Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විපක්ෂයේ ඇතැමුන් ප්‍රජාතන්ත්‍රවාදය ස්වාධීන කොමිෂන් සභා විනාශ කරන්න පටන්ගෙන තිබෙනවා

Author(s): 
අසේල කුරුළුවංශ

ඊට එරෙහිව පියවර ගන්නා බව ආණමඩුවේදී අගමැති කියයි

විපක්ෂයේ ඇතැම් කණ්ඩායම්, සංවිධානාත්මකව දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමටත් ස්වාධීන කොමිෂන් සභාවලට බලපෑම් කරන බවත් ඒ පිළිබඳව පියවරක් ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගිය දා (22) රුපියල් කෝටි 500ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරෙන ආණමඩුව ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් බවට පත් කිරීමේ අවස්ථාව සඳහා එක්වෙමිනි .

රෝහල් භූමියට පැමිණ සිටි පුත්තලම් දිස්ත්‍රික් තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් සමඟ අගමැතිවරයා සුහද පිළිසදරක නිරත විය. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් තරුණ,තරුණියන් සඳහා ලබාදීමට යෝජිත ණය ක්‍රමවේදයන් තවත ක්‍රමවත් කිරීමට මුදල් අැමැතිවරයා සමඟ සාකච්ඡා කැර හැකි ඉක්මනින් විසදුමක් ලබාදෙන බව ද අගමැතිවරයා තරුණ තරුණියන්ට අවදාරණය කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරය මෙසේද පැවසිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනය ඓතිහාසික නීතියක් බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට පක්ෂ බේදයකින් තොරව එක් වී එය ආරක්ෂා කිරීමට පියවර ගතයුතුයි.

අද දිනය පුරා සංවර්ධන සංවර්ධන වැඩසටහන් රැසක් ආණමඩුව, පුත්තලම ප්‍රදේශවල ජනතා අයිතියට පත් කළා. තබ්බෝව කරුවලගස්වැවට පානීය ජල ව්‍යාපෘතියක්, තෙමහල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්, අංග සම්පූර්ණ ඉ පිරවුම්හලක්, නවගත්තේගම ප්‍රදේශයේ ලේකම් කාර්යාලයට මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක්, ආණමඩුව ප්‍රදේශයේ උස්වැව පරාක්‍රම ප්‍රාථමික විද්‍යාලයේ අංග සම්පූර්ණ දෙමහල් තාක්ෂණික සම්පත් මධ්‍යස්ථානයක්, ආණමඩුව සති පොළත්, ආණමඩුව රාජ්‍ය ඔසුසලත් මම ජනතා අයිතියට පත් කළා. අද මෙම වේදිකාවේ පිළිගැනීමේ කතාව කළ වෛද්‍ය ආචාර්ය රවී වෛද්‍යආරච්චි මහතා ඉතා සතුටින් කතා කළා. එතුමා මෙම ආණමඩුව ප්‍රදේශයේ පදිංචි කරුවකු නිසා අද එතුමා ඉතාමත් සතුටු වෙනවා.

1978 අතුරු මැතිවරණය සඳහා අපි ආණමඩුවට එද්දි ආණමඩුවේ තත්ත්වය අපි අමුතුවෙන් කියන්න වුවමනා නෑ. අද වන විට විශාල දියුණුවක් මෙම ප්‍රදේශයට ඇතිවී තිබෙනවා. මෙම ආණමඩුව ප්‍රදේශය දියුණු කරන්න පාලිත රංගේබණ්ඩාර මහතා ගත් උත්සාහය ඉතාමත් විශිෂ්ඨයි. එතුමාගේ මැදිහත්වීම මත කාර්මික විද්‍යාල, රෝහල්,හොඳම පාසල ළඟම පාසල යටතේ ගොඩනැගිලි දියුණු කිරීමත්, මහාමාර්ග දියුණු කර වරි ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. මෙම ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කර තිබෙනවා. එම මුදල කෝටි 75 කට අදිකයි. මම සහභාගී වුණ ඒවා විතරයි. තවත් ඉදි කිරීම් රංගේබණ්ඩාර ඇමැතිතුමා ආණමඩුවට ලබදී තිබෙනවා.

රංගේබණඩාර ඇමැතිතුමාට මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. එතුමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීම පිළිබඳව කතා කරලා තිබෙනවා. ඒ නිසා එතුමාට සහ සරත් ෆොන්සේකා මහතාට කැබිනට් ඇමැතිකම් දෙන්න මම නම් කරලා තිබෙනවා.

මෙතන දී තරුණ සේවා සභාවේ පුත්තලම් දිස්ත්‍රික්කයේ තරුණයන් මට මුණ ගැසුනා. අපි ඒ අය සමඟ කතා කළා. ඒ අයගේ මූලික ප්‍රශ්නය වුණේ එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබා ගැනීම පිළිබඳවයි. අපි ඒ සඳහා බැංකු සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. මෙම අයවැයෙන් පස්සේ තරුණයන්ට කාර්මික සහ වෘත්තිය පුහුණුව ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයත්, බිංගිරියේ ආයෝජන ප්‍රවර්ධන කලාපයත් ඉදිකර තරුණයන්ගේ රැකියා ගැටලුව විසදනවා.

19 වැනි සංශෝධනය කියන්නේ ඓතිහාසික නීතියක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට පක්ෂ බේදයකින් තොරව සම්මත කළ නීතියක්. එම 19 වැනි සංශෝධනය නිසා එදා තිබූ 18 වැනි සංශෝධනය මඟින් ක්‍රියාත්මක වු ආයතන සියල්ල නැති වුණා. එම දහඅටවැනි සංශෝධනය මඟින් අධිකරණයේ නිදහස නැතිවුණා .පොලිසියේ නිදහස නැති වුණා.රාජ්‍ය සේවයට දේශපාලනය ඇතුළු වුණා. රාජ්‍ය ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලැබුණේ නෑ. ඒ නිසා විශාල ප්‍රශ්න ඇති වුණා.

අද මේ රටේ ණය ගැනීමේ ප්‍රශ්නය තිබුණේ කලින් සඳහන් කළ රාජ්‍ය අංශයේ ආයතන ස්වාධීනව ක්‍රියාත්මක නොවූ නිසායි. එම ප්‍රශ්න ගැන කතා කෙළේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණයි. ඒ නිසා තමයි අපි 2012 සිට විශාල සටනක් ගෙන ගියේ. අපේ පක්ෂය එම සටන ආරම්භ කළා සේම විපක්ෂයේ අනෙකුත් පක්ෂ, සිවිල් සංවිධාන, ආගමික නායකයින්ද එක්ව රටේ නැති වී තිබූ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න උත්සාහ කළා.

එම උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස තමයි එදා තිබූ දූෂිත පාලනය නැති කරන්න 19 වැනි ව්‍යවස්ථාවක් ගේන්න කටයුතූ කෙළේ. ව්‍යවස්ථාදායක සභාවක් ඇති කරලා, ස්වාධීන කොමිෂන් සභා සියල්ල ක්‍රියාත්මක කර යහපත් පාලනයක් ගේන්න කටයුතු කෙළේ. ඒ පිළිබඳ ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් පක්ෂ බේදයකින් තොරව එක තීරණයේ සිටියා. ඒ නිසා තමයි අපි තීරණය කෙළේ ජනාධිපති ලෙස පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා ඊට පසුව මෙම 19 වැනි සංශෝධනය ඉදිරිපත් කරන්න.

එදා පාර්ලිමේන්තුවේ අපිට සිටියේ සුළුතරයක්. අපි 19වැනි සංශෝධනය ඉදිරිපත් කළා. ජනාධිපතිවරයා මැදිහත් වෙලා තමන්ගේ පක්ෂයේ සහයෝගයත් ලබා දුන්නා. ඒත් සමහරු කැමැත්තෙන් ජන්දය දුන්නා. සමහරු අකමැත්තෙන් ජන්දය දුන්නා. දැන් විපක්ෂයේ සිටින කණ්ඩායම 2015 මැතිවරණයට පෙර කටයුතු කෙළේ අධිකරණය, පරිපාලනය සියල්ල දේශපාලනීකරණය කරලා අනාගතයේ බලය ලැබෙයි කියා සිතා තමන්ගේ පෞද්ගලික අනසකයේ තබා ගැනීමටයි. අපි ඒකට විරුද්ධ වුණා. අපි එදා කිව්වෙත් කවුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් රාජ්‍ය අංශ ස්වාධීනව තැබිය යුතුයි කියලයි.

19 වැනි සංශෝධනය ක්‍රියාත්මක කර අපි ව්‍යවස්ථාදායකය මණ්ඩලයක් ඇති කළා .සමහරු කිව්වා එම මණ්ඩලයේ මන්ත්‍රීවරුන් තුන්දෙනයි සිටිය යුත්තේ කියලා. ඒ අය පාර්ලිමේන්තු විවාද කරලා සාමාජිකයන් හත් දෙනකු අවශ්‍ය කියා කිව්වා.19 වැනි ව්‍යවස්ථාව මඟින් ලැබුණු ප්‍රතිඵල අද අපිට පේනවා. අද නිදහස තිබෙනවා ඕනෑම වැඩ කටයුත්තකට. ආණ්ඩුවට දොස් කියන්න, පෙලපාලි යන්න, තමන්ට වුවමනා තොරතුරු ලබා ගන්න, විගණකාධිපති කොමිසමට යන්න පුළුවන්. අධිකරණය ස්වාධීනයි. සෑම අංශයෙන්ම අද ජනතාව නිදහස්. ඒ නිදහස ආරක්ෂා වී තිබෙන්නේ 19 වැනි සංශෝධනය නිසායි. 19 වැනි සංශෝධනය ඉවත් කළොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසත් ඉවත් වෙනවා.

එදා 19 ව්‍යවස්ථාව ගේන්න අකමැත්තෙන් හරි ජන්දය දුන් මන්ත්‍රීවරුන් දැන් සිතාමතා ස්වාධීනත්වය ආරක්ෂා කරන කොමිෂන් වලට ගහනවා.එහි සාමාජිකයන්ට ගහනවා. පාර්ලිමේන්තුව ඇතුළෙත් පිටත් එම කොමිෂන් සභාවල නියෝජිතයන්ට බැන වදිනවා. මම දැක්කා මාධ්‍ය තුළින් විපක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් අග්‍රවිනිශ්චයකාරතුමාගේ ආගම පිළිබඳව විවේචනය කරනවා. අග්‍රවිනිශ්චයකාර තුමා මොන ආගමට අයිති වුණත් අපට අවශ්‍ය ස්වාධීනත්වය සහ නිදහසයි. .

විපක්ෂයේ කණ්ඩායම් පාර්ලිමේන්තුව තුළත් පිටත් සංවිධානාත්මකව ස්වාධීන කොමිෂන් නවත්වන්න වැඩසටහනක් තමයි පසුගිය සති කීපය තුළ දැක්කේ. අපි ඒක මාධ්‍ය තුළත් දැක්කා. මෙම ස්වාධීන කොමිෂන් ආරක්ෂා කිරීමට අපි ඔක්කොම ඉදිරියට ආ යුතුයි. මෙවැනි කඩාකප්පල් ක්‍රියා වලදී පැහැදිලියි කාටද ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැත්තේ කියා. මෙම කොමිෂන් සභාවල අඩුපාඩු තිබෙනවා නම් අපි ඒවා නිවැරැදි කරන්න ඕනෑ. කරුණු පැහැදිලි කළ යුතුයි. එම සීමාව ඉක්මවා මෙම ස්වාධීන කොමිෂන් වලට පහර ගසනවා නම් අපි සිතා බැලිය යුතුයි අපි නැවත දූෂිත පැරණි යුගයට යනවාද. එහෙම නැතිනම් 19 වැනි සංශෝධනය ආරක්ෂා කරලා ප්‍රජාතන්ත්‍රවාදය රකිනවාද කියන ප්‍රශ්නය රටේ තිබෙන්නේ. මෙය පක්ෂ බේදයකින් තොරව සිතා බැලිය යුතු කාරණයක්. ඒ නිසා අපි සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්ෂා කළ යුතුයි.

මෙම ස්වාධීන කොමිෂන් සභාවල දෙනු ලබන තීන්දු තීරණ ආණ්ඩුවට අවශ්‍ය ලෙස ලබා දෙන්නේ නෑ. ආණ්ඩුවට විරුද්ධව තීන්දු ලබා දී තිබෙනවා. ස්වාධීන තීරණ දෙන නිසා පොලිසියට බිය විය යුතු නෑ.අධිකරණයේ ස්වාධීන තීන්දු දෙනවා. මේවා ආරක්ෂා කරනවාද නැද්ද කියන එක ජනතාව ගැඹුරින් සිතා බැලිය යුතුයි.

මෙම ස්වාධීන කොමිෂන් ඇති කිරීමේදී විවිධ පක්ෂ, සිවිල් සංවිධාන වල සභාපතීත්වය දැරූ වර්තමාන කතානායක්තුමා විශාල සහයෝගයක් දැක්වූවා. මෙම ව්‍යවස්ථා කෙටුම්පත හැදුවේ චොක්සි හිටපු ඇමැතිතුමා. ඒවා ඉදිරිපත් කරද්දි එක ප්‍රශ්නයක් ඇති වුණා කොහොමද ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වෙන්නේ කියා. 1947 සිට රටේ තිබ්බ අධිකරණ කොමිෂන් සභාවක් වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවක්. ඒ කොමිෂන් සභාවලින් පත්වීම් දෙන කොට සහ පත්වීම් ප්‍රතික්ෂේප කරන කොට අපි කිසිඳු හේතුවක් ඉදිරිපත් කෙළේ නෑ. ඒ අය තීන්දුව විතරයි ලබා දුන්නේ. අපි බැලුවා මෙම ස්වාධීන පත්කිරීම් ක්‍රමය වෙනස් කෙළොත් අධිකරණ සේවා කොමිෂන් සෑම එකකටම හේතු ඉදිරිපත් කරන්න සිදු වෙනවා. වාද විවාද කරන්න සිදු වෙනවා.

ජනාධිපතිතුමා අණ්ඩුකාරවරයා පත්කරන විට හේතු ඉදිරිපත් කෙළේ නෑ. එම පත්වීම් අපට එවන විට අපි එම පත්වීම් සඳහා හේතු ගන්න බලාපොරොත්තුවෙන් සිටියේ නෑ. එදා තිබූ සම්ප්‍රදාය අනුව ව්‍යවස්ථාදායක සභාව කොමිෂන් සභා වාගේ හේතු දක්වන්නේ නෑ. රජයේ සේවා කොමිසම, පොලිස් කොමිසම, අධිකරණ කොමිසම, විගණකාධිපති කොමිසම සම්ප්‍රදායක් අනුව ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා එම කොමිෂන් සභාවල නියෝජිතයන්ගේ නම් කියලා විවේචනය කිරීම ඉඩදෙන්න බෑ. ඒ නිසා එයට විරුද්ධව දේශපාලන බේදයකින් තොරව අත්වැල් බැදගෙන ක්‍රියාකරන්න කියා මම ජනතාවට කියනවා.

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා-

අද ආණමඩුව මැතිවරණ ප්‍රදේශයට ඉතාමත් සුවිශේෂී දවසක්. වසර ගණනාවක් පැරණි ආණමඩුව දිසා රෝගල මූලික රෝහලක් බවට පත් වුණා. ඒ සඳහා ප්‍රදේශයේ සියලු ජනතාව පෙළ ගැසුනා. ප්‍රදේශයේ ජනතාව අත්සන් 35000කින් සමන්විත නම් ලේඛනයක් සෞඛ්‍යය අැමැතිතුමාට ඉදිරිපත් කළා .ඒ සමඟම එතුමා කිසිදු පැකිලීම නැතිව රෝහල දියුණු කර දෙන බවට පොරොන්දු වුණා. අද එම පොරොන්දුව ජනතවට ඉටු වී තිබෙනවා.

රෝහල පමණක් නෙමෙයි මේ ප්‍රදේශයට ඔසු සලක් තිබුණේ නෑ. ඒ නිසා මම රාජිත ඇමැතිතුමාට කිව්වා ඔසු සලක් දෙන්න කියා. එතුමා වහාම නියෝග කළා ආණමඩුවට ඔසුසලක් දෙන්න කියා. එයත් අද අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළා. ශ්‍රී ලංකාවටම තිබෙන්නේ ඔසු සල් 39යි. හතලිස් වැනි ඔසුසල ආණමඩුවට හිමිවීම පිළිබඳව මම සතුටු වෙනවා.

ලබන මැයි මාසයේ ආණමඩුවට ආයුර්වේද රෝහලක් ලැබෙනවා. දැවැන්ත ඉන්ධන හලක් ලැබුණා අද ජනතාවට. ආණමඩුවට මෙවැනි සංවර්ධනයක් කිසිදු ආණ්ඩුවකින් ලැබුණේ නෑ.

වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා-

2015 ආණ්ඩු වෙනසින් පසු මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරනවා වගේම එයට සමගාමීව ගම් ඇතුලේ සංවර්ධනය සිදු කිරීමයි. ගමේ පාසලට ගුරුවරු, වැසිකිළි, ගොඩනැගිලි බලාදීම, ගමේ පාර ලබාදීම, ගමේ රෝහල සංවර්ධන කිරීම ජනතාවගේ අපේක්ෂාවයි. ගැමි ජනතාවගේ හදවත වන ගමේ රෝහල සංවර්ධනය කිරීම මඟින් ගමේ මිනිසුන්ට නගරයේ රෝහල්වලට විශාල දුරක් ගමන් කිරීමට සිදු වෙන්නෑ.

අගමැති තුමා සහ සෞඛ්‍ය අැමැතිතුමා විශාල සේවාවක් කළා. බෙහෙත් නොමිලේ ලබා දුන්නා. ශල්‍යකර්ම සඳහා බෙහෙත් නොමිලේ ලබා දුන්නා. මෙතෙක් ලංකාවේ ගිලන් රථ තිබුණේ වෑන් රථයක් මඟින්. නමුත් අද ලෙඩෙක් ගෙනයන්න පුළුවන් විදියට අංග සම්පූර්ණ ගිලන් රථ දිවයින පුරා ක්‍රියාත්මකයි.එය ජනතාව ලද විශාල ජයග්‍රහණයක්.

මෙම අවස්ථාව සදහා ඇමැති රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, මර්වින් සිල්වා, නිරෝෂන් පෙරේරා, , ඇතුළු රාජ්‍ය අංශයේ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 

ජායාරූප - හිරන්ත ගුණතිලක 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();