අපගේ දේශීය ආහාර රටාවේ කලක සිටම පොල්වලට හිමිවනුයේ විශේෂ තැනකි. පොල් මෙරට ජන සංස්කෘතිය හා කිඳාබැස පවතින්නකි. වියළි කොප්පර අඹරා පොල් තෙල් සින්ද ගොනු බැඳි සෙක්කුව අද ගමේ නැත. එහෙත් දළදා පෙරහරේ තවමත් කොප්පරා පහන් දල්වති. බුදුන්, දෙවියන් අභිමුව දැල්වෙන පොල්තෙල්
පහනෙන් නැගෙන ඉමිහිරි සුවඳට තවමත් විකල්පයක් නැත. පොල් පුන්නක්කු සදහා තිබු ඉල්ලුම තවමත් වෙනස් වී නැත. පොල් ලෙලි දැන් කපා පදම් කොට රට පටවති. පොල් තෙල් හිස ගල්වති. කැවුම්, කොකිස් සඳහා ද පොල්තෙල් නැතිවම බැරිය. මේ සියල්ල ලැබෙන්නේ ගස් බඩ ගා පොල් කැඩුවොත් පමණි. ගස් බඩගාන ඔවුන්ට ඇත්තේ දුක හිතෙන කතාවකි.
වරෙක අතපය සීරී ලේ ගලයි. පපුව තඩිස්සී වී රිදුම් දෙති. එහෙත් නැවතුමක් නැත. පියෙන් පිය නැඟී ඉහළට යද්දී දැනෙන බියත්, යළි පහළට එනවිට දැනෙන සැහැල්ලුවේ තරමත් දන්නේ ඔවුන්ම පමණකි. වසර විස්සක පමණ කාලයක සිට පොල් කැඩීම රස්සාව කොටගත් තඹුත්තේගම, අධිරාණිගම ගම්මැද්දේ කේ. ඩී. ගාමිණි බොහෝදෙනෙකු නොදන්නා කතාවකට මුල පිරුවේය.
“මේක හරිම අමාරු රස්සාවක්. එක අතකින් මහන්සිය. තව පැත්තකින් ලොකු අවදානමක් අරගෙනයි රස්සාව කරන්නේ. දවස තිස්සෙම රස්සාව කෙරුවහම හවස් වෙනකොට
පොල්ලකින් ගැහුවා වගේ අමාරුයි. ඒත් මොන අමාරු තිබුණත් ආයේ පහුවදාට රස්සාව කරන්න ඕන. නැත්නම් ජීවත් වෙන්න විදිහක් නෑ. මේ වැඩේ හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මෙහෙම රස්සාවක් කරන්න වැඩිය කවුරුවත් කැමතිත් නෑ. අපිත් කරන්නේ රස්සාවක්. ගොඩක් අය ඒක හිතන්නේ නෑ. සමහරු හෑල්ලු කරලා කතා කරනවා.”
සමහරුන් දුක් විඳින්නේ කරුමය නිසායැයි කියති. සියල්ල කරුමය වෙත පවරා නිහඬවීම පහසුය. ඔවුන් කරන හරිය කරන්නට වෙනත්
කිසිවෙකු නැතත්, සමාජයේ එතරම් අවධානයට ලක් නොවන, එහෙත් නැතිවම බැරි අවදානම් සහගත මෙවන් රැකියාවල නියැළෙන මොවුන් කරුම ගෙවන්නන් ලෙස සලකා නිහඬවීම යුතුද යන්න ප්රශ්නයකි. අඩි පනහක් හැටක් උසැති පොල් ගස් මත බඩ ගා බඩවියත රැක ගැනීමටමට පොල් කඩන මිනිස්සුන්ගේ කතාව ද එවැන්නකි.
කලකට ඉහත පොල් මෙරට ප්රමුඛතම අපනයන භෝගයක් විය. සමහර වකවානුවලදී පොල් ගිනි ගණන්ය. එහෙත් පොල් කැඩීම රස්සාව කොටගත් උදවියගේ වටිනාකම තුට්ටුවට වැටී ඇත.
ගිහාන් මධුරංග බණ්ඩාර විසි හතර හැවිරිදිය. සිය පාපැදියේ පසුපස බැඳි ලෑලි පෙට්ටියට අවැසි කලමනා එකතු කොට ගන්නා ඔහු උදෑසනම නිවෙසින් පිටවෙයි. පොල් පිහිය, තැඹිලි ලණුව, නැතිවම බැරි රෙදි මද්ද, බුලත් මල්ල ආදිය ලෑලි පෙට්ටියේ වෙයි. දවස නිමවී මල හිරු බැසයනතෙක් ගිහාන් ට නිවනක් නැත. තඹුත්තේගම, කොත්මල්පුර ඔහු පදිංචි ප්රදේශයි.
විස්තරේ පත්තරේ දාමුදැයි ඇසු විට ගිහාන්ගේ දෙනෙත් සතුටින් දිදුලන්නට විය. බුලත් කහට බැඳි දසන් දක්වමින් ඔහු සිය දිනචර්යාව පැවසුවේය.
“මං මගේ පාඩුවේ රස්සාව කරගෙන ඉන්නවා. මහන්සියට වතුර බීපුවහම සමහර වෙලාවට කෑම කන්ඩත් බෑ. බඩ පිරිලා. බුලත් විට කන එක දැන් පුරුදු වෙලා. කොයි දේ කෙරුවත් පරිස්සමින්
කරන්ඩ ඕන. සමහරු ගෙදරට හොයාගෙන ඇවිල්ලා එක්කගෙන යනවා. සමහරු කෝල් කරලා එන්ඩ කියනවා. වැඩවල අඩුවක් නෑ. ඒ වගේම තමයි ඉතිං මහන්සිය. සමහර වෙලාවට පොල් කඩලා දෙනවා. සමහර වෙලාවට තැඹිලි බානවා. ඔහොම තමයි දවස ගෙවෙන්නේ. මට මේ රස්සාව කරනවා කියලා ලැජ්ජාවක් නෑ. ආඩම්බරේකුත් නෑ. මං දන්න දේනේ කරන්නේ. සමහරු
නම් හෑල්ලු කරලා කතා කරනවා. හැබැයි ඉතිං ඒ අයටත් පොල් ගෙඩියක් කඩාගන්ඩ අපි නැතිව නෑ. පත්තරේ දාන එක හොදයි ගොඩක් වෙලාවට ජීවත් වෙන්ඩ දුක් විඳින අපි වගේ මිනිස්සු
ගැන මේ කාලේ පත්තර වල යන්නේ නෑනේ.”
අප සමාජයක් ලෙස කොතරම් නම් පසුගාමී තැනෙක පසුවේද යන්න වටහා ගැනීමට මේ මිනිසුන්ගේ කතාව ද මනා නිදසුනකි. මරණය අතින් ගෙන ගස් බඩගාන මොවුන්ගේ දහදිය හෙට්ටු කිරීමට
තරම් ඇතැමකු අකාරුණිකය. ඔවුහු දිනකට සැතපුම් ගණනක් පොල් ගස් මත ඇවිද යති. ජීවිතය සොයති. වැසි සමයේ ජීවිකාව අහිමි වන්නවුන් අතර ගස් නැඟ පොල් කඩන්නෝද වෙති.
දින ගණනක් එක දිගට අල්ලන වැස්ස ඔවුන්ට බාධාවකි. වැසි දියෙන් තෙතබරියම් වී දිය සෙවළ බැඳි ගස් බඩගානුයේ වෙනකක් කළ නොහැකි නිසාය. සහල්, තුනපහ, එළවළු කළමනා, බෙහෙත් හේත්, දරුවන්ගේ විය හියදම් මේ සියල්ලක් ජීවිත අවදානම අමතක කරවයි.
තඹුත්තේගම, කොත්මල්පුර කේ. ජී. නවරත්න ද කලක සිට පොල් කැඩීමේ නියුතු අයෙකි. සියලු කම්කටොලු මැද ඔහුගේ වෙහෙසකර මුහුණේ ඇඳී ඇත්තේ ළෙන්ගතු සිනහවකි.
“උදේම වැඩ පටන් ගත්තහම ටිකක් ලේසියි. මං උදේ හය හමාර විතර වෙනකොට ගෙදරින් එනවා. ලේසි වැඩක් නෙමෙයි. ඒත් වෙන මොනවා කරන්න ද? අපි නැත්නම් මනුස්සයෙකුට හදිසියකට පොල් ගෙඩියක් කඩාගන්න කෙනෙක් දැන් ගම්වල නෑ. අන්න එතකොට නම් අපේ වටිනාකම දැනෙනවා. ඒත් ඒක ගොඩක් අයට මතක හිටින්නේ ටික වෙලාවයි. සමහරු වතුර ටිකක්වත් දෙන්නෑ. ගහකට නගින්න ගන්නේ පොඩි ගාණක්. ඒත් සමහරු ඒකත් වැඩියි කියනවා. ඒ අය හිතන් නෑ අපිත් ජීවත් වෙන්න මේ දඟලන්නේ කියලා.”
දවසකට පොල් ගස් කීයකට විතර නගිනව ද ? මම ඇසුවෙමි.
“අනේ ඒක නම් හරියට කියන්න බෑ. සමහර දවස්වලට ගස් දහයකට පහළොවකට නගිනවා. ගස් තිහ හතළිහ නගින දවසුත් තියෙනවා. එතකොට ඉතිං හොද ගණන්.”නවරත්න කීය.
උඩට යද්දි බයක් දැනිලා නැද්ද ?
“දැන් පුරුදුයි. ඒත් පොඩ්ඩ බැරිවුණොත් ඔක්කොම ඉවරයි.”
පොල් ගහකට නැග්ගහම කීයක් හම්බ වෙනව ද ?
“රුපියල් හැත්තෑවයි.”
මහන්සියට හවසට මොකද කරන්නේ.
“දැන් හැමදේම නවත්තලා ඉන්නේ. ඒකෙන් වෙන්නේ සිහිය විකල් වෙනඑක විතරයි.”
පොල් පිහියත්, දෙපා ලන මද්දත් ගෙන හිමිදිරියේ නිවෙසින් එන ඔවුහු හිරු අවරට යන්නට මත්තෙන් පොල් ගස් පනහකට, හැටකට නගිති. මෙවැනි අවදානම්සහගත වෘත්තීන්වල යෙදෙන්නවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා කවර හෝ වැඩපිළිවෙළක් වේදැයි අපි නොදනිමු.
“අපේ රස්සාව ගැන කියලා අපිව හෑල්ලු කරන්ඩ එපා. මට නම් හොඳටම විශ්වාසයි අපෙන් පස්සේ ආයේ නම් මේ රස්සාව කරන්ඩ කෙනෙක් ඉතුරු වෙන්නේ නෑ.” ඔහු අවසානයේ අපට කී කතාව එයයි.
ඩබිලිව්. ප්‍රදීප්
ඡායාරූප තඹුත්තේගම විශේෂ
from silumina sithmalyaya
0 Comments