Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනතාවගේ සතුට තම සතුට කරගත් ආදරණීය ජන නායකයා සජිත්

30 මාර්තු, 2019

සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් මාර්තු මස 31 වැනි දා ඉරිදා පස්වරුවේ මල්වතු මහා විහාර උපෝසතාගාරයේදී පැවැත්වෙන උත්සවයේදී “ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජ‍නරංජන” ගෞරව නාමයෙන් පුදනු ලබන නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ලියූ විශේෂ ලිපියකි.

මීට සතියකට කලින් එනම් ගිය ඉරිදා රටේ පන්සල් ගණනාවක උත්සවශ්‍රීයක් දක්නට ලැබිණි. දහම් පාසල් දරුදැරියන් ඉතා උනන්දුවෙන් සුදු වතින් සැරසී එහෙ මෙහෙ යන අයුරු ද ඒ ගැන උනන්දුවක් දැක්වූ රටේ සැම කොනකම සිටින අයගේ අත්දැකීමකි. මේ කුමක්දැයි උනන්දු වූ මට දැන ගන්නට ලැබුණේ එකම දිනයේ දහම් පාසල් 214ක ගොඩනැගිලි සඳහා මුල් ගල් තබන බවය. ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව දිවයිනේ දහම් පාසල් 214ක් උදෙසා එකම දිනයේ මුල්ගල තැබීම මේ පන්සල් උත්සවශ්‍රීයෙන් සිරි ගැන්වීමට හේතුවයි. බොහෝ දහම් පාසල් සඳහා පවතින ලොකුම ප්‍රශ්නයට විශිෂ්ට විසඳුමක් දී ඇත. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඒවා මාස තුනක් තුළ නිම කොට සිසු අයිතියට පත් කිරීමේ ඉලක්කයක සිටින බවද දැන ගන්නට ලැබිණි. රටට යහපත් අනාගත පරපුරක් සදන්නට සේම සසුනට ආලෝකයක් ගෙන දෙන්නට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ගෙන ඇති පියවර රටේ කවුරුත් අගය කළ යුතුය. එවැනි ප්‍ර වේශයකින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අගයන්නට සිත පොලඹවන කරුණ වන්නේ ඔහුට මේ ඉරු දින මෙතෙක් ඉටු කරන ලද අග්‍රගණ්‍ය සේවාව ඇගයීම වෙනුවෙන් සියම් මහා නිකායේ මල්වතු පර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් ‘ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරං‍ජන’ යන ගෞරව නාමය මල්වතු උපෝසතාගාරයේදී පිරිනැමීමය.

මහා නාහිමිවරුන් අතින් එවැනි ගෞරව නාමයක් ලැබීම අති දුර්ලභ අවස්ථාවකි. එවැනි සම්භාවනාවකට පත්වන්නට සජිත් ප්‍රේමදාස මහතා කැප කිරීම් කළේ බොහෝ විට නිහඬවය. ඔහු අද ඇමතිවරයකුව සිටියද වරප්‍රසාද අඩු හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රිවරයකු ලෙස පවා ශාසනය පුබුදුවන්නට බොහෝ ආධාර උපකාර කළේය. බොහෝ දේශපාලකයන් කරන්නේ එවැනි වැඩසටහන්වලින් තම ඡන්ද පදනම වැඩි කර ගැනීම සඳහා තමන් නියෝජනය කරන පළාතේ පමණක් පන්සල් දියුණු කිරීමය. එහෙත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා තමන්ට හිතවත් විවිධ දානපතියන්ගේ උපකාරය ද ලබාගෙන රට පුරා විවිධ දුෂ්කරතා සහිතව යතිවරුන් වැඩවෙසෙන වෙහෙර විහාරවලට ආධාර උපකාර කළේය. ඒ අතරේ ඔහු තුළ පවතින වෙනත් ආගම් පිළිබඳ හැඟීම පෙරටු කරගෙන කෝවිල් පල්ලි සඳහාද ආධාර උපකාර කළේය.

‘සසුනට අරුණ’ – ‘වැවයි දාගැබයි- ගමයි පන්සලයි’ වැඩසටහන යටතේ මෙරට චෛත්‍ය නැති විහාරස්ථානවල චෛත්‍ය ඉදි කර සසුනට පූජා කිරීමේ ක්‍රියාවලිය තම පියාගෙන් ලබාගත් දැහැමි ලක්ෂණයකි.

ශ්‍රී දළදා මාලිගාවේ රන්වියන ඉදි කරන ලද්දේ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාසයන්ය. එම රන්වියන නැවත සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රතිසංස්කරණය කරනු ලැබීම ‍කාගේත් ගෞරවයට පාත්‍රවන්නකි.

වර්තමාන රජයේ නිවාස ඉදිකිරීම් අමාත්‍යංශය ඔහුට පිය උරුමයෙන් ලද්දා වැනි වූ අමාත්‍යාංශයකි. ඒ තම පියා වූ දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් දැඩි කැපවීමකින් යථාර්ථයක් බවට පත් කළ උදාගම් සංකල්පය යළි සජිත් ඇමතිතුමාගේ සවියෙන් ශක්තිමත් වීම නිසාය. තම පවුලේ දේශපාලන පසුබිම තුළ සැණෙකින් දේශපාලන ලෝකය අල්ලන්නට කොළඹින් දේශපාලනයට පිවිසීමේ හැකියාව පසෙකලා ඔහු තෝරා ගත්තේ එකල වැඩි ම දරිද්‍රතාවක් පෙන්වූ හම්බන්තොටයි. අදටද ඔහුගේ ජීවිතයේ වැඩි කොටසක් ගෙවෙන්නේ හම්බන්තොට වෙනුවෙනි. දැඩි අසනීප තත්ත්ව පවා නොසලකමින් ඔහු තම මෙහෙවර කරන්නේ දැඩි කැපවීමකින් යුතුව බව අපට පෙනෙන කරුණකි.

ඔහු ජයග්‍රහණය ලද නායකයෙකි. ඔහුගේ ජයග්‍රහණයේ රහස අරමුණෙහි නියත බවය. අනුන්ට සේවය කිරීම තමාගේ ධර්මය බවට පත් කරගැනීමය. සජිත් ප්‍රේමදාස යනු තමාගේ හැකියාව හොඳින් හඳුනාගෙන සෘණාත්මක සිතිවිලි වෙනු‍වට ධනාත්මක සිතිවිලි ආදේශ කරගෙන කටයුතු කරන්නෙකි. ජීවිතයේ අරමුණ, අරමුණක් සහිත ජීවිතයක් ගත කිරීම බව දැඩි ලෙස අවබෝධ කරගෙන සිටින මුල් පෙළේ දේශපාලනඥයෙකු බවට ඔහු අද වන විට පත් වී සිටී.

ඔහු ස්වකීය ආදරණීය හා ගෞරවනීය පියාණන්ගේ අඩි පාරේ වර්තමානයට මෙන්ම අනාගතයට ද සරිලන අයුරින් පියවර තබන්නේ දුර දක්නා නුවණිනි. දිවංගත රණසිංහ ප්‍රේමදාස සූරීන්ගේ මානව හිතවාදි සංකල්පයක් වූ ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදාගම් වැඩසටහන යටතේ සියලු පහසුකම් සහිත උදාගම් 182ක් මේ වන විට ඉදි කර ජනතා අයිතියට පත් කර ඇත. එමෙන්ම දිවයින පුරා තවත් උදාගම්මාන 1926ක් ඉදි වෙමින් පවතී.

සජිත් ප්‍රේමදාස මැතිඳුන්, තම සතුටු හොඳ සිත්වලට පමණක් ඇතුළු වීමට ඉඩ දී ඇති බවක් පෙනේ. ‍ඒ නිසාම මනස උද්‍යානයක් බවට පත් කරගෙන ඇති බවක් ද පෙනෙන්නට තිබේ. එහි ප්‍රතිඵලය නම් අසරණ දුගී දුප්පත් ජනතාවට සතුට නැමැති පරම ධනය ලබා දීමට හැකියාව ලබා ගෙන තිබීමයි.

නිවාස සංවර්ධනය වෙනුවෙන් ‘විරු සුමිතුරු නිවාස ආධාර’ – ‘ග්‍රාම ශක්ති නිවාස ආධාර’ – ‘නිවාස ණය හා ආධාර’ – ‘විසිරි නිවාස ණය’ –‘සොඳුරු පියස නිවාස ණය’ - හා ‘සිමෙන්ති ආධාර’ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත්තේ විස්මිත අයුරිනි.

අද වන විට වසංගතයක් බවට පත් වී ඇති වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට නිවාස ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත්තේ ප්‍රසංශනීය අයුරිනි. ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍රවල නිරතව සිටින විශේෂිත පුද්ගලයන්ට මෙන්ම ආබාධිත රණවිරුවන්ට ද නොමිලේ නිවාස ලබාදීමේ වැඩසටහන මානව හිමිකම් අගයන කාගේත් ගෞරවයට හා ප්‍රණාමයට පාත්‍රවන්නකි.

සජිත් ප්‍රේමදාස ඇමැතිතුමන් තරුණ තරුණියන්ට නොමිලේ වෘත්තීය පුහුණුව ලබා දෙන්නේ ‘ශිල්ප සවිය’ වැඩසටහනෙනි.

මුදිතා ගුණය යනු අන්‍යයන් සතුටු වීම දැක තමන් සතුටු වීමය. මුදිතා ගුණයෙන් යුතු සජිත් ප්‍රේමදාස චරිතය පරම ධනය නැමැති සතුට ලබන්නෙකි.

දිවංගත අගමැති ඩඩ්ලි සේනානායක මැතිඳුන්ට ‘ජන රංජන නාමය’ ජනතාව විසින් පිරිනමන ලදී. මහා නාහිමිවරුන් එතුමන්ට පිරිනමන්නේ තුන් සිංහලයේම ගෞරව නාමයයි.

‍තහනමට ලක්ව තිබූ අංගම්පොර සටන් කලාව නිත්‍යනුකූල සටන් කලාවක් බවට පත් කිරීමද සුවිශේෂි සේවා මානව හිතවාදී දේශපාලන නායකයෙකු වන සජිත් ප්‍රේමදාස මැතිතුමන් අසරණයන්ට විශේෂයෙන්ම පිහිට වෙමින් ඔවුනට මුල් තැන දෙමින් සෑමවිටම කටයුතු කරන්නේ සුබවාදී අයුරිනි. සෑම දෙයකම හොඳ දේ දකින නිසා එතුමන් නිතර සිතන දේ සැබෑවක් බවට පත් කරගැනීමට සමත්ය. එමෙන්ම කාරුණිකත්වයේ පරමාදර්ශී චරිතයක් බවට පත් වී ඇත්තේ ධෛර්ය හා මානව හිතවාදී ලක්ෂණයන් නිසාය.

එතුමන්ගේ දේශපාලන ගමන් මඟ දෙස ආපසු හැරි බලන විටසක්සුදක් සේ පැහැදිලි වූ දෙයක් ඇත. ඒ පරාජය සාර්ථකත්වය සඳහා කරනු ලබන ආයෝජනයයි.

දේශපාලනඥයකු එසේ ජනතාවාදීව ප්‍රජා සත්කාරයන්හි නිරත වන්නේ කෙසේද? මා දකින හේතු මෙසේය. යොමු කිරීම, ආදර්ශයක් දීම, බල කිරීම, අභිප්‍රේරණය කිරීම, බලය ක්‍රියාත්මක කිරීම යන ගුණාංගයන් ඊ‍ට පාදක වෙයි. මිනිසුන් සිතාගෙන සිටින්නේ බොහෝ වැඩ කිරීමට ඇති බවයි. නැත. මිනිසුන්ට කිරීමට ඇත්තේ එක වැඩයි. ඒ, මිනිසුන්ට සේවය කිරීමයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මිනිසුන්‍ට සේවය කරන මිනිසෙකි. ඉවසීම හා නිහතමානී බව යන බලවේග දෙක කිසි දිනක පරාජය නොවන හොඳින් දක්නා මෙතුමා බොහෝ දෙනෙකුට නැති අධිෂ්ඨානයන් ගෙන් හෙබි දැවැන්තයෙකි.

මම කිසිදු දේශපාලන පක්ෂයකට හෝ දේශපාලනඥයන්ට සමීප සම්බන්ධකමක් පවතින්නෙක් නොවෙමි. එහෙත් ජනතාවට සේවය කරන ඕනෑම කෙනෙකු සමඟ සේවය කිරීමටත් ඒ අය ඇගයීමටත් පසුබට නොවෙමි.

පැය 24 න් වැඩි වේලාවක් වැඩ කරන සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ නින්ද කෙටි එකකි. ඒ නිසාම අමාත්‍යාංශයේ සේවය කරන අන් අයගේද නින්ද කෙටි එකක් වන්නේය. ඇඟපත මෙන්ම මොළය වෙහෙසා වැඩ කරන මිනිසාගේ නින්ද ඇති මිහිරි බව බයිබලයේ සඳහන්ව ඇත. ඔහුද වැඩිය වැඩ කරමින් මිහිරි කෙටි නින්දක් ලබයි.

පිදිය යුත්තන් පිදීම මංගල කරුණකි. දෙයක් වේ නම් සුදුස්සාට අයිති ‍විය යුතුය.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙන් ‘ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන’ යන ගෞරව නාමයෙන් පිදුම් ලබන නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිඳුන්ට දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මෙරට දුප්පත් නැති බැරි අය ඇති හැකි අය බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවා.

කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();