නිදහස් සමාජයක ප්රජාතන්ත්රවාදී සහ දියුණු ආර්ථිකයක් ස්ථාපිත කිරීමේ මූලධර්මය තුළ සිට මුදල් ඇමැති මංගල සමරවීර මහතා කටයුතු කරන දේශපාලනඥයෙක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ආණ්ඩුවක් වශයෙන් ඉදිරියට ගමන් කරනවිට මංගල සමරවීර මහතාගේ සහාය හැමවිටම තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා අපේ සිහිනය ද එය බව ද එම සිහිනය ඉටුකර ගැනීමේ අභියෝගය බියෙන් සැකයෙන් තොරව බාරගෙන ඉදිරියට යායුතු බව ද පෙන්වාදෙයි.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ඊයේ(28) පැවැති උත්සවය අමතමිනි. සිහිනය වෙනුවෙන් 'ඛේමාගේ කොලුවා' යන්න තේමාව යටතේ මේ උළෙල පැවැත්විණි.
එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවට පැමිණි මුල්කාලයේ මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ද තමා එක්සත් ජාතික පක්ෂයේ සිටි බවත් මංගල සමරවීර මහතා තමාට විරුද්ධ විවේචනයේ මුල්තැන ගත් කෙනෙක් බවත්ය. ඒ මහතා යම්කිසි මූලධර්මයකට අනුව වැඩකළ බව පෙන්වාදුන් ඒ මහතා නිදහස් සමාජයක, නිදහස් වාතාවරණයක, නිදහස් ආර්ථිකයක මූලධර්මය සමඟ සිටි බව ද එම මූලධර්මවලින් එක්සත් ජාතික පක්ෂය කිසිදා වෙනස් නොවූ බව ද සිහිපත් කළේය.
රටේ සංහිඳියාව, ශ්‍රී ලාංකික අනන්‍යතාව වෙනුවෙන් සහ දේශප්‍රේමීභාවය වෙනුවෙන් අප එක් ස්ථාවරයක සිට වැඩකළ බව පෙන්වාදුන් අගමැතිවරයා 2015 වසරේ දී යලිත් විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණි පසුව මංගල සමරවීර මහතා අපේ රටේ ගෞරවය ස්ථාපනය කරන්න, පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න කටයුතු කර තිබෙන බව ද පැවැසීය.
0 Comments