Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ වරාය නව තොරතුරු තාක්ෂණය භාවිත කරමින් ස්වයංක්‍රීය සුහුරු වරායක් බවට පත්කරනවා

චන්ද්‍රිකා පෙරේරා

ශ්‍රී ලංකාවේ කාර්යබහුලම වරාය වන කොළඹ වරාය නව තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් ස්වයංක්‍රීය පද්ධතිවලින් ක්‍රියාත්මක, සුහුරු වරායක් (Smart port) බවට ඉදිරි මාස 18දී පත් කරන බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා ඊයේ දින (25) පැවැසීය.

මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 929ක මුදලක් වෙන්කර තිබෙන අතර ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව වරාය අධිකාරියේ මෙහෙයවීමෙන් මෙම කාර්යය සිදු කෙරෙන බවද කොළඹ වරාය ස්වයංක්‍රීය පද්ධතිවලින් ක්‍රියාත්මක වන සුහුරු වරායක් බවට පරිවර්තනය කිරීම කාලීන අවශ්‍යතාවක් බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේ ය.

මෙම සංවර්ධන කාර්යයේ දී පර්යන්ත කළමණාකරණය සහ නැව්බඩු මෙහෙයවීම් ස්වයංක්‍රීයකරණය කිරීමට රුපියල් මිලියන 929ක මුදලක් වැය වෙතැයි ගණනය කර තිබේ.

නවීන තාක්ෂණය හරහා ලෝකය ගමන් කරන වේගවත් බවට සමගාමිව ඉදිරියට යාමට කොළඹ වරාය ස්වයංක්‍රීය පද්ධතිවලින් ක්‍රියාත්මක වන සුහුරු වරායක් බවට පරිවර්තනය කිරීම කාලීන අවශ්‍යතාවක් බවද ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.

නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් ස්වයංක්‍රීය පද්ධතිවලින් යුක්ත සුහුරු වරායක් බවට පත්කිරීම මගින් පාරිභෝගික කළමනාකරණය සහ සේවා සැපයීමේ ක්‍රියාවලයේදී කොළඹ වරාය සහයෝගයෙන් හා සාමුහිකත්වයෙන් වර්ධනය වනු ඇති බවයි.

වේගයෙන් දියුණුවන තාක්ෂණය සමග ස්වයංක්‍රිය පද්ධති වලින් ක්‍රියාත්මක සුහුරු වරායක අවශ්‍යතාව ආර්ථික ජයග්‍රහණ සදහා සාධකයක් බවට ඉස්මතු වෙමින් පවතී. ඒ අනුව මෙම ව්‍යාපෘතිය මගින් ඒ සදහා අවශ්‍ය මුලික අඩිතාලම සැකසේ.

මෙම ව්‍යාපෘතිය යටතේ පර්යන්ත මෙහෙයුම් කටයුතු සහ නැව්බඩු මෙහෙයවීම් කිසිදු ඝට්ඨනයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය තොරතුරු තාක්ෂණික පහසුකම් සහ තොරතුරු පද්ධතින් නවීකරණය කෙරෙයි. මෙම ව්‍යාපෘතින් ඉදිරි මාස 12ත් 18ත් අතර කාලසීමාවේදී සම්පුර්ණ කිරීමට බලාපොරොත්තු වන බවට ඇමැතිවරයා පැවැසීය.

මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ වරායේ දොරටු ස්වයංක්‍රිය කරණ පද්ධතියක්, අංගණ ස්වයංක්‍රිය කරණ පද්ධතියක්, පර්යන්ත ස්වයංක්‍රිය කරණ පද්ධතියක්, DGPS පද්ධතියක් සහ තවත් ස්වයංක්‍රිය පද්ධති රාශියක් ස්ථාපනය කිරීමට නියමිතය.

ඒ අනුව කොළඹ වරාය ඉදිරියේ දී ‘ඉතා කෙටි කාල සීමාවකින් විශාල මෙහෙයවීම් ප්‍රමාණයක් සිදු කරන කාර්යක්ෂම වරායක්‘ බවට පත්වනු ඇතැයි සාගල රත්නායක මහතා ප්‍ර‍කාශ කෙළේය.

එබැවින් මෙම සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී තොරතුරු තාක්ෂණික සහ තොරතුරු පද්ධති සංවර්ධනය මෙන්ම වරායේ පිරිසිදු බව, සේවක ආකල්ප, පරිපාලන කටයුතු සහ සේවක සුබ සාධනය ආදී අංශද සමාන පරිවර්ථනයකට ලක්කළ යුතු බව ඇමතිවරයා පැවසීය.

මෙම කාර්යයේ දී මූලික ව කටයුතු කළ අගමැති රනිල් වික්‍රමසිංහ , ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාරිත්වයටත් තොරතුරු පද්ධති අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍ර‍සන්න ලොකුගේ මහත්වරුන්ට ස්තුති කළ යුතු බව ද ඇමතිවරයා සදහන් කෙළේ ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();