගමැතිතුමගේ සංකල්පයක් තිබෙනවා කාන්තාවන්ට ගෙදර සිට ආදායම් ඉපදවිය හැකි ස්වයං රැකියා හඳුන්වා දෙන්න අවශ්‍යයි කියා.

මම ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හරහා කාන්තාවන් දිරිගැන්වීම සඳහා විශාල ව්‍යාපෘති 50000ක් වසර තුනක් තුළ ආරම්භ කිරීමට අගමැතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වුණා. මේ සඳහා ලෝක බැංකුවෙන් මුදල් ලැබුණා. මෙම වැඩසටහන්වලින් රජය බලාපොරොත්තු වෙන්නේ පවුලේ ආර්ථික දියුණුව මෙන්ම අපනයන ආදායම ඩොලර් බිලියන 30ක් කිරීමට 2022 වර්ෂය වන විට. අපි ආණ්ඩුව බාරගනිද්දි තිබුණේ ඩොලර් මිලියන 9300යි. මේ වන විට අපි ඩොලර් මිලියන 19000ක් කිට්ටු කර තිබෙනවා. අගමැතිතුමාගේ අරමුණ තමයි 2020 වර්ෂය වන විට අපනයන ආදායම ඩොලර් මිලියන 23000ක් කිරීමයි. අපි 2020 අන්තිම වන විට රජයේ ක්‍රියාත්මක වන සැලසුම් අනුව එම සීමාව ඉක්මවීමට හැකිවන බව කියන්න කැමතියි.

මහින්ද රාජපක්ෂ මහතා 2005දී රට බාරගන්න විට රටේ ආර්ථිකයේ 38% තිබූ අපනයන ආදායම 2015 වන විට 12%ක් දක්වා කඩාවැට්ටීමයි. සංවර්ධනය කියා මහාලොකුවට පසුගිය ආණ්ඩුවෙන් කළ දෙයක් නෑ. ඔක්කොම බොරු කළේ.

ඛනිජ තෙල් සම්පත් නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය,

‘ධනාභිමානී‘ වැඩසටහනේ ප්‍රධාන අරමුණු දෙකක් තිබෙනවා. එකක් තමයි සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හරහා කාන්තාවන්ගේ ආර්ථිකය දියුණු කිරීමට වැඩසටහන් හඳුන්වාදීම සහ වැඩිදුරට පුහුණුවක් ලබාදීමයි. එය සාර්ථක කරගැනීමට අමාත්‍යාංශවල නිලධාරීන් විශාල සේවාවක් කැපවීමක් කරනවා. එයින් ප්‍රයෝජන ගන්නා ලෙස මම කාන්තාවන්ට කියනවා.

අනෙක් පරමාර්ථය කාන්තාව ශක්තිමත් කිරීමයි. අපි තදින් විශ්වාස කරනවා අපේ රටේ කාන්තාව පිටරට යැවීම විශාල වරදක් ලෙස. ඒක අපි නවත්වනවා. එය නැවැත්වූයේ නැතිනම් සාර්ථක පවුල් ජීවිතයක් ගෙනයන්න අමාරුයි. දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටෙනවා. අතේ මුදල් නැතිනම් කිසිදු ශක්තියක් නෑ, මානසිකව වැටෙනවා. එය සම්පූර්ණයෙන් නැවැත්වීමට තමයි අපි මෙම වැඩසටහන් ගෙනාවේ.

සකසුරුවම් අතින් කාන්තාව ඉතා ඉහළයි. ගෙදර දොරේ වැඩකටයුතු අරපිරිමැස්මෙන් කරගෙන පුංචි මුදලක් හෝ ඉතිරි කිරීමට කාන්තාව දක්ෂයි. ඒ නිසා කාන්තාවට ව්‍යාපාර ආරම්භ කිරීමේ දැනුම ලබාදී ව්‍යාපාර ආරම්භ කරලා තමන්ගේ අතට මුදලක් ලබාදීමේ වැඩසටහනක් තමයි සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ‘ධනාභිමානී‘ වැඩසටහන ආරම්භ වී තිබෙන්නේ.

ජාය­ාරූප - හිරන්ත ගුණතිලක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();