Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධ්‍යාපන පද්ධතියෙහි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා

Author(s): 
සිතාරා සේනානි

තිරසර අධ්‍යාපන ඉලක්ක ජය ගැනීම සඳහා මෙරට අධ්‍යාපන පද්ධතියෙහි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර රැසක් ගෙන ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ 2019 ගෝලීය අධ්‍යාපන අධීක්ෂණ වාර්තාවේ සාරාංශය- සංක්‍රමණය, අවතැන්වීම සහ අධ්‍යාපනය: නොව පවුරු, තනමු පාලම් එළිදැක්වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ඊයේ (25) පැවති උත්සවයේදීය.

2019 ගෝලීය අධ්‍යාපන අධීක්ෂණ වාර්තාවේ සාරාංශය- සංක්‍රමණය, අවතැන්වීම සහ අධ්‍යාපනය: නොව පවුරු, තනමු පාලම් ඒ ඒ රජයයන්, බහු පාර්ශ්වීය ආයතන හා පුද්ගලික පදනම් අරමුදල් සපයා ඇති අතර, යුනෙස්කෝ‍ව අවශ්‍ය සහාය ලබා දී පහසුකම් සලසා ඇත.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා,

සංක්‍රමණිකයන් හා අවතැන්වූවන් පිළිබඳ ගැටලුව ජාතික මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් ද පවතින විශාල ගැටලුවක් ලෙස සියලුදෙනාම දන්නා ‍කරුණක්. තිස් වසරක යුද්ධයක් පැවති රටක් ලෙස ශ්‍රී ලංකාවට ද මේ පිළිබඳ අත්දැකීම් තිබෙනවා. නමුත් වාසනාවකට එම යුද්ධය 2009 වසරේදී අවසන් වුණා. එසේ නමුත් පශ්චාත් යුද ගැටුම් සමයේ සංහිඳියාව ඇතිකිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතිනවා. අවතැන් කඳවුරුවල සිටින දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් අධ්‍යාපනය ලබා දීම සිදුවෙනවා.

අද දිනයේ හොඳම දායාදය වන්නේ මානවයාට අධ්‍යාපනය ලබා දීමයි. මේ බව හොඳින් වටහා ගෙන මා අධ්‍යාපන ඇමැති ධුරයට පත්වීමෙන් පසු තිරසර අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම සදහා සැමට අධ්‍යාපනය තේමාව යටතේ පාසල් දරුවන්ට හා ගුරුවරුන් ඉලක්ක කොට ගෙන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන, මිලියන තුනක පමණ වන මෙරට සියලු සිසුන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩපිළිවෙළ හඳුන්වා දීම, පාසල් නිල ඇඳුම් වවුචර ක්‍රමය හඳුන්වා දීම, වසර 13ක සහතික කළ අධ්‍යාපන වැඩපිළිවෙළ හඳුන්වා දීම, සුභග සිසුන් සඳහා සුභග ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ හඳුන්වා දීම, පහසුකම් අඩු පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය, සුහුරු පන්ති කාමර ලබා දීම, විෂය ඉගැන්වීමේදී අප රටේ අඩුවක් පවතින විද්‍යාව, තාක්ෂණය, ඉංජි‍නේරු, ගණිත, වෘත්තීය පුහුණු විෂයයන් ඉගැන්වීම මෙන්ම, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි විෂයයන් ඉගැන්වීම සඳහා දක්ෂ හා පුහුණු ගුරුවරුන් බඳවා ගැනීමට අපි කටයුතු කළා.

ආකල්පමය හා හසුරු කුසලතා සංවර්ධනය, මනෝ සමාජයීය කුසලතා සංවර්ධනය, ගරු කිරීම,කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ හැකියාව වර්ධනය කිරීම, අදහස් හුවමාරු කර ගැනීමේ කුසලතා වර්ධනය ආදිය සම්බන්ධයෙන් ද අප වැඩිපුර අවධානය යොමු කර තිබෙනවා. පන්ති කාම‍රයෙන් පිටතදී ද දරුවන් තුළ ධනාත්මක හැඟිම් වර්ධනයට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා. සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම මඟින් අපට ගෝලීය අධ්‍යාපන ඉලක්ක ළඟා කර ගැනීම වඩාත් පහසු වනු ඇතැයි මා විශ්වාස කරනවා.

යුනෙස්කෝ ආයතනයේ නවදිල්ලි පර්ෂද අධ්‍යක්ෂ එරික් සෝල් මහතා-

ලෝකයේ රටවල සංක්‍රමණිකයන් හා අවතැන්වූවන් එම රටවල අධ්‍යාපන ක්‍රමය මත විශාල බලපෑමක් ඇති කරනවා. ‍2019 ගෝලීය අධ්‍යාපන අධීක්ෂණ වාර්තාව ‍ලෝකයේ සියලු තැන්වල පවතින මේ ගැටලුව ගැඹුරින් අධ්‍යයනය කර සකස් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන්හි අන්තර්ගත ජාත්‍යන්තර අධ්‍යාපන බැඳිම් මඟින් සංක්‍රමණිකයන් සහ අවතැන්වූවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කර තිබෙනවා. සංක්‍රමණිකයන්ගේ අධ්‍යාපනය නොසලකා හැරීමෙන් මානව හැකියා භාවිතයක් නොමැතිව අපතේ යාම සිදුවෙනවා.

‍ලෝකය පුරා අවතැන්වූවන් මිලියන 458ක් සිටින බව වාර්තාවී තිබෙනවා. ඒ නිසා මෙය සැලකිල්ල යොමු විය යුතු ඉතා වැදගත් තත්ත්වයක්. මේ වාර්තාවේ සංක්‍රමණිකයන් අවම මට්ටමක පවතින රටවල් මෙන්ම ඉතා වැඩි රටවල් ද තිබෙනවා. ශ්‍රී ලංකාවේ එම තත්ත්වය ඉතා අඩුයි. නමුත් මෙරටින් විදේශ රටවලට සංක්‍රමණය වන පුද්ගලයන් සිටිනවා. මේ අය රටේ ආර්ථිකයටත් දායකත්වයක් ලබා දෙනවා.

ඒ නිසා ඔවුන්ට වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම ඉතාම වැදගත් වෙනවා. තිරසර අධ්‍යාපන ඉලක්ක ජය ගැනීමේදී මේ කරුණු සම්බන්ධයෙන් ද ඒ ඒ රටවල ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු විය යුතුයි.

ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා මෙහිදී ප්‍රධාන දෙසුම පැවැත්වූ අතර,

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මධුරා වේහැල්ල මහත්මිය හා ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිසමේ ලේකම් ප්‍රේමලාල් රත්නවීර මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිස‍මේ හිටපු ලේකම් ප්‍රීති පෙරේරා, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර, යුනෙස්කෝ මෙරට නේවාසික සම්බන්ධීකාරක මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප-

වාසිත පටබැඳිගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();