භාර්ති එයාර්ටෙල් ලංකා ආයතනය ආරම්භ කළ මෙරට වේගවත්ම පන්දු යවන්නා සොයා යාමේ ‘එයාර්ටෙල් ෆාස්ටස්ට්‘ වැඩසටහන කාලීන අවශ්‍යතාවක් සපුරාලීමක් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. පසුගියදා මේ වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවේ වේගවත්ම පන්දු යවන තරුණයා සහ තරුණිය තෝරාගැනීමේ වැඩසටහන පාසල් මට්ටමෙන් සහ ආධුනික මට්ටමෙන් සිදු කෙරෙන අතර අවුරුදු 16-24 වයස් කාණ්ඩයේ තරුණ තරුණියන්ට විවෘතය.
මෙම වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයේදී ක්‍රීඩා අමාත්‍යවරයා මෙසේ පැවැසීය.
‘මෙය මා ක්‍රියාත්මක කිරීමට අදහස් කළ දෙයක්. වැඩසටහන සඳහා ඉදිරිපත්වීම ගැන එම ආයතනයට ස්තූතිවන්ත විය යුතුයි. ශ්‍රී ලංකාව පුරා සැඟවුණු දස්කම් ඇති සිසු දරුවන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ සියලුදෙනාම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සිහිනය සැබෑ කරගැනීමට උත්සාහ දරනවා. මෙම වැඩසටහන ඒ සඳහා ඔවුන්ට කදිම අවස්ථාවක්.’
යාපනය, පොලොන්නරුව, මඩකලපුව, මාතර, බදුල්ල, රුවන්වැල්ල, ගම්පහ, කුරුණෑගල, මහනුවර, හොරණ සහ කොළඹ ආවරණය කරමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙහි මූලික වටයේදී වේගවත්ම පන්දු යවන්නන් 100 දෙනකු තෝරාගන්නා අතර ලසිත් මාලිංග, අනූෂ සමරනායක සහ චමින්ද වාස් ඇතුළත් එයාර්ටෙල් සුපර්ස්ටාර් පුහුණු කණ්ඩායම යටතේ පුහුණු කඳවුරකට සහභාගි කරවනු ලබයි. වේගවත්ම පන්දු යවන්නා තෝරාගනු ලබන්නේ එම කඳවුරේදිය.

0 Comments