Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 2කට පසු මී.100 තරගයට පැමිණි හිමාෂගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

තුම් පිම්ම තරගයේදී ග්‍රේෂන්ගෙන් තවත් වාර්තාවක්

ජාතික මලල ක්‍රීඩා ජ්‍යෙෂ්ඨ තේරීම් තරගාවලියේදී මීටර් 100 පිරිමි ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ හිමාෂ ඒෂාන් සමත්වූ අතර, තුම් පිම්ම පිරිමි තරගයේදී යුද හමුදාවේ ග්‍රේෂන් දයානන්ද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි. හිමාෂ ඒෂාන් මීටර් 100 පිරිමි ඉසව්ව තත්පර 10.22කින් නිම කළ අතර එහි පැරණි වාර්තාව තත්පර 10.26ක් ලෙස සටහන්ව තිබූ අතර එය වසර 2016දී ඉන්දියාවේ ගුවහාතිහී පැවැති දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී හිමාෂ ඒෂාන් විසින්ම පිහිටුවා තිබිණි.

ආබාධ තත්ත්වයක් හේතුවෙන් වසර දෙකකට පසුව නැවැත ක්‍රීඩා පිටියට පිවිසි හිමාෂ ඒෂාන් පෙරේදා මීටර් 100 ඉසව්වේ මූලික වටයේදී තත්පර 10.11ක කාලයක් වාර්තා කරමින් දක්ෂතා පෙන්වුවද, එය ශ්‍රී ලංකා වාර්තාවක් බවට ප්‍රකාශ නොවුණේ වාර්තා කළ කාලය සුලං වේගයේ වාසිය මත ලබාගත් එකක් බවට තීරණය වූ බැවිනි. මීටර් 100 අවසන් තරගයේදී දෙවැනි ස්ථානය ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජයේ විනෝජ් සුරංජය තත්පර 10.64කින් හා තෙවැනි ස්ථානය ජී. සී. රණවීර තත්පර 10.67කින් වාර්තා කළහ. මෙහි කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය පාසල් ක්‍රීඩිකා ෂෙලින්දා ජෙන්සන් තත්පර 11.93කින් හිමිකර ගැනීමට සමත් වූවාය.

තුම් පිම්ම පිරිමි තරගයේදී යුද හමුදාවේ ග්‍රේෂන් දයානන්ද නව ශ්‍රී ලංකා වාර්තාව බිහි කළේ මීටර් 16. 71ක දක්ෂතාවක් සටහන් කරමිණි. 2017දී පැවැති යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේදී සංජීව ජයසිංහ මීටර් 16. 39කින් පිහිටුවා තිබූ පැරණි වාර්තාව දයානන්ද විසින් මකා දමන ලදී. මෙලෙස දස්කම් දැක්වූ තුම් පිම්ම ක්‍රීඩක ග්‍රේෂන් දයානන්ද ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට අවශ්‍ය පරිසාධන මට්ටම පසු කිරීමද විශේෂත්වයකි.

ලබන අප්‍රේල් මාසයේ දෝහා කටාර් හී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට හා සැප්තැම්බරයේ නේපාලයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී කරවන ශ්‍රී ලංකා පිල තේරීම උදෙසා පළමු ජාතික තේරීම් තරගාවලිය ඊයේ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.

මීටර් 800 කාන්තා තරගයේදී ගුවන් හමුදාවේ නිමාලී ලියනාරච්චි විනාඩි 2:02.83කින් හා එහි පිරිමි තරගයේදී යුද හමුදාවේ ජී. ආර්. චතුරංග විනාඩි 1:50.47කින් ප්‍රථම ස්ථාන වලට පත්වූහ. නිමාලී සමග සටනක නිරතවූ ගයන්තිකා අබේරත්න විනාඩි 2:03.36කින් ඊයේ දෙවැනි තැනට පත්වූවාය.

මීටර් 200 අවසන් තරගයේදී පළමු ස්ථානය ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජයේ විනෝජ් සුරංජය තත්පර 21.39කින් දිනාගත් අතර පිරිමි උස පැනීමේ තරගයෙන් යූ. ටී. පෙරේරා මීටර් 2.15කින් පෙරමුණය පැමිණියේය. තුම්පිම්ම කාන්තා ශූරී යුද හමුදාවේ විදුෂා ලක්ෂාණී මීටර් 13.28ක්, මිටිය විසි කිරීම කාන්තා ඉසව්ව යුද හමුදාවේ එස්. එම්. අමරසිංහ මීටර් 45.77ක්, මීටර් 400 කඩුලු කාන්තා ඉසව්ව තත්පර 59.80කින් යුද හමුදාවේ ඒ. එස්. දුලානී හා එහි පිරිමි ඉසව්ව පාසල් මලල ක්‍රීඩා සංගමය නියෝජනය කළ නවෝද්‍ය සංඛපාල තත්පර 52.26කින් පළමු ස්ථානවලට පත්වූහ.

මීටර් 10000 තරගය විනාඩි 30:30.38කින් නිමකළ යුද හමුදාවේ කේ. ෂන්මුගවාසරන්, මීටර් 3000 කාන්තා බාධක දිවීම විනාඩි 10:09.02කින් යූ. කේ. එන්. කුමාරී, රිටි පැනීම මීටර් 4.30කින් යුද හමුදාවේ එස්. ඊ. ජනිත්, පිරිමි යගුලිය විසිකිරීම මීටර් 15.31කින් යුද හමුදාවේ සමිත ජයවර්ධන, කව පෙත්ත විසිකිරීම කාන්තා ඉස්ව්ව මීටර් 41.18කින් ගුවන් හමුදාවේ වි. ලක්මාලී, දුර පැනීම කාන්තා මීටර් 6.07කින් අංජානී පුලවංශ, මිටිය විසි කිරීම පිරිමි තරගය මීටර් 48.12කින් යුද හමුදාවේ සිසිර කුමාර, හෙල්ල විසි කිරීම කාන්තා තරගය මීටර් 54. 03කින් යුද හමුදාවේ දිල්හානී ලේකම්ගේ හා උස පැනීම කාන්තා තරගය මීටර් 1.70කින් නාවික හමුදාවේ දුලාංජලී රණසිංහ පළමු දිනයේ පළමු ස්ථාන හිමිකර ගත්හ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();