හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව විමර්ශන දැනටමත් සිදුකර අවසන් අතර ඉදිරියේ දී ඔහුට එරෙහිව අධිකරණය හමුවෙහි අධි චෝදනා ගොනුකිරීමට කටයුතු කරන බව නීතිපතිවරයා ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
ළමයින් 11 දෙනකු නාවික හමුදා නිලධාරීන් විසින් පැහැරගැනීමේ සිද්ධියට අදාළව ලැබුණු ව්‍යාජ පැමිණිල්ලක් මත තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා මේ බව කියා සිටියේය.
අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම කැඳවන ලදී.
පෞද්ගලික හේතූන් මත මෙම පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් තමා ඉවත්වන බව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය. ඒ අනුව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නොමැති වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවෙහි මෙම පෙත්සම ලබන මාර්තු මස 07 දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නීතිපති ඇතුළු පිරිසක් නම් කර සිටිති.
නාවික හමුදා නිලධාරින් පිරිසක් විසින් ළමයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට දැන ගැනීමට ලැබුණු බවත්, ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස නාවික හමුදා පොලිස් ප්‍රධානියාට දැනුම් දුන් බව පෙත්සම්කරු සඳහන් කර සිටියි. එහෙත් තමන්ට එරෙහිව බොරු තොරතුරු සඳහන් කරමින් හිටපු නාවික හමුදාපතිවරයකු වන සින්නයියා මහතා සහ තවත් ලුතිනන් කමාන්ඩර්වරයකු විසින් පැමිණිල්ලක් ගොනු කළ අතර එම පැමිණිල්ල මත තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටී.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.
0 Comments