මුදල් ඇමැති මංගල සමරවීර මහතා හිත හොඳ මිනිසෙක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ඔහු බාරගත් ඕනෑම විෂයක වගකීම නිවැරැදිව ඉටුකර තිබෙන බවද, මංගල සමරවීර මහතා දක්ෂයෙක් මෙන්ම කැපවීමෙන් ඕනෑම කටයුත්තක් කරන පුද්ගලයකු බව ද ඔහුගේ දක්ෂතාව, හැකියාව, බුද්ධිය, පරිනත බව රටට අවශ්‍ය වී තිබෙන බව ද ඒ මහතා පෙන්වාදෙයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ඊයේ(28) පැවැති උත්සවය අමතමිනි. සිහිනය වෙනුවෙන් 'ඛේමාගේ කොලුවා' යන්න තේමාව යටතේ මේ උළෙල පැවැත්විණි.
එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ තමා සමඟ මුල් කාලයේ දී එකට පාර්ලිමේන්තුවට පැමිණි මිත්‍රයකු ලෙස වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා හඳුන්වා දියහැකි බවත් ඔහු කිසිවකුටත් කඩේ නොගිය කෙනෙක් බවත්ය.
ගෙවී ගිය 30 වසරට වඩා රටට ප්‍රතිඵල පෙන්විය හැකි මෙන්ම දේශපාලන ක්ෂේත්රයේ ඉදිරියට යාහැකි සැබෑ මානවවාදී, ප්රජාතන්ත්රවාදය ගරුකරන, ජාතික සමඟිය හා සංහිඳියාව ශක්තිමත් කිරීමේ ප්රමුඛ කාර්යයේ වගකීම ඉටුකරන්න හැකිවේවායි සුබපතන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී සමන්තා පවෙල්, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම, මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන් මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
0 Comments