කොල්ලනේ නියමයි. එකක් මතක තියා ගන්න. අපි අවසානය තෙක් සටන් වදින්නෙමු. ශ්‍රී ලංකාව ඔබ සමඟයි. මම අනෙක් අය ගැන දන්නේ නැහැ. නමුත් මම ඔබ ගැන අතිශය ආඩම්බර වෙනවා.
මේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු විස්සයි 20 තරගය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු සටනක් අවසානයේ සුපිරි පන්දු වාරයේ පරාජය වීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුබ පතමින් ෆේස්බුක් ඔස්සේ තබන ලද සටහනකි.
ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඇත්තේ දෙමසකට ආසන්න කාලයකි. ශ්‍රී ලංකා කණ්ඩායම එයට සූදානම් වීම තබා තවමත් නායකයකුවත් තෝරා ගැනීමට නොහැකිව සිටියි. පසුගිය තරගාවලියන්හි හතර අතේ තුරුම්පු ගැසුවද එකී තුරුම්පු සියල්ලම කණපිට පෙරළී තිබේ. ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කරගෙන කණ්ඩායම සංචිතගත කිරීම සඳහා අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති අතර ඒ අනුව එකී තරගාවලිය අප්‍රේල් 04 සිට 11දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කොළඹ, ගාල්ල, දඹුල්ල සහ මහනුවර වශයෙන් එකී කණ්ඩායම් හතර නම් කර ඇති අතර එහිදී පිළිවෙළින් දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න මෙහිදී නායකයන් වශයෙන් කටයුතු කරති. මෙකී තරගාවලියේ දස්කම් දක්වන ක්‍රීඩකයන් අතරින් ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සංචිතය නම් කිරීමට නියමිතය.
ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තවමත් සංචිතයක්වත් නම් කර නොමැති තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා විසින් මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට එක්විය යුතු ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ සිය මතය ඉදිරිපත් කර තිබේ. එහිදී අරවින්ද පවසන්නේ ලෝක කුසලානයට අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සමඟ යා යුතු බවයි. දක්ෂ නවකයන් සහ අත්දැකීම් සහිත බහුතරයක ගෙන් සමන්විත කණ්ඩායමක් ලෝක කුසලානයට ක්‍රීඩා කළ යුතුයි. එහි දී අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ට එය අමතර වාසියක් වන බවද අරවින්ද පවසයි. තරංග, චන්දිමාල්, ළහිරු වැනි ලෝක කුසලාන අත්දැකීම් සහිත විදේශීය රටවල ක්‍රීඩා කිරීමට එකී අත්දැකීම් අවශ්‍ය බවද අරවින්ද පෙන්වා දෙයි.
ක්‍රිකට් ලෝක කුසලානයට තවත් දෙමසක් පමණ කාලයක් තියෙද්දීත් ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ දෙනෙකුට වගේ වගක්වත් නැති වග නම් පැහැදිලිය. වෙනත් ලෝක කුසලාන තරගාවලියන්හිදී ඉදිරියෙන් කියැවෙන රටවල් 4 – 5 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයක පසුවිය. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය මේ වන විටත් සිය අවසන් සංචිතය පවා ප්‍රකාශයට පත්කර අවසන්ය. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පළමු විස්සයි 20 තරගය අවසානයේ දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙසි ලෝක කුසලානයට එක්වන සිය කණ්ඩායම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ අවසන් එක්දින තරගාවලියට එක් වූ ක්‍රීඩකයන්ගෙන් මෙවර සංචිතය සකස් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. ඒ අතර මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට එක්වන රටවල් අතරින් එංගලන්තය සහ ඉන්දියාව පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබේ. පසුගිය ලෝක ක්‍රිකට් ශූරයන් වූ ඔස්ට්‍රේලියාව ද අමතක කළ නොහැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. හිටපු නායක ස්ටිව් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර්ගේ තහනම ඉවත්වීමත් සමඟ ම ඔවුන්ද ශක්තිමත් ලෙස නැගී සිටිමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩි බව බොහෝ දෙනා පෙන්වා දෙති. පසුගියදා අවසන් වූ ඉන්දීය - ඔස්ට්‍රේලියානු එක්දින තරගාවලිය ඉන්දියාවේදී ඔවුන් පරාජය කිරීමද ඔස්ට්‍රේලියාවේ ඉදිරි ගමනට ප්‍රබල රුකුලක් වී තිබේ.
දකුණු අප්‍රිකාව බිහි කළ සුපිරි වේග පන්දු යවන්නකු වන ඇලන් ඩොනල්ඩ් දැනටමත් මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් පිළිබඳ ඉඟියක් ලබා දී තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලියේ හොඳම කණ්ඩායම එංගලන්තයයි. ඔවුන්ට පිටියේ වාසියත් තිබෙනවා. ඔවුන්ගේ කණ්ඩායම හොඳ එකක් වගේම සත්කාරක වාසියත් තිබෙනවා. ඒ වගේම ඔවුන් ඉතාමත් හොඳ ජයග්‍රාහි මානසිකත්වයක ඉන්නවා. එසේ පවසන ඇලන් ඩොනල්ඩ් මගේ හදවත කියන්නේ ලෝක කුසලානය දිනන කණ්ඩායම දකුණු අප්‍රිකාව කියලයි. එත් මගේ ඔලුව කියන්නේ එංගලන්තය ලෝක කුසලානය දිනයි කියලයි. ඉන්දියාව වගේම ඔස්ට්‍රේලියාවත් ප්‍රබල මට්ටමක ඉන්නවා. ඒ වගේම පාකිස්තානයටත් ඒ අවස්ථාව නැතුව නෙවෙයි.
ඇලන් ඩොනල්ඩ් එසේ ප්‍රකාශ කරන විට දකුණු අප්‍රිකාවේ ඒ.බී.ඩි.විලියර්ස් ද මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් පිළිබඳ අදහස් දක්වා තිබේ. ඒ.බී. ගේ මතය අනුව මෙවර තරගාවලියේදී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටින බව පෙන්වා දෙයි. විශේෂයෙන් ඔස්ට්‍රේලියාව අවසන් මොහොතේ ඉදිරියට පැමිණෙයි. 2017 දී එංගලන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශූරයන් වූ පාකිස්තානය පිළිබඳවද බලාපොරොත්තු තබා ගත හැකි බව පවසයි.
ශ්‍රී ලංකාව පැත්තෙන් සියල්ල පෙළ ගැසෙන්නේ හොඳ අතට නොවන බව පැහැදිලිය. දකුණු අප්‍රිකානු සංචාරය අතරතුරුම පුහුණුකරු චන්දික හතුරුසිංහ කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. මේ පිළිබඳ බොහෝ මත සමාජ ගත වූ නමුත් දින කිහිපයක් යන තෙක් මේ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර නොගත්තේය. ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇති සැලසුම සාකච්ඡා කිරීම සඳහා මේ කැඳවීම කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පසුව ප්‍රකාශ කළ නමුත් බොහෝ මාධ්‍ය මෙකී සිද්ධිය වාර්තා කර තිබුණේ නව පුහුණුකරුවකු සහ නව නායකයකු යටතේ ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය සඳහා පිටත්ව යාමට නියමිත බවයි.
මේ සියල්ල අතරතුර තේරීම් කමිටු සභාපතිවරයා සහ චන්දික හතුරුසිංහ අතර ද දැඩි මත ගැටුමක් පවතින බවට ද වාර්තා පලවිය. දඟ පන්දු යවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා වෙනුවට දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට නවකයකු වූ ලසිත් ඇඹුල්දෙණිය කැඳවීමත් කුසල් ජනිත් පෙරේරා ටෙස්ට් තරගාවලිය සඳහා කැඳවීමත් පිළිබඳ චන්දික හතුරුසිංහගේ එතරම් කැමැත්තක් නොතිබු බවද වාර්තා පලවිය එහෙත් එකි ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට ශතකයක් රැස් කරමින් කුසල් පැවැසුවේ එකි ඉනිම පුහුණුකරුවා වෙනුවෙන් ක්‍රීඩා කළ ඉනිමක් බවයි. මෙහිදී මතුවන ගැටලුව වන්නේ ඇතැම් මාධ්‍ය මෙන්ම සමජජාලා ද සිය ලාභ ප්‍රයෝජනය සඳහා හෝ ප්‍රසිද්ධිය සඳහා අතේ රෝල් ඵල කරනවාද යන්නයි. කුසල් ජනිත් ප්‍රථම ටෙස්ට් තරගයේ ක්‍රීඩා කළ ඉනිම වසර 142ක ටෙස්ට් ඉතිහාසයේ හොඳම ඉනිම ලෙස විස්ඩන් ටෙස්ට් ඉනිම් 25 අතර අංක එකට පැමිණ තිබේ.
එකී ඉනිමේදී රැස් කළ ලකුණු ප්‍රමාණය, තරග පැවැති ස්ථානය (ක්‍රීඩාංගණය), ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ ප්‍රබල බව, තනිවම තරගය ජයග්‍රහණය දක්වා රැගෙන යාම, ජයග්‍රහණයේ තියුණු බව, පසු පෙළ සහ අවසන් පිතිකරුවන් සමඟ ඉනිම ගොඩ නැඟු අයුරු, ආදි විශාල සාධක ප්‍රමාණයක් මෙහිදී සලකා තිබේ. මෙහිදී කුසල්ගේ ඉනිම ඉතාමත් ඉහළ මට්ටමක පැවැති අතර, එකි ඉනිම 1991 ග්‍රැහැම් ශූච්ගේ ඉනිම දෙවැනි තැනට ඇඳ දැමීමට තරම් මට්ටමක පැවැතිම නිසා විස්ඩන් හොඳම ඉනිම් අතර අංක එකට පැමිණිමට හැකි විය. එක්දින තරගාවලිය අතර ආබාධයකට ලක්වීම නිසා කුසල් ජනිත්ට දකුණු අප්‍රිකානු විස්සයි 20 තරගාවලිය අහිමි විය. මේ අතර එළැඹෙන අන්තර් පළාත් එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයකු ලෙස කුසල් පෙරේරාව නම් කර තිබේ.
අන්තර් පළාත් එක්දින තරගාවලිය අවසානයේ ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමට නියමිත නමුත්, එහි නායකත්වය සඳහා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය සාර්ථකව අවසන් කළ දිමුත් කරුණාරත්න ගැන වැඩි අවධානයක් යොමු වී තිබීම විශේෂත්වයකි. දිමුත්ට මෙකි තරගාවලියේ නායකත්වය හිමි වීමට නම් අන්තර් පළාත් එක්දින තරගාවලියේ දස්කම් දැක්වීමට සිදුවනු ඇත. කෙසේ වෙතත් නම් කර ඇති සෙසු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සහ ලසිත් මාලිංග දෙස අවධානය යොමු කිරීමේදී දිමුත් ඉදිරියෙන් සිටින බව ප්‍රවිණයන්ගේ මතය වී තිබේ.
එමෙන්ම පන්දුවාර 50 ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අංශයේ එක් අන්තයක් දිමුත්ට ලබාදීමට ද වැඩි අවධානයක් යොමු වී තිබේ. කෙසේ වෙතත් දිමුත් අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කර තිබෙන්නේ අවසන් ලෝක කුසලාන තරගාවලියේදී එනම් 2015 දී වීමද විශේෂත්වයකි. අන්තර් පළාත් එක්දින තරගාවලියේදී දිමුත් ගේ දස්කම් දෙස රටේම අවධානය යොමු වීමට මේ සාධකයන් හේතු වී තිබේ.
තේරීම් කමිටුවට මෙන්ම ක්‍රිකට් බලධාරින්ට ද ක්‍රිකට් ලෝක කුසලානය ලංවෙත්ම මුහුණ දීමට සිදු වන ප්‍රධාන ගැටලුව වන්නේ චන්දික හතුරුසිංහ සමඟ ලෝක කුසලානයට යන්නේ නම් අනිවාර්යෙන්ම නව නායකයකු පිළිබඳ අවධානය යොමු කිරීමට සිදු වීමයි. මන්ද යත් දැනටම ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුම චන්දික සමඟ කටයුතු කිරීමට ප්‍රසිද්ධියේම අකැමැත්ත පල කිරීමයි. ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම ලසිත් මාලිංග ද හතුරුසිංහ සමඟ එතරම් හොඳ සම්බන්ධතාවයක් නොදක්වන බවද වාර්තාවෙයි. දිනේෂ් චන්දිමාල් නායකත්වයෙන් ඉවත් කර ඒ වෙනුවට මාලිංග ගෙන ඒම පිළිබඳවද මත ගැටුම් ඇති වී තිබේ. මෙවන් වාතාවරණයක් මත නායකත්වය මෙන්ම ප්‍රධාන පුහුණුකරු අතර ඇති ඝට්ටනය සඳහා ද ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ස්ථිරසාර විසඳුම් සොයා ගැනීමට බලධාරින්ට සිදුවනු ඇත. කෙසේ වෙතත් මේ සටහන තබන විටත් ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් හතුරුසිංහ කටයුතු කරනවාද නැද්ද යන්න පවා තීරණයක් ගෙන නොතිබුණි. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ලෝක කුසලානය සඳහා තාවකාලික පුහුණුකරුවකු යටතේ එක් වීම පිළිබඳවද සාකච්ඡා පවත්වා තිබේ. එහිදී ඉදිරියෙන් කියැවී ඇති නම් අතර හිටපු ශ්‍රී ලංකා පුහුණුකරුවකු වන ටොම් මූඩි ප්‍රධාන ස්ථානයක් ගෙන තිබේ.
දැනට කණ්ඩායමේ සහාය පුහුණුකරුවකු ලෙස කටයුතු කරන දකුණු අප්‍රිකානු විස්සයි 20 තරගාවලියේ වැඩ බලන පුහුණුකරු ලෙස කටයුතු කළ ස්ටිව් රික්සන්ගේ නම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වශයෙන් කියැවෙන තවත් ඉදිරි පෙල නමකි. කෙසේ වෙතත් රික්සන් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් එතරම් පැහැදීමක් නොමැති බව කියැවේ. පසුගිය දිනෙක කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දී ඇති ලිපියකින් මේ බව පැහැදිළිය. මේ අනුව හතුරුසිංහ මෙන්ම රික්සන් සම්බන්ධයෙන්ද ජ්‍යෙෂ්ඨයන් විසින් ලබාදී ඇති සහතික අනුව ක්‍රිකට් ලෝක කුසලානයට කණ්ඩායම එක්කර ගත හැකි නායකයකු සහ පුහුණුකරුවකු වෙත වැඩි අවධානයක් යොමු කිරීමට තේරීම් කමිටුවට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු වනු ඇත.
කෙසේ වෙතත් හතුරුසිංහ සමඟ අත්සන් කර ඇති දැඩි කොන්දේසි සහිත ගිවිසුම් අනුව නම් දැඩි වන්දියක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු වනු ඇත. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකවරයා පවසා ඇත්තේ එළැඹෙන ක්‍රිකට් ලෝක කුසලානයට හතුරුසිංහගේ පුහුණු කාරිත්වයෙන් එක්වන බවයි.
-----------------------------
මෙහෙම ගමනක් යන්න බෑ
- ලසිත් මාලිංග
ඕෂද ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, ඉසුරු උදාන දකුණු අප්‍රිකානු තරගාවලියේ හරහා ඉදිරියට ආව දක්ෂයෝ විදියට දකිනවා. තරගාවලියක් විදියට ගත්තොත් අපි අසාර්ථකයි. අපි ජයග්‍රහණය කරන කාලයේදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් 9 -10 දෙනෙක්වත් පරිනත ක්‍රීඩකයෝ. දැන් එහෙම කී දෙනෙක් ඉන්නවාද කියන එකත් ගැටලුවක්. ක්‍රීඩකයන් පරිනත වෙන කොට එක් කෙනෙක් දෙන්නෙක් පරිනත වෙලා හරි යන්නේ නෑ. අද ලෝක ක්‍රිකට් කියන්නේ ම ලොකු පීඩනයක්. මේ පීඩනයට ඔරොත්තු දෙන්න පුළුවන් නම් හරි, මෙය හසුරුවා ගන්න පුළුවන් නම් තමයි අපට ගමනක් යන්න පුළුවන් වෙන්නේ.
from silumina
0 Comments