ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ ඉනිමක ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කර ගැනීමේ වාර්තාව සතුකර ගැනීමට ඇෆ්ගනිස්තානය පෙරේදා සමත් විය.
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ඉන්දියාවේ දෙහරාදුන්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය කඩුලු 3ක් දැවී ලකුණු 278ක් රැස්කරමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පල්ලේකැලේදී ශ්‍රී ලංකාවට එරෙහිව තබා තිබූ වාර්තාව බිඳ දැම්මේය.
ඇෆ්ගනිස්තානයට ලකුණු 84ක ජයක් අත්වූ මේ තරගයේදී ලකුණු 279ක ඉලක්කය හඹාගිය අයර්ලන්ත පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 194ක් පමණි. උස්මාන් ගානියි සමග එක්ව ඇෆ්ගනිස්තාන ඉනිම ඇරැඹු හස්රතුල්ලා සසායි වේගවත් පිතිහරඹයක් දියත් කළේ විස්සයි20 ජාත්‍යන්තර පිටියේ දෙවැනි ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවේ හිමිකරු ලෙස වාර්තා පොතටද එක්වෙමිනි.
පන්දු 62කට මුහුණදුන් දෙමින් සසායි හයේ පහර 16ක් එල්ල කළේ ජාත්‍යන්තර විස්සයි20 පිටියේ ක්‍රීඩකයකු ඉනිමකදී රැස්කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාවද තමා සතුකර ගනිමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 11කින්ද වර්ණවත් විය. විස්සයි20 තරගයක ඉහළම ඉනිම ලෙස සටහන් වන්නේ ඔස්ට්‍රේලියාවේ ඒරන් ෆින්ච් සිම්බාබ්වේ පිලට එරෙහිව රැස්කර ඇති ලකුණු 172යි.
මේ පිතිකරුවන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ලකුණු 236ක සබඳතාවක් ගොඩනැගුණු අතර එම සබඳතාව වාර්තා පොතට එක්වූයේ විස්සයි20 තරගයක ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගුණු ඉහළම සබඳතාව ලෙසයි. ගානි හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමගින් පන්දු 48කින් ලකුණු 73ක් රැස් කළේය. එමෙන්ම මේ තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසින් හයේ පහර 22ක් එල්ල කර තිබුණේ ජාත්‍යන්තර විස්සයි20 පිටියේ ඉනිමකදී ලබාගත් වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කරගනිමිනි.

0 Comments