දික්වැල්ල කියයි
දකුණු අප්‍රිකාවට එරෙහිව වූ ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට හැකි වෙතැයි තමන් ඇතුළු කණ්ඩායම කිසි විටෙකින්වත් නොසිතූ බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක නිරෝෂන් දික්වැල්ල සියල්ල කණපිට හැරුණේ කුසල් පෙරේරාගේ ලකුණු 153 ක සුවිශේෂී ඉනිම මත බව සඳහන් කර සිටියි. ලොව ප්‍රකටම ක්‍රිකට් වෙබ් අඩෙවිය ලෙසින් සැලකෙන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩෙවිය සමග එක් වෙමින් ශ්‍රී ලංකා කඩුලු රකින්නා ඉහත අදහස් පළ කර තිබේ.
ඩර්බන්හි පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සඳහා ලකුණු 304 ක් ලබා ගත යුතු වූ නමුත්, ලකුණු 226 ක් වන විට කඩුලු 9 ක්ම දැවී යෑම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ බලාපොරොත්තු සුන් කරවනු ලැබීය. එහෙත් කුසල් පෙරේරාට එක්වූ විශ්ව ප්‍රනාන්දු අගනා සහායක් ලබා දෙමින් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් නොතිබූ ජයග්‍රහණයකට ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගියහ. එහිදී කුසල් පෙරේරා නොදැවී ලකුණු 153 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. ‘ඇත්තම කියනවා නම් මේ තරගාවලිය ජය ගන්න පුළුවන් වෙයි කියලා අපි කීයටවත් හිතුවේ නෑ. විශේෂයෙන් 2-0 ක් විදියට. නමුත් සියනුදෙනාම තමන්ට හිමි වගකීම් කොටස හරියටම ඉටු කළ නිසා ඒ දේ කරන්න අපිට හැකි වුණා. ඇත්තටම මෙය හොඳ තරගාවලි ජයග්‍රහණයක්’ යැයි දික්වැල්ල පවසයි.
තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිමාවීමත් සමඟ ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයන් පෙරේරදා (25 දා) ශ්‍රී ලංකාවට පැමිණි නමුත්, එක්දින සහ විස්සයි/20 තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් දික්වැල්ල ඇතුළු එක්දින කණ්ඩායම තවමත් දකුණු අප්‍රිකාවේ රැඳී සිටිති.
ඩර්බන් තරගයේදී කුසල් පෙරේරා ලද සුවිශේෂී ලකුණු 153 ක ඉනිම මත තරගාවලිය ජය ගත හැකි බවට වූ විශ්වාසය ගොඩනැගුණු බවද ශ්‍රී ලංකා උප නායකයා මෙහිදී සඳහන් කර සිටියේය. ‘කුසල් ජනිත් ඩර්බන්වලදී ලබාගත්ත ලකුණු 153 න් පස්සේ අපිට තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාස ගොඩ නැගුණා. නමුත් අපි ඒ ගැන ඕනෑවට වඩා ඔළුවට දා ගත්තේ නෑ. අපිට ඕන වුණේ මැද්දට ගිහිල්ලා සැසියෙන් සැසිය දිනන්න. එහෙම කරන්න නම් අපිට පැයෙන් පැය දිනන්න ඕන වෙනවා. ඒ නිසා අපේ ඉලක්කය වෙලා ඒ සඳහා වන මූලික දේවල් කරන එක’ යැයි දික්වැල්ල පවසයි.
දකුණු අප්‍රිකානු ඉතිහාසයේ ආසියානු කණ්ඩායමක් ඔවුන්ව සිය මව්බිමේදී පරාජයට පත් කරන ලද පළමු අවස්ථාව බවට ඉතිහාස ගත වූ මේ සුවිශේෂී තරගාවලි ජයග්‍රහණයෙන් පසු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩා කිරීමේ වූ උපරිම නිදහස ක්‍රීඩකයන්ට ලබාදීම මේ ජයග්‍රහණයේ රහස බවයි. මේ සඳහා දිමුත් සහ දික්වැල්ල අතර තරගාවලියට ප්‍රථම දීර්ඝ සාකච්ඡාවක් පැවැති බවද ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා අවධාරණය කර සිටියේය.
‘මාව උපනායකයා විදියට පත් කළාම මම දිමුත් එක්ක කතා කළා. ඒ වගේම අපේ සපෝර්ට් ස්ටාෆ් එකත් සමගත් සාකච්ඡා කළා. ඒ අනුව හැම කණ්ඩායමක් රැස්වීමකදීම හැමෝටම විවෘතව කතා කරන්න අවස්ථාව ලබා දුන්නා. දිමුත්ට වගේම මටත් ඕන වෙලා තිබුණේ කොල්ලොන්ට නිදහසේ ක්‍රීඩා කරන්න අවස්ථාව සලසා දීම. ඒ වගේම ක්‍රීඩාංගණය ඇතුළෙත් පිටතත් ඔවුන්ගේ අදහස් වලට ඉඩක් ලබා දෙන එක ගැන අපි සාකච්ඡා කළා. විශේෂයෙන්ම එළියෙදි. මම හිතන්නේ දක්ෂතා අතරට එන්න ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමේ නිදහස ලබාදීම හරි වටිනවා’ යනුවෙන් දික්වැල්ල පවසයි.
පැවැති ටෙස්ට් තරග 2 දී කඩුල්ල පිටුපස සිට උඩ පන්දු 9 ක් රැක ගැනීමට දික්වැල්ල සමත්වූවේය. දකුණු අප්‍රිකාව වැනි වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවලදී කඩුලු රැකීම ඉතාම අසීරු කටයුත්තක් වුවද සිය වගකීම් කොටස මැනවින් ඉටු කිරීමට දික්වැල්ල සමත්විය. එමෙන්ම ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය සනාථ වුණු පෝර්ට් එලිසබෙත් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 42 ක් රැස් කිරීමටද දික්වැල්ල සමත්විය.
බැලූ බැල්මට එම ලකුණු සංඛ්‍යාව එතරම් විශාල ලකුණු සංඛ්‍යාවක් නොවුණද දකුණු අප්‍රිකාව පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 222 ක ඉනිම හඹා යෑමේදී පළමු ඉනිමේ පරතරය අඩු කර ගැනීමට දික්වැල්ලගේ ඉනිම මනා පිටිවහලක් විය. ආබාධයක් හේතුවෙන් ලසිත් ඇඹුල්දෙණිය පවා පිතිකරණයට නොපැමිණි එම ඉනිමේදී පළමු කඩුලු 6 ම ලකුණු 97 ක් තුළදී බිඳ වැටී තිබියදී, පළමු ඉනිම ලකුණු 154 ක් දක්වා ඉහළ දැමීමට දික්වැල්ලගේ ඉනිම ඉවහල් විය. ‘අපිට නිතරම ඕන වුණේ ලීඩ් එක තියාගන්න. නමුත් මේ තරගාවලියේදී පන්දු යවන්නන් දක්ෂතාවන් තමයි ජයග්‍රහණය සඳහා ගොඩක් ඉවහල් වුණේ. විශේෂයෙන් විශ්ව (ප්‍රනාන්දු) සහ කසුන් රජිත. සුරංග ලක්මාල්ට කඩුලු ලබාගන්න බැරි වුණත් ඔහු දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට හොඳ පීඩනයකින් යුතුව පන්දු යැව්වා. ඒකත් ටිකක් පුදුමය දනවන දෙයක්. ඒත් ලොකු ඉනිමක් නොවුණත් මම ලබාගත්ත ලකුණු 42 ත් අපේ ජයග්‍රහණයට හේතු වුණා කියලා මම විශ්වාස කරනවා’ යැයි දික්වැල්ල පවසයි.

0 Comments