එජාපය ආරක්ෂා කරන්න ජෝන් අමරතුංග කැප වුණා
- අගමැති රනිල් වික්‍රමසිංහ
ජෝන් අමරතුංග ඇමැතිවරයාගේ පෞද්ගලික ජීවිතය සහ දේශපාලන ජීවිතය බොහෝ සේ මිත්‍රශීලී බවත් දේශපාලන ගැටුම් ඇතිවන වේලාවන්හි දී සිනහමුසු මුහුණින් ඒවාට මුහුණ දෙන චරිතයක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කෙළේ සංචාරක සංවර්ධන, වන ජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් පෙරේදා(27) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති උපහාර උත්සවයට සහභාගි වෙමිණි.මෙහිදී ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවිය පිළිබඳ ලියවුණ ග්‍රන්ථයක්ද ආරාධිත අමුත්තන්ට පිළිගැන්වු අතර උපහාර තිළිණයන් ජනාධිපති සහ අගමැති ඇමැතිවරයා වෙත පිළිගැන්විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
මා දීර්ඝ කාලයක සිට දන්නා හඳුනන මගේ මිත්‍රයෙක් වූ දේශපාලන ක්ෂේත්රයේ හතලිස් වසරක ගමන් මඟ සිහිපත් කරන ජෝන් අමරතුංග ඇමැතිතුමාගේ සේවය ඇඟයීමේ අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා. දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ රැදී සිටයේ කෙසේද කියන කාරණය මෙතුමාගේ වසර හතලිහක දේශපාලන ජීවිතය පිළිබඳව කතා කරන විට වැදගත් වෙනවා. දේශපාලනයට එන ඇතැමුන් මුදල් වියදම් කරනවා. විවිධකාර කැප කිරීම් කරනවා. පරිත්‍යාගශීලී වෙනවා. එහෙත් ඔවුන් බොහෝ දෙනෙකුට දීර්ඝ කාලයක් දේශපාලනයේ රැදී සිටීමට හැකිවන්නේ නැහැ.
වඩාත් ජනතා සේවයට කැපවූ චරිතයක් ලෙස ජනතාවගේ පිළිගැනීම ඇතිවන ආකාරයට දේශපාලන ක්ෂේත්රයේ කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. ජෝන් අමරතුංග මැතිතුමාගෙන් මා චරිත දෙකක් දකිනවා. එක් චරිතයක් දේශපාලන චරිතය. අනෙක ජෝන් අමරතුංග චරිතය. එය මිත්‍රශීලී, සුහද ශීලී , සමාජ ශීලී චරිතයක් ලෙස මා දකිනවා. දේශපලාන ගැටුම් ඇතිවන වේලාවන්හිදී ජෝන් ඇමැතිතුමා බොහොම සරලව, සිනහමුසු මුහුණින් එම ප්‍රශ්න වලට මුහුණ දෙන පුද්ගලයෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.
අප ජීවත් වන කාල සීමාවේදී මිනිසුන් ලෙස මිනිසුන්ට යමක් උපරීම ලෙස කළ හැකිනම් ඒ පිළිබඳව අපට සතුටුවිය හැකියි. ඉපදෙන සැම කෙනෙක්ම මිය යන බව දන්නවා. හැබැයි ඇතැමුන් තමන් මිය යන බව අමතක කර වැඩ කටයුතු කරනවා. මේ සිද්ධිය සමාජයේ බොහෝ ගැටලු, ප්‍රශ්න වලට මුල කියා මා දකිනවා.ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන ජීවිතයත සහ පෞද්ගලික ජීවිතය බොහොම ආකර්ෂණීයයි. මොහු කාගේත් සිත් දිනාගත් පුද්ගලයෙක්. අමරතුංග මහතාගේ හතලිස් වසරක දේශපාලන ගමන් මගේ කොතරම් අත්දැකීම් ඇද්ද. ඒ පිළිබඳව ඔහුට කොතෙක් දේ කතා කළ හැකිද. ඔහු කළ ජනතා සේවය පිළිබඳව කොතරම් සතුටු විය හැකිද. මේ පිළිබඳව සිතා බැලීමේදී දේශපාලන ක්ෂේත්රය තුළ එතුමා පරිපූර්ණයි කියා මා සිතනවා. සිය මෙහෙවර ඔහු මේ වන විට ඉටුකරමින් සිටිනවා. අද දිනයේ අප කතා කරන්නේ සුහදශීලීව ජනතා සේවය පිළිබඳව කටයුතු කරන එම චරිතය පිළිබඳවයි.
දේශපාලන ක්ෂේත්රයේ අප දන්නා කරුණු කාරණා සියල්ල ගත් විට හතලිස් වසරක දේශපාලන ජීවිතයක් ජයග්‍රාහීව සමරන්න කී දෙනකුට හැකි වුණාද. ජෝන් අමරතුංග ඇමැතිතුමා ඒ අභියෝගය සාර්ථකව ජයගෙන තිබෙනවා. ඒ පිළිබඳව මා එතුමාට සුබ පතනවා. 2015 ජනවාරි 8 වැනි දින පැවැති ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපති ලෙස මා පත් කරන්න එතුමා කළ කැපවීම මා අගය කරනවා. ඒ පිළිබඳව ස්තුති වන්ත වෙනවා. දේශපාලන චරිත පිළිබඳව කතා කිරීමේදී සමාජශීලී භාවය, නම්‍යශීලී භාවය, මිත්‍රශීලී භාවය තුළ ඒ චරිත සමාජය වඩාත් ආකර්ෂණීය කර ගන්නවා. එවැනි ආකර්ෂණිය චරිතයක් ලෙස ජොන් අමරතුංග මහතාව හැදින්විය හැකියි. ඉදිරියටත් දීර්ඝ කාලයක් රට වෙනුවෙන් සේවය කිරීමට ධෛර්යය, ශක්තිය වාසනාව වාසනාව නීරෝගි භාවය එතුමාට ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා-
ජෝන් අමරතුංග මහතාත් මමත් එක කාලයක දේශපාලනයට ඇතුළු වුණා. 1970දී එක්සත් ජාතික පක්ෂයේ පරාජයෙන් පසුව ජේ. ආර්. ජයවර්ධන මහතා පක්ෂ නායකත්වය ගත් අවස්ථාවේ නීතිඥ සංගමය සංවිධානය කිරීම මට භාර දී තිබුණා. එහිදී මූලික රැස්විම් වලට සම්බන්ධ වු එක් නීතිඥ මහත්මයෙක් තමයි ජෝන් අමරතුංග මැතිතුමා. එතුමා එක්සත් ජාතික පක්ෂයේ සෑම කටයුත්තකටම සහභාගි වුණා. 1976 දී එතුමා ජා ඇල අතුරු මැතිවරණයේ අපේක්ෂකත්වය ඉල්ලා සිටියත් ජෝසප් මයිකල් පෙරේරා මහතාට තමයි ලැබුණේ. එහිදිත් ජෝන් අමරතුංග මහතා කිසිම පැකිලීමක් නොමැතිව ජෝසප් මයිකල් පෙරේරා මහතා වෙනුවෙන් කටයුතු කළා. හැත්තැ හතේ ඡන්දයේදී ජෝන් අමරතුංග මහතාට වත්තලත්, කැලණිය සිරිල් මැතිව් ඇමැතිතුමාටත්, බියගම මටත් ලබා දුන්නා. සංස්ථා සභාපතිවරයෙක් ලෙසත් පත් වුණා. මෙතුමාගේ පාර්ලිමේන්තු ජීවිතය දෙස බැලුවහොත් අමරතුංග මහතා සහ හැත්තෑ අටේ ව්‍යවස්ථාව එකම කාලයකට අයත්. මෙතුමා හැත්තෑ අටේ ව්‍යවස්ථාවට වඩා සති හයක් බාලයි.
මම සහ ජෝන් අමරතුංග මැතිතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ලෙස එකට වැඩ කළා. ගම්පහ දිස්ත්‍රික්යේ සංවර්ධනයට අප බොහෝ දේ සිදු කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේත්, ඩී.බි. විජේතුංග ජනාධිපතිතුමා යටතේත් අපට වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබුණ. එතුමා කැබිනට් ඇමැතිවරයකු ලෙසත් මා අගමැති ලෙසත් මේ වන විට කටයුතු කරනවා.
අපට වැඩි වගකීම් ආවේ අපගේ පරාජයන් සමඟ. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න, ඉදිරියට ගෙන යන්න ජෝන් අමරතුංග මහතා සෑම අවස්ථාවකදීම කටයුතු කළා. මෙතුමා ගැන කතා කරන විට මම එක් කාරණයක් ප්‍රකාශ කරනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සමඟ අප කීපදෙනෙක් ජෝන් අමරතුංග මහතාගේ නිවස පසුකර යන විට ජයවර්ධන මහතා කියා සිටියේ , ජෝන්ගේ පවුල අවුරුදු දෙසියකටත් වඩා ඉතා පැරණි පවුලක් බව. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කඳාන පැත්තෙන් ගෙනෙන විටත් ඒ පවුල සිට තිබෙනවා. එක්දහස් අටසිය පහළොව කියා එම නිවසේ සඳහන්ව තිබෙනවා. මෙම ඉතිහාසය ජෝන් අමරතුංග ඇමැතිතුමාට අමතක වෙලා නැහැ. එතුමාගේ නිවසට ගියහොත් කදාන සම්ප්රදාය අනුවයි සංග්‍රහ කරන්නේ. මේ තත්ත්වයද එතුමාගේ ජනප්‍රිය භාවයට හේතුවක්. පොලීසිය භාරව එතුමා ක්‍රියා කළා. සංචාරක ව්‍යාපාරය භාරව කටයුතු කරනවා.
ජෝන් අමරතුංග මහතා අතීතයේ සිට අපේ පක්ෂයට විශාල ශක්තියක්. පක්ෂය ගත් විවිධ තීරණ සමඟ එතුමා පෙරමුණේ සිටියා. කරු ජයසූරිය මැතිතුමා, ගාමිණී අතුකෝරල මැතිතුමා, ජෝන් අමරතුංග මැතිතුමා සහ තවත් පිරිසක් බර ඉසුලූ නිසයි එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා වුණේ. එම කාර්යය වෙනුවෙන් මම ජෝන් අමරතුංග ඇමැතිතුමාට ස්තුතිය පුදකරනවා. හැබැයි මෙතුමාටත් වඩා තද සාමාජිකයෙක් මෙතන සිටිනවා. ඒ තමයි හයසින් අමරතුංග මැතිනිය. එතුමිය අදත් කොළපාට ඇඳුමක් ඇදගෙන පැමිණ තිබෙන්නෙ. මා එතුමියටත් මේ අවස්ථාවේ ස්තුතිය පුදකරනවා.
පක්ෂයේ විනය, ගෞරවය ආරක්ෂා කිරීමට ජෝන් අමරතුංග මැතිතුමා සෑම විටම කටයුතු කරනවා. පක්ෂයේ විනය කවුරුන් හෝ කැඩුවහොත් එතුමා කලබල වෙනවා. ඒ පිළිබඳව පියවර නොගන්නේ ඇයි කියා අසනවා. කෑ ගසනවා. ප්‍රතිපත්තියක් අනුවයි මෙතුමා වැඩ කරන්නේ. මෙවැනි දේ නිසා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා වෙනවා. ඩී. එස්. සේනානායක මැතිතුමාගේ කාලයේ සිට සිරිත් පවතිනවා. යම් කිසි විනයක් ප්‍රතිපත්තියක් අනුවයි අප ක්‍රියා කරන්නේ. ජෝන් අමරතුංග මහතාගේ චරිත ලක්ෂණ තුළින් පක්ෂ විපක්ෂ සැමට හොඳ ආදර්ශයන් ගත හැකියි. මෙතුමා පක්ෂය වෙනුවෙන් රට වෙනුවෙන් කළ සේවයන් පිළිබඳව මා නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස ස්තුතිය මෙතුමාට පුදකරනවා. අපි එකට වැඩ කළ මිත්‍රයෝ.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය-
ජෝන් අමරතුංග ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක්. ඔහුගේ දේශපාලන දිවියේදී අමාත්‍යාංශ රැසක වගකීම් භාරව කටයුතු කළා. ප්‍රධාන පක්ෂ දෙකේ නායකයින් සහ තවත් පක්ෂ නායකයින් මේ අවස්ථාවට අද සහභාගි වෙනවා. ඒ පිළිබඳව අප සංතෝෂ විය යුතුයි. සෞභාග්‍යමත්, ශක්තිමත් ශ්‍රී ලංකාවක් සඳහා අප සියලු දෙනා පොදු අරමුණකින් එකතුවිය යුතුයි කියා මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
අතීතයේ අමරතුංග මහතා පැවැත් වූ ගම්පහ ප්‍රදේශය සංවර්ධනය කිරීම පිළිබඳ වු රැස්වීමක් මගේ මතකයට එනවා. එහිදී ඔහු ඉතාම මිත්‍රත්වයෙන් සාකච්ඡාව ගෙන ගියා. ජෝන් අමරතුංග කියන්නේ භක්තිමත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් වගේම සියලුම පක්ෂවල මිත්‍රයෙක්. ඔහු සියලු ආගම් වලට ගරුකරමින් සියලු ජනවර්ග අතර එකමුතුව අඟය කරන නායකයෙක්.
මම සහ ජෝන් අමරතුංග ඇමැතිතුමා එකම දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු කරනවා. හැබැයි අප කටයුතු කරන්නේ පක්ෂ දෙකක. ගැටුම් නොමැතිව අප සහයෝගයෙන් කටයුතු කරනවා. අප අතර ඉතා යහපත් දේශපාලන මිත්‍රත්වයක්ද පවතිනවා.
2015 ජනාධිපතිවරණයේදී ඉතා අවංකව, කැපවීමෙන් ගම්පහ දිස්ත්රිත්කය තුළ ජෝන් අමරතුංග ඇමැතිවරයා කටයුතු කළා. අපේ පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළා. සතුට, දිගු කල් ජීවිතය, නිරෝගී භාවය ලැබේවා කියා මම ජෝන් අමරතුංග මහතාට සුබ පතනවා .
කතානායක කරු ජයසූරිය මහතා-
ජෝන් අමරතුංග මැතිතුමාගේ ප්‍රදේශවාසීන් එතුමාට ඉතාම ආදරය කරනවා. එයට හේතුව එතුමා ජනතාවට කළ අසීමිත සේවාව. ජෝන් අමරතුංග කියන්නේ දේශපාලනයේ මහත්මයෙක්. දේශපානයට ඒමට පෙරත් අප එතුමා පිළිබඳව දන්නවා. එතුමාගේ හැකියාවන් දැක ජේ. ආර්. ජයවර්ධන මහතා ඔහුව දේශපාලනයට සම්බන්ධ කර ගත්තා.අමරතුංග මහතා තමන්ට පැවරුණු වගකීම් ඉතා සාර්ථකව, වගකීමෙන් ඉෂ්ඨ කළා. නිලධාරීන්ගේ විශ්වාසය දිනා ගනිමින් කටයුතු කළා. දුකේදීත්, සැපයේදීත් ජනතාව සමඟ එක්ව සිටියා. ඒ නිසයි අමරතුංග මහතා ජයග්‍රහණය කරන්නේ. බලය ඇති විටද නැති විටද එක සේ ජීවත් වුණා.
තම පක්ෂයට සහ නායකයාට පූර්ණ සහයෝගය දුන් පුද්ගලයෙක් වශයෙන් ජෝන් අමරතුංග මහතාව හැදින්විය හැකියි. මේ චරිතය පිටුපස සිටින තවත් ප්‍රබල චරිතයක් තිබෙනවා. ඒ තමයි හයසින් අමරතුංග මැතිනිය. ජෝන් අමරතුංග මැතිතුමාට තවත් දීර්ඝ කාලයක් සේවය කිරීමට හැකිවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.
හැදල විහාරස්ථානයේ විහාරාධිපති හික්ගොඩ සද්ධානන්ද නාහිමි-
ජෝන් අමරතුංග මැතිතුමාගේ සහ මගේ මිත්‍රත්වයට අවුරුදු හතලිහක් පමණ වෙනවා. මෙතුමා තමයි මට හමුවූ පළමු දේශපාලනඥයා. ජෝන් අමරතුංග මහතා සහ මා කල්‍යාණ මිත්රයින් සේ කටයුතු කරනවා. හැබැයි අමරතුංග මැතිතුමා අපව දේශපාලන කටයුතු වලට සම්බන්ධ කර ගත්තෙ නැහැ. එතුමා තම දේශපාලන දිවියේ අවුරුදු විසි පහක් පිරෙන අවස්ථාවේදී අප විහාරස්ථානයට ඇත්පැටවකු ලබා දුන්නා. ජෝන් අමරතුංග ඇමැතිතුමා කරන දේ හරියටම කරන පුද්ගලයෙක්. ඒ වගේම ප්‍රදේශයේ ආගමික සංහිදියාව ඇති කිරීමට කටයුතු කරනවා.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ-
මා මේ අවස්ථාවේ කතෝලික ජනතාව වෙනුවෙන් ජෝන් අමරතුංග ඇමැතිවරයාට හද පිරි සුභාශිංසන පළ කරනවා. මෙතුමා දීර්ඝ කාලයක සිට අප දන්නවා. හෘද සාක්කියට අනුව කටයුතු කරන පුද්ගලයකු වශයෙන් මෙතුමාව හැදින්විය හැකියි. ඒ වගේම ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කරනවා.
සමාජය පරිවර්තනය විය යුතු කාලයකට අප මේ වන විට පියවර නගමින් සිටිනවා. විවිධ ජාතීන් ජීවත්වන මේ රටේ තීන්දු තීරණ ගැනීමේදී ඉතාම කල්පනාකාරී විය යුතුයි. ආගම් අතර ආරාවුල් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. රටේ සෑම පුද්ගලයකුගේම අනන්‍යතාවය ආරක්ෂා වන ලෙස කටයුතු කිරීම වැදගත්.
මන්ත්‍රීවරුන් ඡන්දයට තරඟ කරන විට තම සුදුසුකම් ජනතාවට ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වෙනවා. රටේ පාලනය උගතුන්ට ප්රබුද්ධ කණ්ඩායමකට පැවරුණහොත් එය රටේ ජනතාවට යහපතක් උදා කිරිමට හේතු වෙනවා.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා-
ජෝන් අමරතුංග මහතා ගතින් වයස කොතරම් වුවත් සිටින්නේ සිතින් අවුරුදු හතලිහක තරුණයෙක් ලෙසයි. මෙතුමාගේ දේශපාලන යුගය දෙස බැලීමේදී මේ රටේ එක් දේශපාලන ගමනක ආරම්භයක් අප දකිනවා. මෙතුමා රාජ්‍ය ඇමැතිවරයෙක්, කැබිනට් ඇමැතිවරයෙක්, කෝප් සභාපතිවරයෙක්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක්, වැඩ බලන විපක්ෂනායකවරයෙන් ලෙස කටයුතු කර තිබෙනවා. 1978 දී වත්තල මන්ත්‍රීවරයා ලෙස එදා අලුත් ව්‍යවස්ථාවේ අතුරු මැතිවරණ අහෝසි කර පළමුව පත් වූ ඇමැතිවරයා ලෙස ඉතිහාසයට එක් වෙනවා. 1978 දී මේ රටේ අලුත් යුගයක් උදා වුණා. ඒ අවස්ථාවේ අප සිටියේ අනිත් පැත්තේ. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා එදා ජෝන් අමරතුංග මැතිතුමා ඇතුලු කණ්ඩායම සමඟ අනාගත ලෝකය දුටුවා. නිදහස් ආර්ථිකය ගෙන එමින් විශාල පරිවර්ථන සිදු කළා. දැවැන්ත මහවැලිය ආරම්භ කළා. කවුරුන් පහර ගැසුවත් කිසිවකුට නිදහස් ආර්ථිකය ඉවත් කරන්න හැකි වුණාද. ජේ. ආර්. ගේ ප්‍රතිපත්ති අරගෙන ඉදිරියට ගියේ මේ ජෝන් අමරතුංගලා. ජයවර්ධන මහතාට තම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට විශාල හමුදාවක් අවශ්‍ය වුණා. එහි සිටි හොඳ භටයෙක් තමයි ජෝන් අමරතුංග කියන්නේ.
ඇමැති ජෝන් අමරතුංග මහතා-
මේ අවස්ථාවට සහභාගි වූ සියලු දෙනාට මා ස්තුතිය පිරිනමනවා. ජේ. ආර් ජයවර්ධන මැතිතුමා මාව දේශපාලනට සම්බන්ධ කර ගැනීම පිළිබඳව මා මේ අවස්ථාවේ සිහිපත් කරනවා. විවිධ අවස්ථාවන්හි දී මගේ ඇමැතිකම් ඉවත් කිරීමටද ඇතැමුන් උත්සාහ කළා. මගේ ආසනයේ ජනතාව මට ලබා දුන් ජයග්‍රහණ පිළිබඳව මා ඔවුන්ට ස්තුතිය පුද කරනවා.
මෙම අවස්ථාව සඳහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, අන්‍ය ආගමික නායකයින්, හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, මැති ඇමැතිවරුන්, දේශපාලනඥයින්, විදේශීය නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.
0 Comments