Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රට පිච්චියට ගියත් මාෆියාකාරයන්ට තඹයක් පාඩු නොකරන ක්‍රිකට් බලධරයෝ

30 මාර්තු, 2019

දේශීය තරග ‍බීමේ කොතරම් ක්‍රිකට් තරගාවලි පැවැතිය ද, එකි තරගාවලියන්හි මොන තරම් දස්කම් දැක්වුව ඒ කිසිම දෙයකින් අන්තර්ජාතික තරගවලට කළ හැකි කෙන්ගෙඩියක් නොමැති බව පෙනේ. මේ බව නැවත වරක් ප්‍රදර්ශනය වූයේ ශ්‍රි ලංකා දකුණු අප්‍රිකානු විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදීය. ලීග් ක්‍රිකට් තරගවල ලොව පුරා සැරි සරමින් ලබා ගන්නා අත්දැකිම් ඉසුරු උදාන තිලකරන්න ඒවායින් ප්‍රයෝජන ගත් ආකාරය දකුණු අප්‍රිකානු විස්සයි 20 තරගාවලියේදී මනාව ප්‍රදර්ශනය කළේය. ශ්‍රී ලංකාවට තවමත් හරිහැටි දේශීය ක්‍රිකට් තරගාවලියක් නොමැති වීම සහ තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා පඳුරක්, පඳුරක් ගණනේ ක්‍රීඩා සමාජ වැඩි කරමින් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව දියාරු කරන පරිපාලකයන්ට මහේල - සංගා, අරවින්දලා ලබා දුන්නා වූ පාසල් ක්‍රීඩා සමාජ ක්‍රිකට් මට්ටම ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇලජික් වන්නේ මෙවන් පසුබිමකය. දේශීය ක්‍රිකට් තරගවල නොදියුණු සහ දියාරු බවට හොඳම නිදසුන ලොව වටා කරක් ගසමින් ඉසුරු උදාන දක්වන දස්කම්ය.

දෙවැනි විස්සයි 20 තරගයේදී නැවත වරක් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඉසුරු ශ්‍රී ලංකාව ලබා ගත් මුළු ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා රැස් කිරීමටද සමත් විය. 180 කියන්නේ යන්න පුළුවන් ටාගට් එකක්. කවුරුවත් හිතලා ෆේල් වෙන්නේ නෑ. අපි අපේ ටික හරියට කරනවා නම්, උඩට යන්න පුළුවන් විස්සයි 20 තරගවල 180 ක් කියන්නේ ගැප්ස්වලට ගහපු ගමන් හතරේ ඒවා යන්නේ. මම මුලින් එක ගහලා, ධනාට දෙන්න බැලුවේ. අපි නිකන් ඕවර 20 ගහලා වැඩක් නෑ. ට්‍රයි කරන්න ඕනෑ. ධනා දුවද්දි දැවි ගියාම මම වැඩිපුර හතරේ ඒවා තමයි ගහන්න බැලුවේ. එදා දවස අනුව තමයි හැම දෙයක්ම වෙනස් වෙන්නේ. ඉසුරු උදාන පවසයි.

පරාජිත එක්දින තරගාවලියේ විශිෂ්ට අර්ධ ශතකයක් ලබා ගනිමින් තරගයේ වීරයා වූ ඉසුරු උදාන හිතලා ක්‍රීඩා කරනවා නම් අපට ගොඩක් දුර යන්න පුළුවන්. මහා ලොකු ටාගට් නෙවෙයි ඊළඟ තරගය ගැන හිතුවොත් ඇති යැයි පැවැසිය. 2009 විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ආන්තර්ජාතික පිටියට පිවිසෙන ඉසුරු උදාන එදා මෙදා තුර ක්‍රීඩා කර ඇත්තේද තරග 21ක් පමණි. 2012 දී එක්දින වරම් දිනා ගන්නා ඉසුරු දකුණු අප්‍රිකාවට එරෙහිව තෙවැනි එක්දින තරගයට පිටියට පිවිසියේ වසර හතකට පසුව වීමද විශේෂත්වයකි. 2012 -19 දී ඉසුරු ක්‍රීඩා කර ඇත්තේ තරග 5කි. නෙළුම් පොකුණ රඟහලේ පැවැති දේශනයකට එක් වූ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී පරාජය වීම ස්ථීර බව ප්‍රකාශ කළේය.

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කෘත්‍රීම බුද්ධි භාවිතය යොදා ගන්න පුළුවන් තැනක අද ලෝකය ඉන්නේ. එක්කෝ අපි මේවා දන්නේ නෑ. නැත්නම් දන්නවා වැඩක් ගන්නේ නෑ. අද වෙන කොට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල් අද කණ්ඩායම තේරිම් සඳහාත් කෘත්‍රිම බුද්ධිය භාවිතය ප්‍රයෝජනයට ගන්නවා. අපි ඉදිරියේදී පරදින එක නම් ෂුවර් දිනන්න හම්බ වෙන්නේ නෑ. අපි මේ තාක්ෂණය දන්නේ නෑ. මේ තාක්ෂණය අඳුරනවා නම් තමයි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ යැයි හෙතෙම වැඩි දුරටත් පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම 2015 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක් වූ තරගාවලි 20න් ජය ගෙන ඇත්තේ තරගාවලි 4ක් පමණි. 2015 බටහිර ඉන්දිය කොදෙව් (3-0), 2016 අයර්ලන්තය (2-0), 2016 සිම්බාබ්බේ තුන්කොන් තරගාවලිය සහ 2018 බංග්ලාදේශයේ පැවැති තුන්කොන් තරගාවලිය පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වර‍ට තරග කළ තරග 20න් ජය ගෙන ඇත්තේ තරග 3කි. පරාජිත තරග සංඛ්‍යාව 16කි.

90 දශකයේ මුල පටන්ම නැගී ආ ශ්‍රී ලංකා කණ්ඩායම එහි උපරිමයට ළඟා වන්නේ 96 දීය. ඒ අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ක්‍රිකට් කිරුළද දිනා ගනිමින්ය. එතැන් පටන් උස් - පහත්ව ගමන් කළ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ද අද වන විට පහළට වැටී තිබේ.

මේ සඳහා විවිධ හේතු බලපෑවේය. ප්‍රබල ක්‍රීඩකයන් විශ්‍රාම ගැනීම, ඇතැම් ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම, ක්‍රිකට් පරිපාලනයේ ගැටලු, පළමු පෙළ ක්‍රිකට් සවිමත් නොවීම සහ ක්‍රීඩකයන් දස්කම් අතර නොසිටීමත් ඊට අයත්ය. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම දරුණු පරාජයන්ට ලක්වීමයි. එය කෙතරම් බලපෑමක් කළේ ද යත් ඇතැම් තරග අතරතුරදී නරඹන්නන්ගේ බාධා කිරීම් ද වාර්තා විය. මෙවැනි වාතාවරණයක් ශ්‍රී ලංකාවේ දී දක්නට ලැබීම කනගාටුදායකය.

කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බූදය එක්වරම මතු වූවක් නොවේ. ඒ පිළිබඳ විවිධ සාධක කාලයක සිටම පැවතිණි. ඊට විවිධ ප්‍රතිඵල ඉදිරිපත් වුවත් ඒවා ක්‍රියාත්මක වූයේත් නැත. එහි ආසන්නතම නිදසුන 2015 වසරේදී වාර්තා විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් සාර්ථක කර ගැනීමට දේශිය ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්මක් සකස්කිරීම 2015 වසරේදී පත් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව විසින් හිටපු සුපිරි ක්‍රීඩකයකුට භාර දුන්නේය. ඒ අන් කවරෙක් හෝ නොව හිටපු නායකයකු වන මහේල ජයවර්ධනටය. එම ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සිදත් වෙත්තිමුනි මහතාය. මහේල එම සැලැස්ම සකස් කරමින් ක්‍රිකට් අතුරු කමිටුවට භාර දුන්නේය. එය සකස් කිරීමේදී හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්, දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ ක්‍රීඩා විචාරකයන්ගේ අදහස් ද එක් කර ගනිමින් සකස් කර තිබේ. එය නම් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්ම යනුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමුඛත්වය දිය යුතු වනුයේ ගණනට නොව ගුණාත්මකභාවයට බව මහේලගේ ක්‍රිකට් සැලැස්මේ සඳහන් වේ.

මහේල ජයවර්ධනගේ ක්‍රිකට් සැලසුමේ යෝජනා.

* අවුරුදු 24 න් පහළ පළාත් තරගාවලියක් පැවැත්වීම. ඊට අවුරුදු 20 න් පහළ ක්‍රීඩකයන් දෙදෙනකු හෝ තිදෙනෙකු අයත් විය යුතුය.

* දැනටත් පවතින අන්තර් සමාජ එක්දින තරගාවලිය තවදුරටත් පැවැත්වීම.

* දැන් පවතින අන්තර් සමාජ තුන් දින තරගාවලිය තවදුරටත් පවත්වාගෙන යාම.

* අන්තර් පළාත් සිව් දින, එක්දින සහ විස්සයි විස්ස තරගාවලි පැවැත්වීම. මෙම තරගාවලි ශ්‍රී ලංකාවේ පළාත් 05 කට වෙන්කර ස්ථිර පදනමක් මත පැවැත්වීම. එය වාර්ෂිකව නිශ්චිත කාලසීමාවකදී පැවැත්විය යුතුය. තවද ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රීඩාංගණ පහක් වටා මෙම කණ්ඩායම් ගොඩනැඟීම උචිතය.

ඉහත සෑම පළාතකටම අන්තර් සමාජ කණ්ඩායම් දෙකක් හෝ තුනක් සමග එම පළාත්වල තිබෙන කණ්ඩායම් මෙන්ම එම පළාත්වල පාසල් කණ්ඩායම් ද අනුයුක්ත කළ යුතුය.

* ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගෙවීම් කළ යුතු ආකාරයත් මෙම සැලැස්මට අයත්ය.

ශ්‍රී ලංකාවේ ජාතික කොන්ත්‍රාත් ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 30 කට සීමා කළ යුතුය. පළාත් කණ්ඩායම්වල ක්‍රී‍ඩකයන්ට කොන්ත්‍රාත් ලබා දීමේ ක්‍රමයක් ද මහේල යෝජනා කළේය. ඒ අනුව ඒ, බී, සී සහ ඩී වශයෙන් ක්‍රීඩකයන් වර්ගකරනු ලැබිණි.

'ඒ' - වසර දහයකට වැඩි කාලයක් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කිරීම හෝ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ හතරක් ගෙවිය යුතුය.

'බී' - වසර පහකට වැඩි කාලයක් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයකුට වාර්ෂිකව ගෙවිය යුතු මුදල ලක්ෂ 03 කි.

'සී' - වසර තුනකට වඩා ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කළ ක්‍රීඩකයකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ 02 ක් ගෙවිය යුතුය.

'ඩී' - අනෙකුත් ක්‍රීඩකයකුට වාර්ෂිකව රුපියල් ලක්ෂයක මුදලක් ගෙවිය යුතුය.

මීට අමතරව වාර්ෂිකව ලබා දෙන මෙම මුදලට අමතරව මෙම ක්‍රීඩකයකු ක්‍රීඩා කරන සිවුදින තරගයකට රුපියල් 80,000 ක්, එක්දින තරගයකට රුපියල් 25,000 ක් සහ 20 - 20 තරගයකට රුපියල් 15,000 ක් බැගින් ගෙවීමට ද යෝජනා කර තිබේ.

මේ වැඩපිළිවෙළ මඟින් මෙරටේ දක්ෂ ක්‍රීඩකයන් විදේශගතවීම වළක්වා ගැනීමට හැකියාවක් ලැබිමට ඉඩ තිබේ. එමෙන්ම මෙමඟින් මෙරටේ ප්‍රධානම තරගාවලියන්ට ක්‍රීඩා කිරීම සඳහා මෙම ක්‍රීඩකයන්ට පිළිගැනීමක් සහ දිරිගැන්වීමකුත් සිදු වේ.

* ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩාවද ප්‍රතිව්‍යූහගත කළ යුතු බව මහේල යෝජනා කර තිබුණි. එම තරග වයස අවුරුදු 20 න් පහළ දක්වා පැවැත්විය යුතුය. එමඟින් ක්‍රීඩා සමාජවලට ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන ක්‍රීඩකයන්ට තවත් වසරක් තරගකාරි ලෙස ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේ.

එමෙන්ම පාසල් තරග ප්‍රමාණය තරග 16 කට සීමා කිරීම, අවුරුදු 20 න් පහළ තෙදින හෝ සිවුදින පළාත් තරගාවලියක් සහ එක්දින තරගාවලියක් පැවැත්වීම.

* ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සිදු විය යුතු ආකාරය පිළිබඳවත් මහේල සිය සැලැස්ම මගින් යෝජනා කරන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු නිරීක්ෂණයට පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ යුතුය. ඊට අයත් විය යුතු වන්නේ දේශපාලනයට හෝ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ නොවූ ස්වාධීන පුද්ගලයන්ය.

ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්තිමය තීරණ නිරීක්ෂණය කිරීම මෙන්ම එහි විධායක කමිටුවේ තීරණ සම්බන්ධයෙන් නිශේධ බලයත් එම කමිටුවට හිමිවිය යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සාමාජිකයන් 10 කට සීමා කිරීම, සභාපති ධූරය දෙවසරකට වරක් වෙනස් කිරීම, වසර අටකට වැඩි කාලයක් විධායක කමිටුවේ කටයුතු කිරීමට නොහැකි වීම මෙන්ම පළාත් ක්‍රිකට් සභාපතිවරුන් විධායක කමිටුව නියෝජනය කිරීම ද අයත් ය.

මහේල ජයවර්ධනගේ සැලැස්ම ක්‍රියාත්මක කරන බව එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තිමුනි මහතා විසින් ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් 2016 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට තිලංග සුමතිපාල මහතා ප්‍රමුඛ නව නිලධාරි මඩුල්ලක් පත් විය.

එමඟින් මහේල ජයවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වූයේ නැත. නව පරිපාලනය ප්‍රකාශ කළේ "ඊටත් එහා ගිය" නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවය.

මහේල ජයවර්ධනගේ සැලැස්ම සියයට සියයක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපහසුවනු ඇත. නමුත් වත්මන් පරිපාලනය විසින් සිදුකළ යුතුව තිබෙන්නේ මහේලගේ සහ වෙනත් යෝජනා ද ඇතුළත් නව සැලැස්මක් වහාම සකස් කරමින් මෙරටේ ක්‍රිකට් දියුණුවට එය ක්‍රියාත්මක කිරීමයි.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();