ගංගාරාම විහාරවාසී කිරින්දේ අස්සජි හිමි
ඩී.ආර්. විජේවර්ධන ශ්‍රීමතාණෝ ඇරැඹු ලේක් හවුස් ආයතනය දකුණු ආසියාවේ විශිෂ්ඨතම පුවත්පත් ආයතනය ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීමට එතුමාට හැකියාව ලැබුණා. එයින් ශ්‍රී ලාංකේය ජනතාවට දැනුම ප්‍රවිෂ්ට කර ගැනීමේ අවස්ථාව උදාවී ඇතැයි ගංගාරාම විහාරවාසී කිරින්දේ අස්සජි හිමියෝ පැවසුහ.
අස්සජි හිමියෝ මේ බව පැවසූවේ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන් ගේ 133 වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැති ධර්ම දේශනාවේදීය.
ගංගාරාම විහාරස්ථානය මූලිකත්වයෙන් පැවැති මේ පිංකම ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ මූලිකත්වයෙන් ලේක්හවුස් බෞද්ධ සංගමය විසින් පසුගියදා (21) සංවිධානය කර තිබුණි.
එහිදි අස්සජි හිමියෝ මෙසේද පැවසුහ.
අප බුදු පියාණන් වහන්සේ ගේ තෙවන ලංකා ගමනය සිදුවූ කැලණි රජමහා විහාරය එළිය කළ කුල කාන්තාවක් වන හෙලේනා විජයවර්ධන ළමාතැනී ගේ ආදරණීය පුතු වූ ඩී.ආර්. විජයවර්ධන මහතා කුඩා කල සිටම තම දක්ෂතාව හා හැකියාව ඔහු අධ්‍යාපනය හැදෑරූ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් පෙන්නුම් කර තියෙනවා.
පසුව එංගලන්තයේ කේම්බ්‍රීජ් විශ්ව විද්‍යාලයෙන් නීතිය හදාරා අධි නීතිඥයෙක් ලෙස ලංකාවට පැමිණියද එතුමා නීතිඥයෙක් ලෙස ක්‍රියා නොකර රටට අවශ්‍ය ක්ෂේත්‍රයක් තෝරා ගැනීමට කටයුතු කළා. ඒ තමයි පුවත්පත් කලාව.
නිවැරැදි මාධ්‍ය හැසිරීමේන් පුවත්පත් කලාව අනභිභවනීය තත්ත්වයකට පත්කිරීමට එතුමාට හැකියාව ලැබුණා. මුද්‍රිත මාධ්‍ය පමණක් නොව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද නිසියාකාරව කාර්යභාරය සිදු වෙනවාද යන්න සොයා බැලුවා. සමාජට වැඩදායි ලෙස මේ ක්ෂේත්‍රය වෙනුවෙන් එතුමා කළ කැපවීම නිසාම තවමත් ලේක්හවුස් ආයතනයේ සේවකයෝ සේවයට පැමිණීමේදී හා පිටව යෑමේදී ඉදිරියේ තබා ඇති ඩී.ආර්. විජේවර්ධන පිළිරුවට කෘතඥතාව පළ කරන්නට පුරුදුව සිටිනවා. දිනක් ඇමරිකා එක්සත් ජනපදයේ පුවත්පත් ආයතනයක ලේඛකයකු ඩී.ආර්. විජේවර්ධන මහතාගෙන් විමසනවා ප්‍රවෘත්තියක මූලිකම ලක්ෂණය කුමක්ද කියා. මෙතුමා එයට දී ඇති පිළිතුර ප්‍රවෘත්තියේ නිරවද්‍යතාව යන්නයි. මේ අනුව කිසියම් ප්‍රවෘත්තියක් අපි සමාජයට දීමේ දී එය මොන තරම් නිවැරැදි විය යුතුද කියා එතුමා එදා ප්‍රකාශ කළා. මේ පිළිබඳ මාධ්‍ය ආයතන මාධ්‍ය හැසිරවීමේ දී හොඳින් මතක තබා ගත යුතුයි.
ලෝකයේ තොරතුරු නිවැරැදිව මාධ්‍යයෙන් මුදා හැරීමට සැලකිලිමත් වන්න. දිනමිණ පුවත්පත ආරම්භ කර වසර 2, 3ක් ගිහින් සිළුමිණ පුවත්පත ආරම්භ කළා. 1918 ඩේලි නිවුස් පුවත්පත ආරම්භ කළා. මෙය අභියෝගාත්මක කාලයක්. නමුත් සාර්ථක ප්‍රතිඵල ලබපු කාලයක්. එදා දිනමිණ පුවත්පත සත තුනයි. සිළුමිණ පුවත්පත සත 10යි. එදා සිළුමිණ පුවත්පතට කිව්වේ සත 10යේ විශ්ව විද්‍යාලය කියලයි. එහි හරවත් බව ගැන එදා පාඨකයා එහෙම කිව්වේ පුවත්පත් විමසිල්ලෙන් කියවපු නිසයි .
මේ ලේක්හවුස් ආයතනය ඩී.ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන් මේ රටට දායද කළ සුවිශේෂී ආයතනයක්. ජාතිය ආගම සංස්කෘතිය සහ සභ්‍යත්වය පිළිබඳ ජාතික අභිමාණයක් දේශාභිමානයක් ඇතිවන විදියට ස්වතන්ත්‍ර පාලන ක්‍රමයක අවශ්‍යතාව පෙන්වා දීමට ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, පොන්නම්බලම් අරුනාචලම්, ඩී. ජේ. සමරවික්‍රම, ඩබ්ලිව්. ඒ. සිල්වා, එෆ්.ආර්. සේනානායක, ඩී.ආර්. සේනානායක, ඩී.ඇස්. සේනානායක යන පතාක යෝධයන් අතර ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් හැමවිටම උත්සාහ කාළේ පුවත්පතෙන් නිහඩ සේවයක් කරන්නයි. මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ ශ්‍රී නාමය නිදහස් සටනේ ශක්තිය හා ජීවය දීමට සමත් වී තිබෙන බව අපි කවුරුත් පිළිගත යුතුයි. මේ රට භාෂා සාහිත්‍ය ගැන සුවිශේෂී දැනුමක් තිබූ එතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඩී.ආර්. විජයවර්ධන අනුස්මරණ ශාලාව හැදුවා. එසේම තමා හරි හම්බ කරපු දෙයින් භික්ෂු ශාසනය නඟා සිටුවීමට කෙහෙල් පන්නල වලව්වත්, හිඳගල වලව්වත් සංඝා වාසයක් බවට පත් කළා. එතුමාගේ මෑණියෝ කැලණි රජමහා විහාරය, හුණුපිටිය ගංගාරාමය, බම්බලපිටිය වජිරාරාමය යන පූජනීය ස්ථාන එතුමා ගේ අනුග්‍රහකත්වය යටතේ ඉදි කළා. පිය පුතු සභාපති දැරූ ආයතනයක් ලෙස ලේක් හවුස් ආයතනය හැඳින්විය හැකියි. එතුමාගේ පුතණුවන් වන රංජිත් විජේවර්ධන මහතාද ලේක්හවුස් ආයතනයේ සභාපති ධූරය දරා තියෙනවා.
සත්පුරුෂයෝ සිහිකර ඔවුන්ට පිංපෙත් අනුමෝදන් කිරීම සත්පුරුෂයන්ගේ වගකීමක්. මේ නිසා පහුගිය වසරෙත් ලේක්හවුස් වත්මන් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ගේ ප්‍රධානත්වයෙන් ලේක්හවුස් සේවකයින් කිසිදු භේදයකින් තොරව මෙවැනි පිංකමක් සංවිධානය කර තිබුණා. වෙසක් කලාපයේ දී ද ලේක්හවුස් ඉතිහාසයේ විශාලම බත් දන්සල දීමට කටයුතු කර මේ ප්‍රදේශයම විදුලි බුබුළු වලින් ආලෝකමත් කිරීමට වත්මන් පාලනාධිකාරිය කටයුතු කර තිබූ බව මේ අවස්ථාවේ සිහිපත් කරන බවද උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටියහ.
ආරක්ෂක හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ක්‍රිෂාන්ත කුරේ, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ හා ඩේලි නිවුස් කර්තෘ ලලිත් අලහකෝන්, මුදල් අධ්‍යක්ෂ දුෂ්‍යන්ත බස්නායක, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, ලේකම් කුමුදු ගුණවර්ධන, දිනමිණ ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල්, ගංගාරාම විහාරස්ථ දායක සභාවේ සභාපති එරන්ද සුජීව විජේවර්ධන, බුදුසරණ කර්තෘ රමණි සුබසිංහ, බුදු සරණ පුවත්පතේ උපදේශක සීසර් සුදුසිංහ, පුවත්පත් කතුවරු ඇතුළු ලේක්හවුස් ආයතනයේ සේවක සේවිකාවෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 Comments