Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියෙන් මහනුවර ඉවත්වීම මතභේදයකට

ෆවුස් මොහොමඩ්

පිළිමලුන් පිටුදැකීමේ ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියෙන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය ඉවත්වීම සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර තිබේ. ගුවන් හමුදා පිල සමග පල්ලෙකැලේ දි අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි මහනුවර පිල තරගාවලියෙන් ඉවත්වූයේ එම තරගය නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැත්වීමට ඔවුන් කළ ඉල්ලීම රග්බි ආයතනය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

ඒ අනුව වෛද්‍ය මයියා ගුණසේකර, නොයෙල් විජේරත්න සහ හෆීල් මාසෝ මහත්වරුන් ත්‍රිපුද්ගල කමිටුවට නම්කර ඇති අතර පසුගියදා රැස්වූ රග්බි ආයතනයේ විධායක කමිටුව ඊට අනුමැතිය ලබා දී තිබේ.

යම්කිසි තරගාවලියකට සහභාගීවීමට එකඟතාව පළ කිරීමෙන් පසුව තරග පෙළ ගැස්ම සිදු කෙරෙන බවත්, ඉන් පසුව යම්කිසි කණ්ඩායමක් තරගාවලියෙන් ඉවත්වීම අනුමත කළ නොහැකි කරුණක් බවත් මේ පිළිබඳ ‘දිනමිණ’ කළ විමසුමකදී රග්බි ආයතනයේ නියෝජ්‍ය සභාපති සහ තරගාවලි කමිටු සභාපති රිස්ලි ඉල්යාස් මහතා ප්‍රකාශ කළේය.

‘ආසියානු තරගාවලිය වගේ ජාත්‍යන්තර තරගාවලියකදී නම් මේ විදියට තරගාවලියෙන් ඉවත්වුණොත් ඩොලර් දහදාහක දඩයක් ගහනවා. ඊට අමතරව කණ්ඩායමේ ප්‍රසාද ලකුණු පවා අඩු කරනවා. ලීග් ශූරතාව දිනූ කණ්ඩායමක් මෙවැනි තීරණයක් ගැනීම වැරදි වැඩක්.’ ඉල්යාස් මහතා කීවේය.

‘අපි ඉදිරියේදි අපේ සංගමයේ තරගාවලි නීතිරීති සංශෝධනය කරලා මෙවැනි සිදුවීම්වලදී දඬුවම් ලබා දීමට කටයුතු කරනවා. අපට අවශ්‍ය වන්නේ මෙරට රග්බි ක්‍රීඩාව නිවැරදි අයුරින් ඉදිරියට ගෙන යාමටයි. නිසා ලෝක රග්බි සම්මේලන හා ආසියානු රග්බි සංගමයේ නීතිරීතිවලට අනුව අපේ ආයතනයේ නීතිරීති සංශෝධනය කළ යුතුයි.’ ඔහු කියා සිටියේය.

මෙවර අන්තර් සමාජ රග්බි තරගවාරය සඳහා ශ්‍රී ලංකා රග්බි ආයතනය මගින් ප්‍රකාශයට පත් කළ නීතිරිති සහ කොන්දේසිවලට අනුව යම්කිසි තරගයකට සහභාගි නොවී ඉන් ඉවත්වන ඕනෑම කණ්ඩායමක් රග්බි ආයතනය සංවිධාන කරන තරගාවලි සඳහා ඇතුළත් කර නොගන්නා බව එම නීතිරීතිමාලාවේ 23.1 වගන්තියේ සඳහන්ය. එමෙන්ම රග්බි ආයතනය සෑහීමකට පත් නොවන හේතු දක්වමින් තරග සත්කාරකත්වයෙන් ඉවත්වීම හෝ තරගයකට ක්‍රීඩා නොකිරීම එම ක්‍රීඩා සමාජය ක්‍රියාකාරී මට්ටමක නොපවතින ක්‍රීඩා සමාජයක් ලෙස සළකන බවත්, ඒ සම්බන්ධව තරගාවලි කමිටුව හෝ එහි සභාපතිවරයා ලබා දෙන වාර්තාවට අනුව රග්බි ආයතනයේ විනය කමිටුව මගින් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය පියවර ගන්නා බවත් 23.2 වගන්තියේ පැහැදිලිව සඳහන් කර තිබේ. ආසියානු රග්බි සංගමය මගින් සංවිධාන කරන තරගවලදී ද අවසන් සති 6 තුළ ඉන් ඉවත්වන කණ්ඩායම්වලට දඬමුදල් පනවා ඇති අතර පළමු කොටසේ තරගාවලියකින් ඉවත්වන පිරිමි, කාන්තා සහ වයස් කාණ්ඩ අතර කණ්ඩායම් සඳහා අමෙරිකානු ඩොලර් දසදහසක දඬයක් පනවා තිබේ. මීට අමතරව යම්කිසි තරගාවලියක් පැවැත්වීමට සත්කාරත්වය බාර ගන්නා කණ්ඩායමක් ඉන් ඉවත් වන්නේ නම් එම දඩ මුදල පස්ගුණයකින් වැඩිවේ. මෙවැනි දඩමුදලකින් වැළකී සිටීමට හැකිවන්නේ යම්කිසි තරගාවලියකට සත්කාරකත්වය ලබාදිම හෝ තරගාවලියකට සහභාගිවීම ආසියානු රග්බි සංගමය විසින් අවලංගු කරනු ලැබූ අවස්ථාවකදී පමණි.

මහනුවර ක්‍රීඩා සමාජයේ කළමනාකාරීත්වය සහ ඔවුන්ගේ කමිටුව මේ වැරදි තීරණය ගෙන ඇත්තේ එම තරගය නිත්තවෙල පවත්වන ලෙසට කළ ඉල්ලීම අපි ප්‍රතික්ෂේප කිරීම නිසයි. ඒක අසාධාරණ තීරණයක්. ඔවුන්ගේ අදහස වුණේ පල්ලෙකැලේ පිටියේ ප්‍රේක්ෂකයන් ප්‍රමාණය අඩු බව සහ නිත්තවෙල දී වැඩි ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් එක්වෙන බවයි. නමුත් ඔවුන් කොළඹදී තරග වදින විට ප්‍රේක්ෂකයන් පිළිබඳ එවැනි අවධානයක් යොමු කරන්නේ නෑ. ඒවා පෞද්ගලික දේවල්. අපිට අවශ්‍ය තරගාවලිය සාර්ථකව පැවැත්වීමටයි.’ රිස්ලි ඉල්යාස් මහතා සඳහන් කළේය.

ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේදි ප්‍රබලතම කණ්ඩායම් වන සී.ආර් ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පොලිස් පිල හමුවේ පරාජයට පත්වීමත්, සී.එච්.ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජය යුද හමුදා පිල හමුවේ පරාජයට පත්වීමත් මගින් පහළ තලයේ කණ්ඩායම්වල දක්ෂතා ඉස්මතුවූ බව ඉල්යාස් මහතා පැවැසීය.

කෙසේවෙතත් ගුවන් හමුදා පිල සමග පැවැති අවසන් මහා තරගයෙන් ජය ලැබූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය වසර 37කට පසුව ක්ලිෆර්ඩ් කුසලානය දිනාගැනීමට සමත් විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();