Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දැවැන්ත ව්‍යාපෘති 200ක් ජාතික අධ්‍යාපන පද්ධතියට

‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 200ක රුපියල් මිලියන 3,938කට ආසන්න වියදමින් ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200ක් අද ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. අද දින දිවයින පුරා පැවැත්වෙන ව්‍යාපෘති දෙසීයක් සිසුගත කිරීමේ මහෝත්සවයේ ප්‍රධාන උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේ නගර සභා පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මීට සමගාමීව සෙසු උත්සව මැති ඇමතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දිවයින පුරා අදාළ පාසල්වල පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මෙරට නූතන ඉතිහායේ ඇති වූ වැදගත්ම සමාජ විප්ලවය නිදහස් අධ්‍යාපනය ඇති කිරීමයි. අධ්‍යාපනය නිදහස් අයිතියක් ලෙස භුක්ති විඳීමට ශ්‍රී ලාංකීය සිසු දරුවන්ට අවස්ථාව සැලසුණේ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන එවකට අධ්‍යාපන විෂය භාර ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ පරිශ්‍රමයෙනි. ජන සමාජය තුළ වරප්‍රසාදලාභී අතළොස්සක් වෙත සීමා වී පැවැති අධ්‍යාපනය ලැබීමේ අයිතිය රට පුරා ඉදිකළ මධ්‍ය විද්‍යාල 54ක් ද කේන්ද්‍ර කර ගනිමින් සමාන හා සාධාරණ අයිතිවාසිකමක් ලෙස භුක්ති විඳින්නට ඒ අනුව මෙරට සිසු දරුවන්ට ඉඩ අවකාශ සැලසිණි. එහි ප්‍රතිඵලය වූයේ එතෙක් රට තුළ පැවැති සාක්ෂරතා මට්ටමේ වේගවත් වර්ධනයක් සිදුවීමයි. එමෙන්ම කාන්තාවන්ගේ සාක්ෂරතාව ද එතෙක් ආසියාවේ අනෙක් රටවල පැවති තත්ත්වයට වඩා කැපී පෙනෙන වර්ධනීය අගයක් ගැනීමට එම තත්ත්වය හේතු විය. රැකියා අවස්ථා බොහෝ දෙනකුට ලැබිණි. සමාජ සාධාරණීකරණයට ඇති හොඳම යාන්ත්‍රණය අධ්‍යාපනය බවට පත්විය.

එහෙත් පසුකාලීනව, විවිධ හේතු ගණනාවක් මත රටේ සියලු දරුවන්ට අයිතිව පැවැති අධ්‍යාපන පහසුකම් හා වරප්‍රසාද නගරාශ්‍රිත පාසල් කිහිපයක් වටා පමණක් කේන්ද්‍රගතවීම මඟින් සිදුවූයේ සමානව පැවැත්වෙන ජාතික විභාග සඳහා අසාධාරණ හා අසමාන පහසුකම් යටතේ තරග කිරීමට එම පහසුකම් නැති දරුවන්ට සිදුවීමයි. තම දරුවන්ට ඉහළ ගුණාත්මක බවින් යුත් අධ්‍යාපනයක් ලබාදීම හැම මවකගේම හැම පියකුගේම බලාපොරොත්තුවයි. පහසුකම් සහිත, ජනප්‍රිය යැයි සම්මත පාසල් ප්‍රමාණය අතළොස්සක් බවට පත්ව තිබූ අතර, එම පාසල් කිහිපයට කෙසේ හෝ තම දරුවා ඇතුළත් කර ගැනීමේ අරගලයක යෙදෙන්නට මේ නිසා මවුපියන්ට සිදුවිය.

සම්මත නීති රීති යටතේ විධිමත්ව, නීත්‍යානුකූලව ඇතුළත් කිරීමේ කටයුතු කළ නොහැකි වූ විට ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් හෝ, අල්ලස් දෙමින් හෝ මේ තරගකාරී අරගලයට එක්වන්නට මවුපියන්ට සිදුවිය. සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටිනවිට දරුවන්ට පවා බොරු උගන්වන්නට තරම් මවුපියන්ගේ මානසික මට්ටම පිරිහී ගිය අතර, අවසානයේ එහි ප්‍රතිඵලය ලෙස දිගුකාලීනව නොවිසඳුණු අර්බුදයක් අධ්‍යාපන පද්ධතිය තුළ නිර්මාණය විය. විවිධ රජයන් යටතේ විවිධ අධ්‍යාපන ඇමැතිවරුන් යටතේ විවිධාකාර විසඳුම් සහ ක්‍රියාමාර්ග මේ වෙනුවෙන් ක්‍රියාවට නැංවූ නමුත්, සැලකිය යුතු ප්‍රතිඵලයක් ඒවායින් නොලැබී තිබුණි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන විෂය භාර ඇමැතිවරයා වශයෙන් 2015 වසරේ සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කරන විට ද තත්ත්වය එසේම පැවතිණි. සෑම මහජන දිනයක්ම ජනප්‍රිය පාසලකට දරුවන් ඇතුළත් කිරීමට ඇමැතිවරයාගෙන් හෝ ලේකම්වරයාගෙන් ලිපි ලබා ගැනීමට සිවු දිගින් පැමිණෙන මවුපියන්ගෙන්ම පිරී ඉතිරිණි. අධ්‍යාපන පද්ධතිය තුළ කාලාන්තරයක් තිස්සේ ඔඩුදුවමින් පැවැති මේ අර්බුදයට එක රැයින් සෙවිය හැකි විසඳුමක් නොවිණි.

එහෙත් ඉදිරි වසර 20ක් 30ක් එපිට ඇති අනාගතය අනුමාන කරමින්, ඒ වන විට රටක් වශයෙන් අප සිටිය යුතු තැන, අපේ දරුවන් අත්පත් කර ගත යුතු දේ සහ මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ සිදුවිය යුතු වෙනස්කම් ආදී සියල්ල කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින්, අනාගතයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැඟීමේ අවශ්‍යතාව කෙරෙහි ඇමැතිවරයාගේ පූර්ණ අවධානය යොමු කෙරිණි.

නගරාසන්නව පවතින පාසල් අතළොස්සකට පමණක් දරුවන් ඇතුළත් කිරීමට මවුපියන් දරන පරිශ්‍රමය නතර කරන්නට හෝ එය ප්‍රතික්ෂේප කරන්නට හැකිවන්නේ ඊට සාධාරණ හේතු පාසල් පද්ධතිය තුළ ගොඩනැංවීමෙන් පමණි. කවර හෝ පාසලක් ජනප්‍රිය පාසලක් බවට පත්වන්නේ සෑම විෂයකටම ගුරුවරුන්, ක්‍රීඩාගාර, විද්‍යාගාර, රසායනාගාර, පුස්තකාල, සෞන්දර්ය ඒකක ඇතුළු පහසුකම් සහ දක්ෂ විදුහල්පතිවරයෙක් සිටීමෙනි. සිසුන්ගේ කාර්ය සාධන මට්ටම ඉහළින් පවත්වා ගැනීමෙනි. ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ පාසලට අත්පත් කර දෙන දරුවන් පාසලක සිටීමෙනි. මේ තත්ත්වය ඇති කිරීමට සමත් වටපිටාව පාසලක ගොඩනැංවීමේ දී ඕනෑම පාසලක් ජනප්‍රිය වෙයි.

දවසේ පැය ගණනින් සැලකිය යුත් ප්‍රමාණයක් මඟ තොටට වැය කරමින්, දරුවන්ගේ පාසල් ගමන විඩාබර එකක් බවට පත් කරමින් ජනප්‍රිය පාසල් වෙනුවෙන් නගර කරා යෑමේ ප්‍රවණතාව ඉවත් කරලීමට හොඳම පිළිතුර සුපිරි පාසල් වෙනුවට සපිරි පාසල් ගමේ පාසල් සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දීමයි. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ‘ළගම පාසල -හොඳම පාසල’ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබුවේ ඒ වෙනුවෙනි.

පාසල් ඉදිකිරීම වෙනුවෙන් ඉතිහාසයේ මෙතෙක් එකවර සිදුකළ විශාලතම මූල්‍ය ආයෝජනය සිදු කරමින් සෑම දරුවකුටම තමන් පදිංචි ස්ථානයේ සිට ළඟම පාසල දරුවාට ඇතුළත් විය හැකි හොඳම පාසල බවට පත් කිරීමේ දැවැන්ත වැඩසටහන ඒ අනුව ආරම්භ කෙරිණි. රුපියල් මිලියන 64,950ක මූල්‍ය ආයෝජනයෙන් ප්‍රධාන ව්‍යාපෘති 18,000කින් සමන්විතව 2016 වසරේ සිට 2020 වසර තෙක් වසර හතරක කාලසීමාව තුළ ඉදිකිරීම් අවසන් වන පරිදි ‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන ආරම්භ කෙරිණි.

දිවයින පුරා පාසල් එකවර සංවර්ධනය කිරීම ඉතිහාසයේ එදා මෙදාතුර සිදුවන පළමු අවස්ථාව මෙයයි. පාසල් පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් එකවර ක්‍රියාත්මක වන විශාලතම සංවර්ධන කාර්යය ද මෙයයි.

අනාගතය දෙස අවදියෙන් බලන, ඉදිරි දශක කිහිපය තුළ ගෝලීය අධ්‍යාපන අවශ්‍යතා සහ අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලාංකීය දූ දරුවන්ට ඊට මුහුණ දිය හැකි ඉඩ අවකාශ සලසන වත්මන් අධ්‍යාපන ක්‍රියාමාර්ග තුළ ළඟම පාසල හොඳම පාසල සුවිශේෂ ක්‍රියාමාර්ගයකි. එහි ප්‍රතිඵල අදටත් වඩා හොඳින් හෙට දවසේ ඔබේ දරුවන්ට දැනෙනු නිසැකය.

තාක්ෂණය, සන්නිවේදනය සමඟ ඉදිරියට යන ලෝකයේ ඔබේ දරුවන්ට පැහැදිලි අනාගතයක් ගොඩනැංවීම වෙනුවෙන් නිවැරැදිම මොහොතේ හොඳම සහ නිවැරැදිම තීරණ ගන්නට සමත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ විප්ලවීය අධ්‍යාපන මෙහෙවරට ඉදිරියේදීත් සක්‍රීයව සහයෝගය ලබාදෙමු.

ඒ අනුව ජාතික සංවර්ධනයට නව පරිච්ඡේදයක් එක කරමින් සියලු දිස්ත්‍රික් ආවරණය කරමින් දිවයින පුරා පාසල් දෙසීයක ඉදිකරන ලද නව ගොඩනැඟිලි දෙසීයක් අද ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මාර්තු මස 01 වන දින දිවයින පුරා පැවැත්වෙන ව්‍යාපෘති දෙසීයක් සිසුගත කිරීමේ මහෝත්සවයේ ප්‍රධාන උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේ නගර සභා පිටියේ දී පැවත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙදින දිවයින පුරා සිසුගත කෙරෙන ව්‍යාපෘති දෙසියය සඳහා වැය කර ඇති මුදල රු.මි. 3,938 කට ආසන්න ය. මීට සමගාමීව සෙසු උත්සව මැති ඇමතිවරුන් ගේ සහ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දිවයින පුරා අදාළ පාසල්වල පැවැත්වේ.

නිරංජලා ගමගේ
මාධ්‍ය ඒකකය,
අධ්‍යාපන අමාත්‍යාංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();