පිට පිට උත්සාහක දිනුම් ද්විත්වයක් තැබූ මිතුන් හපුගොඩ අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලානය සඳහා වන සුපිරි වටයේ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයෙන් ලකුණු 21-14ක ජයක් හැව්ලොක්ස් පිලට ලබා දීමට සමත්විය.
හැව්ලොක්ස් පිටියේ පසුගියදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට දෙපිලම ලකුණු 7 බැගින් ලබා සම තත්ත්වයේ පසුවූවත් දෙවැනි භාගයේ 48 වැනි මිනිත්තුවේදිත්, 59 වැනි මිනිත්තුවේදීත් විශිෂ්ඨ උත්සාහක දිනුම් දෙකකින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට හපුගොඩ සමත්විය.
සිය කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු සනත් මාටිස්ට තරග තහනමක් පනවා තිබීමෙන් තරමක පසුබෑමකින් යුතුව මේ තරගයට එක්වූවත් හැව්ලොක්ස් පිල ආරම්භයේ සිටම දැඩි අධිෂ්ඨානශීලීව ක්‍රීඩා කිරීම කැපී පෙනුණි. 9 වැනි මිනිත්තුවේදී තීක්ෂණ දසනායක තැබූ අනගි උත්සාහක දිනුමක් රීසා මුබාරක් ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු 7-0කින් පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් පිල සමත්විය.
නමුත් 19 වැනි මිනිත්තුවේදී ගැමුණු චේතිය තැබූ වේගවත් උත්සාහක දිනුම තරින්ද රත්වත්ත ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 7-7ක් ලෙස සමකර ගැනීමට සී.ආර්.පිලට හැකිවිය.
දෙවැනි භාගයේදී මිතුන් හපුගොඩ තැබූ උත්සාහක දිනුම් ද්විත්වයම මුබාරක් විසින් ගෝල බවට පත් කරනු ලැබීමෙන් 75 වැනි මිනිත්තුව දක්වා සී.ආර්.පිල ඇද බැඳ තබාගැනීමට හැව්ලොක්ස් පිල සමත්වූ අතර කවිඳු පෙරේරා තැබූ උත්සාහක දිනුම ස්ටීවන් සිවරාජ් ගෝලයක් බවට පත්කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 14 දක්වා ඉහළ දමාගැනීමට සී.ආර්.පිල සමත්විය. එහෙත් හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය ආපසු හැරවීමට එය ප්‍රමාණවත් නොවීය.
යුද හමුදාවට ජය
මේ අතර පළඟ ශූරතාව සඳහා පැවැත්වෙන සුපිරි වටයේ පළමු තරගයෙන් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 29-25ක ජයක් අත්කර ගැනීමට යුද හමුදා පිල සමත්විය. තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 18-7කින් පෙරමුණ ගැනීමට ගුවන් හමුදා පිල සමත්වූවත් දෙවැනි භාගයේදී පෙරළිකාර ක්‍රීඩා රටාවක නිරතවූ යුද හමුදා පිලේ ක්‍රීඩකයෝ තරගය ජයගත්තේ ගෝල් 3ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමගිනි. ගුවන් හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝල් 2ක්, උත්සාහක දිනුමක්, දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් පමණි.

0 Comments