රටේ තිරසාර සංවර්ධනය සහ ජාතියේ හෙට දවස වෙනුවෙන් වසර 30ක් පුරා තමන් විසින් සිහින දකින බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. උපන් මාතෘභූමිය වෙනුවෙන් මෙලෙස සිහින දකින බව පෙන්වාදෙන ඒ මහතා ජාතිය, ආගම නොව සාමය වෙනුවෙන් සිහිනයක් තිබුණු බව ද ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගතයුතු බව ද කියා සිටී.
මංගල සමරවීර මහතා එසේ සඳහන් කළේ ඒ මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ඊයේ(28) පැවැති උත්සවය අමතමිනි. සිහිනය වෙනුවෙන් 'ඛේමාගේ කොලුවා' යන්න තේමාව යටතේ මේ උළෙල පැවැත්විණි.
එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේ සිංහල ගම්මානවලට දේශපාලන විසඳුමක අවශ්‍යතාව හඳුන්වා දෙන්න අවශ්‍ය වූ බවත් සුදු නෙළුම් ව්‍යාපාරය හරහා ඒ වෙනුවෙන් කටයුතු කිරීමට හැකිවූ බවත්ය.
තම වටිනාකම් හඳුනාගත් පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය දකින බව පැවසූ මුදල් ඇමැතිවරයා දේදුනු විප්ලවය හඳුන්වා දෙමින් රටට අවශ්‍ය අරමුණු රැසක් ඉටුකර ගන්න පියවර ගත් බව ද පසුගිය වසර හතරක කාලයේ දී මේ රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත්ව තිබෙන බව ද පෙන්වා දුන්නේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී සමන්තා පවෙල්, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම, මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන් මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
0 Comments