Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජයසූරිය වෙනුවෙනුත් පෙනී සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම්

චමිල කරවිට

ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් නමක් දිනා සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරියට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පනවා තිබෙන වසර 2 ක තහනම ලිහිල් කර ගැනීමේ හැකියාවක් පවතින්නේද යන්න සොයා බැලීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

මේ පිළිබඳව ‘දිනමිණ’ට අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නව සභාපති ශම්මි සිල්වා මහතා පැවැසූවේ, සනත් ජයසූරිය සමඟද මේ පිළිබඳව සාකච්ඡා කර බලා ඒ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කරන බවයි. රට වෙනුවෙන් කළ සේවය සලකා තමන් ඇතුළු පිරිවර මෙම තීරණයට එළැඹි බවද නව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

“ඇත්තටම සනත් ජයසූරිය කියන්නේ අපේ රටින් බිහි වුණු වටිනාම ක්‍රීඩකයෙක්. එවැනි ක්‍රීඩකයෙක්ව අපිට පහසුවෙන් අහකට දාන්න බැහැ. ඒක නිසා අපි සනත් එක්ක මේ ගැන මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ලබා දීලා තියෙන මේ දඬුවම ලිහිල් කරගන්න පුළුවන්ද කියලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි ශම්මි සිල්වා මහතා පැවැසීය.

අයි. සී. සී. ය විසින් ත්‍රෛයිමාසිකව පවත්වනු ලබන ප්‍රධාන විධායකයින්ගේ හමුවට සහභාගිවීම සඳහා සභාපතිවරයා ඇතුලු විධායක කමිටුවේ සිව් දෙනෙකු අද (28) ඩුබායි බලා පිටත්ව යන අතර, ඒ රැස්වීම අතර වාරයේ ජයසූරිය දඬුවම ලිහිල් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පවසා සිටියේය. 2011 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන් ජයසූරිය 2013 වසරේ සිට 2017 වසර දක්වා වූ අවස්ථා 2 කදී ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ නමුත්, මේ වන විට ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ කිසිදු නිලතලයක කටයුතු නොකරයි.

2017 වසරේදී තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන කාල සීමාවේදී එල්ල වුණු චෝදනාවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන කමිටුව විසින් සිදුකරන ලද පරීක්ෂණයකට සහාය නොදීම සම්බන්ධයෙන් ජයසූරියට ඉකුත් වසරේ ඔක්තෝම්බර් මසදී චෝදනා එල්ල කර තිබුණි. ඒ අනුව එම කවුන්සිල දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරද පිළි ගැනීම නිසා හිටපු ක්‍රිකට් නාකයකයාට මෙලෙස දඬුවම් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය.

ජයසූරිය කරුණු පහදයි

මෙම චෝදනාව එල්ල වූ අවස්ථාවේදීම නිවේදනයක් නිකුත් කරමින් සනත් ජයසූරිය ප්‍රකාශ කර සිටියේ, තමාට එල්ල වී ඇත්තේ තරග පාවාදීමේ චෝදනා, තණතීරු වෙනස් කිරීමේ හෝ වෙනත් දූෂණ ක්‍රියාවක් සම්බන්ධ ඒවා නොවන බවයි. තමන්ට චෝදනා එල්ල වී ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල පරීක්ෂයන්ට සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙන් බවත් ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන් හැම විටම අවංක භාවයෙන් සහ විනිවිද භාවයෙන් යුතුව ක්‍රියා කළ බවද සඳහන් කර සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();