Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 27කට පසු තර්ස්ටන් විදුහලට සහෝදර සංග්‍රාමයෙන් විශිෂ්ට ජයක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

පාසල් මහා ක්‍රිකට් තරග ආරම්භ කරමින් කොළඹ තර්ස්ටන් විදුහල හා ඉසිපතන විදුහල අතර පැවැති 56 වැනි සහෝදරයන්ගේ මහා සංග්‍රාමයෙන් තර්ස්ටන් විදුහල කඩුලු 10ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලානය හිමිකර ගනියි.

තර්ස්ටන් - ඉසිපතන මහා ක්‍රිකට් ගැටුමේ අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා වූයේ වසර 1999දී වන අතර තර්ස්ටන් විදුහල අවසන් වරට ජයග්‍රහණය කර තිබුණේ 1992දී මැකන්සි පෙරේරාගේ නායකත්වය යටතේය. ඒ අනුව වසර 27කට පසුව එම වාර්තාව අළුත් කිරීමට නායක සඳරු ඩයස් ඇතුළු තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි. සහෝදරයන්ගේ මහා සංග්‍රාම ඉතිහාස පොතට මේ වනවිට තර්ස්ටන් ජයග්‍රහණ 6 ක් හා ඉසිපතන ජයග්‍රහණ 4 ක් එක්ව ඇති අතර, තරග 45ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

එස්. එස්. සී පිටියේදී පෙරේදා නිමාවූ මේ මහා ක්‍රිකට් ගැටුමේදී තර්ස්ටන් ජයග්‍රහණයේ නියමුවන් ලෙස නායක සඳරූ ඩයස් හා රනේෂ් සිල්වා කැපී පෙණෙන දස්කම් දැක්වූ අතර සදරූ කඩුලු 10ක් හා රනේෂ් අගනා ශතකයක් රැස් කළහ.

කාසියේ වාසිය තර්ස්ටන් විදුහල දිනා මුලින් පන්දුවට පහරදීමට ඉසිපතන විදුහලට ආරාධනා කළ අතර ඉසිපතනය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 169ක් ලබාගත් අතර තර්ස්ටන් විදුහල පළමු ඉනිමට ලකුණු 276ක් වාර්තා කළේය. ඉසිපතන මුල් ඉනිමේ අවසන් පිතිකරුවන් සිවු දෙනකු එක් ලකුණකට දවා ගැනීමට වේග පන්දු යැවූ බවන්ත ජයසිංහ හා නායක සඳරූ ඩයස් සමත්වීම කැපී පෙණුනි. සමස්ත තරගයේදී සඳරූ ඩයස් කඩුලු 10ක් හා බවන්ත ජයසිංහ කඩුලු 6ක් බිඳ හෙලූහ.

ලකුණු 107ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ඉසිපතනය ලකුණු 144කට සීමා කිරීමට තර්ස්ටන් පන්දු යවන්නෝ සමත් වූහ. තර්ස්ටන් විදුහලට ජයග්‍රහණය සඳහා ඉලක්කය ලකුණු 38ක් වූ අතර එම පහසු ඉලක්කය කඩුල්ලක් නොදී වාර්තා කිරීමට තර්ස්ටන් ආරම්භක පිතිකරුවෝ සමත් වූහ.

තර්ස්ටන් අංක 4 පිතිකරු රනේෂ් සිල්වා පන්දු 116කදී හතරේ පහර 14ක් සමඟින් ලකුණු 109ක් ලබාගත් අතර මෙම මහා තරගයට මුල්වරය ක්‍රීඩා කරමින් දස්කම් දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක්විය. අංජු කරුණාරත්න පන්දු 80කදී හතරේ පහර 8ක් සමග ලකුණු 70ක් ලබා ගැනීම තර්ස්ටන් බලාපොරොත්තු ඉහළ දැමීමක් විය.

ඉසිපතන අංක එක පිතිකරු රවිඳු රත්නායක පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 49ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී යෑම අවාසනාවන්ත සිදුවීමකි.

තරගයේ වීරයා හා දක්ෂතම පිතිකරු ලෙස තර්ස්ටන් විදුහලේ රනේෂ් සිල්වා, හොදම පන්දු යවන්නා සදරූ ඩයස්, හොදම පන්දු රකින්නා තර්ස්ටන් විදුහලේ රශ්මික හිරිපිටිය හා හොදම ප්‍රහාරකයා ඉසිපතනයේ අංජු කරුණානායක සම්මානයට පාත්‍ර වූහ.

ඉසිපතන විදුහල පළමු ඉනිම ලකුණු 169 ( 57.1) තෙවිඳු දික්වැල්ල ලකුණු 40, මන්දීප ගුණසේකර 15, රවිඳු රත්නායක ලකුණු 20, ඉසුරු සඳමාල් 26, සවිදු උතසර 30, සවීන් දහන්ත 19 (බවන්ත ජයසිංහ 37/5, සඳරූ ඩයස් 41/4, අයේෂ් හර්ෂන 66/1)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම ලකුණු 276 (58.4) යෝහාන් ලියනගේ 12, අංජු කරුණානායක 70, නිමේෂ් පෙරේරා 16, රනේෂ් 109, (දිනත් දිසානායක 37/2, කාලික් අමත් 43/2, රවිඳු රත්නායක 34/3, යසිරු කස්තුරිආරච්චි 47/1, මධුෂ්ක සඳරුවන් 41/1 )

ඉසිපතන විදුහල දෙවැනි ඉනිම ලකුණු 144 (50.2)

මන්දීප ගුණසේකර 23, තෙවිඳු දික්වැල්ල 39, රවිඳු රත්නායක 49, (අයේෂ් හර්ෂණ 39/2, සඳරු ඩයස් 54/6, බවන්ත ජයසිංහ 27/1, යොහාන් ලියනගේ 17/1)

තර්ස්ටන් විදුහල දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී 41 (7.5) යොහාන් ලියනගේ නොදැවී 16, ජයවිහාන් මහවිතාන නොදැවී 21

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();