ජාතික පොලිස් කොමිසම ආරම්භ කිරීම මගින් මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනින් දේශපාලනය ඉවත්කළා සේ ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද දේශපාලනය ඉවත් කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ පසුගියදා (24) අරණායක, මාවතගොඩ රිවිසඳ විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.
රිවිසඳ විද්‍යාලයේ උත්සවයට සහභාගි වීමට පෙර වික්‍රමසිංහ මහතා එදින අරණායක ශ්‍රි සුමංගල විද්‍යාලයේ අභිනව ගොඩනැගිල්ල විවෘත කිරීමට ද සහභාගි විය.
උත්සව අවස්ථාවට එක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
ලලිත් දිසානායක සංවිධායකතුමා කළ ආරාධනය පරිදි අරණායකට පැමිණ මෙම විද්‍යාල දෙකේ උත්සවවලට සහභාගි වීමට ලැබීම සතුටක්. ඒ වගේම සතුටු වීමට තවත් කාරණයක් තිබෙනවා. එනම් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් ක්‍රිකට් තරගයක් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමයි. මම හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමාට උපදෙස් දුන්නේ ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන ලෙසයි. නැතිනම් අප නැවතත් පරණ තත්ත්වයටම පත් වෙනවා. රටේ ක්‍රිකට් දියුණු වීමට නම් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ආධාර උපකාර ලබාදිය යුතුයි. රිවිසඳ විද්‍යාලය වේවා, මයුරපාද විද්‍යාලය වේවා ශ්‍රී ලංකාවේ වෙනත් ඕනෑම විද්‍යාලයක ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ ඒ හරහා අනාගතයක් නිර්මාණය කර ගැනීමටයි. එවැනි ක්‍රීඩාවක් ජාත්‍යන්තර මට්ටමින් පහතට වැටෙනවා නම් එය විශාල ප්‍රශ්නයක්. එම නිසා අප ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කරගත යුතුයි. පොලිසියේ විශේෂ කාර්ය බළකාය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් නැවත වතාවක් රටේ විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට පසුගියදා හැකිවුණා. මත්කුඩු ජාවාරම මෙරටින් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළේ සාධනීය පියවරක් ලෙස මම එය දකිනවා. මෙවැනි විශාල වැටලීම් සිදුකිරීමට හැකිවුණේ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමේ වැඩසටහනින් දේශපාලන බලපෑම් ඉවත් කිරීමට අපට හැකි වූ නිසයි.
අපේ රජය යටතේ ජාතික පොලිස් කොමිසම ආරම්භ කළා. එහි ප්‍රතිඵල තමයි දැන් මේ ලැබෙමින් තිබෙන්නේ. දේශපාලන මැදිහත්වීම් වැළැක්වීම හරහා ශ්‍රී ලංකාව තුළ මෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටතත් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට අපට හැකිවී තිබෙනවා. මෙවැනි වැඩකටයුතු අප සිදු කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් බව පැවසිය යුතුයි. මේ සියලු වැඩකටයුතු සිදුවෙන අතරතුර ලලිත් දිසානායක මහතා අපත් සමඟ එකතුවීම සම්බන්ධයෙන්ද මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රි සුමංගල විද්‍යාලයීය සිසුන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වීම සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. රිවිසඳ විද්‍යාලයේත් ඉතා දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමක් සහ ආදි ශිෂ්‍ය කණ්ඩායමක් සිටිනවා. අද මා පැමිණි අවස්ථාවේ පිළිගැනීමේ කටයුතු කළ විද්‍යාල දෙකේ තුර්යවාදක කණ්ඩායම්වලටත්, ගායනා කණ්ඩායම්වලටත් මම ස්තුතිවන්ත වෙනවා.
ආණ්ඩුවක් ලෙස අපේ මූලික පරමාර්ථය වූයේ අධ්‍යාපනයට මුදල් වෙන්කරමින් මූලිකත්වය ලබාදීමයි. අධ්‍යාපනයේ නවීකරණයක් ඇති කිරීමට අපිට අවශ්‍ය වුණා. අතීත සංස්කෘතිය මත පදනම්ව කටයුතු කළ හැකි වුවත් අපට අතීත ආර්ථිකය මත පදනම්ව කටයුතු කළ නොහැකියි. ආර්ථිකය වර්ධනය කරගත යුතුයි. අප එකතැන පල්වෙනවා නම් අනෙක් රටවල් අප පසුකර ඉදිරියට යනවා. අප අධ්‍යාපනය දියුණු කර ගන්නේ නැත්නම් ආර්ථිකය දියුණු කරගත නොහැකියි. අධ්‍යාපන අමාත්‍යංශය අකිල විරාජ් කාරියවසම් අමාත්‍යතුමාට බාරදුන්නේ එහි ඇති අඩුපාඩුකම් හඳුනාගෙන අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමටයි. ඒ අනුව නව ගුරුවරු බඳවා ගනිමින් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආරම්භ කරමින් වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට හැකිවුණා. අප එම වැඩකටයුතු ආරම්භ කළේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නවීන අධ්‍යාපනයක් ලබාදීමටයි. නවීන ආර්ථිකයක් කරා ගමන් කිරීමට නම් රටේ දරුවන්ට නවීන අධ්‍යාපනයක් ලබාදීම අත්‍යවශ්‍ය වෙනවා.
ශ්‍රි ලංකාව රදා පවතින්නේ ශ්‍රමය පදනම් කරගත් ආර්ථිකයක් මතයි. නමුත් දැනුම මූලික කරගත් ආර්ථික ක්‍රමයකට පිවිසීමට අප තවමත් අපොහොසත් වී සිටිනවා. කාලයක් ශ්‍රමය පදනම් කරගත් ඇඟලුම් කර්මාන්තය ආදියෙන් දියුණු වීමට හැකියාව තිබුණා. නමුත් ලෝකය දැන් වෙනස් වී තිබෙනවා. මියන්මාරය, කාම්බෝජය, තායිලන්තය වැනි රටවල ශ්‍රමිකයන්ට ගෙවන්නේ ශ්‍රි ලංකාවේ ගෙවනවාට වඩා අඩු වැටුප්. අප ඔවුන් සමඟ තරග කිරීමට නම් ඒ හා සමානව වැටුප් අඩු කිරීමෙන් පලක් වන්නේ නැහැ. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද ? එකම විකල්පය ශිල්ප දැනුම හා තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයකට පිවිසීමයි. නව අධ්‍යාපන ක්‍රමයකට මුල්තැන දී තිබෙන්නේ ඒ නිසයි.
අධ්‍යාපන ක්‍රමය නවීකරණය කළ පමණින් මෙම ගැටලුව සම්පූර්ණයෙන් විසඳෙන්නේ නැහැ. නව ව්‍යාපාර හා කර්මාන්ත දියුණු කර ගැනීම අතිශය වැදගත් වෙනවා. විදේශ ආයෝජන අවශ්‍ය වෙනවා. ආසියාවේ දියුණු රටවල් වන ජපානය, දකුණු කොරියාව, චීනය, වියට්නාමය, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය ආදී රටවල් ලෝක වෙළඳපොළට ඇතුළුවී ආර්ථිකය දියුණු කර ගත්තා. අපත් රටක් ලෙස දේශීය වෙළෙඳ පොළට සීමා වෙනවාද, විදේශීය වෙළෙඳ පොළට ඇතුළත් වී සංවර්ධනය උදා කර ගන්නවාද යන්න පිළිබඳව කල්පනා කළ යුතුයි.
දරුවන් ලෙස ඔබ කැමති පෝසත් වෙන්නටද ? දුප්පත් වෙන්නටද ? මෝටර් බයිසිකලයක් තිබෙන කෙනෙකු මෝටර් රථයක් ගැනීමට තනි තට්ටුවේ නිවසක ජීවත් වන කෙනෙකු තට්ටු දෙකක නිවසක් සාදා ගැනීමට උත්සාහ කරනවා. එයයි දියුණුව. අතේ මුදල් නැතිනම් අවශ්‍ය දේ ඉටු කර ගැනීමට නොහැකි වෙනවා.
සංචාරක ව්‍යාපාරය මේ වන විට රට තුළ ව්‍යාප්ත වී තිබෙනවා. අතීතයේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් වෙන් වුණේ ඉන්ටර්කොන්ටිනෙන්ටල් වැනි විශාල සංචාරක හෝටල් පමණයි. නමුත් වර්තමානයේ අපේ ව්‍යාපාරිකයන් එවැනි විශාල සංචාරක හෝටල් සමඟ තරග කළ හැකි මට්ටමේ ව්‍යාපාරිකයන් බවට පත්ව සිටිනවා. අපේ ව්‍යාපාරිකයන් මාලදිවයින, ඉන්දියාව වැනි රටවල සංචාරක හෝටල් ආරම්භ කර තිබෙනවා.
අතීතයේ අපනයන ඇඟලුම් කර්මාන්තය ශ්‍රි ලංකාවට හඳුන්වා දෙමින් අප විදේශීය ආයෝජකයන් මෙරටට ගෙන්වූවා. එවිට ස්ටාර් ගාමන්ට් වැනි ලෝකයේ ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ශාලා ශ්‍රී ලංකාවේ ආයෝජනය කළා. ශ්‍රී ලංකාව කාන්තා යට ඇඳුම් මහන්නට යන බව පවසමින් ඇතමුන් එදා අපව උපහාසයට ලක් කළා. නමුත් අද ඇඟලුම් කර්මාන්තය හරහා ශ්‍රී ලංකාවේ අති විශාල පිරිසක් මුදල් උපයනවා. අද වන විට අපේ ව්‍යාපාරිකයන් මැද පෙරදිග ඉතියෝපියාව, සීෂෙල්ස් රාජ්‍යය ආදී රටවල්වල ඇඟලුම් කර්මාන්ත ආරම්භ කර තිබෙනවා. ඉන් අවබෝධ වන්නේ ඇඟලුම් කර්මාන්තය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් ඉතා හොඳ දැනුමක් ලබාගනිම්න් විශේෂීකරණයට ලක්වීමට හැකිවූ බවයි. කාලයක් තිස්සේ එකම කර්මාන්තයක නියැළීම තුළින් එම දැනුම ලැබෙනවා.
අප තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මෙරටට ගෙන්වීමට උත්සාහ කරන්නේත් එම නිසයි. අධ්‍යාපනය නවීකරණය කිරීම හරහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම දැනුම ලබා ගන්නවා. එවිට අප ඔවුන්ට ශ්‍රමය පදනම් කරගත් රැකියා ලබාදී පලක් නැහැ. ඔවුන්ට ලබාදිය යුත්තේ දැනුම පදනම් කරගත් රැකියායි. සීග්‍ර ආර්ථික විපර්යාසයක් හරහා දැනුම පදනම් කරගත් රැකියා ලබාදෙමින් ලෝක වෙළඳපොළ තුළ තරග කළ හැකි ආර්ථිකයක් ඇති කිරීමට මම පියවර ගන්නවා. ඒ හරහා ජනතාව අතේ තිබෙන මුදල දෙගුණයක් වෙනවා. අපේ රජයේ ඉදිරි වසර කිහිපයෙහි ප්‍රධාන බලාපොරොත්තුව එයයි.
මෙම වැඩසටහන කොළඹට සීමා කරන්නේ නැහැ. අති දක්ෂයන් රට පුරා විසිරී සිටිනවා. පසුගියදා අනුරාධපුරයේ අපනයනකරුවන්ගේ රැස්වීමක් පැවැත්වුණා. විවිධ පලා වර්ග අනුරාධපුරයේ සිට පිටරට යැවීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. මම ඒ පිළිබඳව පුදුමයට පත්වෙනවා. අපි නොසිතන ආකාරයේ ව්‍යාපාර රැසක් ආරම්භ කර තිබෙනවා. මේ ප්‍රදේශවලටත් එවැනි දක්ෂයන් සිටිය හැකියි. සංචාරක ව්‍යාපාරයටත් මේ ප්‍රදේශය ඉතා සුදුසුයි. දැරණියගල, බුලත්කොහුපිටිය, මධ්‍යම අධිවේගී මාර්ගය හරහා එකතු වෙනවා.
අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩසටහන අප දැන් ආරම්භ කර අවසන්. දැන් තිබෙන්නේ ආර්ථිකය නවීකරණය කිරීමයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ නැතිනම් ශ්‍රි ලංකාවට හිමිවන තත්ත්වය කුමක්දැයි කල්පනා කර බැලිය යුතුයි. එසේ නම් ජංගම දුරකථනයක් හෝ ලංකාවට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙන්නට ඉඩ තිබුණා.
අපේ රටේ ව්‍යාපාරිකයන් ශක්තිමත් කරමින් අපේ ජනතාව දියුණු කර ගනිමින් ලෝකයට අවතීර්ණය විය යුතුයි. ලෝක වෙළඳපොළ තුළ තරග කළ යුතුයි. අවසන් වශයෙන් මෙම විද්‍යාලවල ඉදිරි අවශ්‍යතා සඳහා උපකාර කිරීමට පොරොන්දු වෙමින් සුබ පතනවා.
මෙම අවස්ථාවට මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, අරණායක එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලලිත් දිසානායක, සබරගමුව හිටපු විපක්ෂ නායක ඩබ්ලිව්. සෝමදාස, කෑගල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලිලාන් අමරකෝන් යන මහත්වරු ඇතුළු පළාත් සභා, ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයෝ හා රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.
මාවනැල්ල සමන් විජය බණ්ඩාර
ජායාරූප - අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
0 Comments