Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මත් ජාවාරමුන් අල්ලනවා වගේම නිවාරණයටත් කැප වෙනවා

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර
මහින්ද අලුත්ගෙදර

මත් උවදුර මැඩීමට එක් පැත්තකින් නීතිය ශක්තිමත් කිරීම, දඩුවම් දීම වගේම අනෙක් පැත්තෙන් නිවාරණය, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වීම මේ කටයුතු පිළිබඳ රජය නව වැඩසටහන් රාශියක් ආරම්භ කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජය ආරම්භ කර තිබෙන වැඩසටහනට රටේ සෑම අයකුගේම සහාය හිමිවන බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශ්ව දැඩි උනන්දුවකින් පසුවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය භාවිතයට හුරුකරවීම සඳහා ජාවාරම්කරුවන් විවිධ උපක්‍රම යොදන බව සදහන් කළ ජනාධිපතිවරයා මෙය ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ සෑම රටක්ම මුහුණ දී තිබෙන දැඩි ප්‍රශ්නයක් බවද පෙන්වා දුන්නේය.

අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරියක් පිහිට වූ බවද ඒමහතා කීය. පුනරුත්ථාපනය සම්බන්ධයෙන් රජයේ ආයතන හතරක්- පහක් ද පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතන කිහිපයක් ශ්‍රී ලංකාවේ තිබෙන බවත්, නමුත් අද ලංකාවේ විෂ මත්ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ලංකාවේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ දෙකකට ආසන්නයි කියා වාර්තාවල සදහන් වෙන බවත් පාසල් දරුවන්ට අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙදර සිට මත්ද්‍රව්‍ය හදන්න අන්තර්ජාලය හරහා කියා දෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය අලුත් මුහුණුවරකින් ක්‍රියාවට නංවන මෙය ක්‍රීඩා, සෞඛ්‍ය, අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන බව පෙන්වාදෙන ඒ මහතා යුද, ගුවන්, නාවික හමුදාවන්, පොලීසිය ඒකාබද්ධව අලුත් පරපුර, තරුණයින් හා පාසල් දරුවන් මිත්‍රශීලී ලෙස මත්ද්‍රව්‍ය නිවාරනය, මර්දනය හා පාලනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙම පුළුල් ජාතික වැඩසටහනේ අභිලාෂ්‍ය බවද සඳහන් කරයි.

ජාතික මත්ද්‍රව්‍ය මර්දනයට නව ජවයක් එක්කරන 'සුජාත දරුවෝ' වැඩසටහන එළඹෙන මාර්තු 15 දා සිට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ කොළඹ 13 සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ස්ථාපිත කර තිබෙන ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (28) එක් වෙමිනි. පාර්ලිමේන්තුව විසින් 2013 වසරේ නොවැම්බර් මස 15 දා සම්මත කරගත් අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත මඟින් මෙය ස්ථාපිත කර තිබේ. විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();