Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඓතිහාසික ටෙස්ට් තරගමාලා ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් පිටිය කළඹයි

ද. අප්‍රිකාවේදී තරගමාලාවක් ජයගත් පළමු ආසියාතික කණ්ඩායම ශ්‍රී ලංකාවයි

පිටියේදිත්, ඉන් පිටතදිත් මතභේද රැසකට මුහුණදීමෙන් දැඩි පීඩනයක් කරපින්නාගෙන දකුණු අප්‍රිකාවට සේන්දු වූ ශ්‍රී ලංකා කණ්ඩායම දින කිහිපයක් ඇතුළත සියලු පසුබෑම් පසෙකට තල්ලු කරමින් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගමාලාවක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම බවට පත්වීය. එපමණක් නොව දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගමාලාවක් ජයගත් ලොව තුන්වැනි රට බවටත් ශ්‍රී ලංකාව පත්විය. ඊට පෙර එවැනි දස්කමක් පෙන්නුම් කළේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව පමණි. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගමාලාව නිමාවට පත්වූයේ තරග 2-0ක ඓතිහාසික ජයක් ශ්‍රී ලංකාවට ගෙන දෙමිනි.

ඩර්බන් නුවරදී පළමු ටෙස්ට් තරගය ජයගැනීමෙන් පසුව සිය මානසික ඒකාග්‍රතාව ඉතා ඉහළ මට්ටමක රඳවා තබාගත් දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම පෙරේදා පෝර්ට් එලිසබෙත් නුවරදී දෙවැනි ටෙස්ට් තරගය ජයගත්තේ කඩුලු 8කිනි.

සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඕෂධ ප්‍රනාන්දු සමග එක්වූ කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකානු පිල ලබාදුන් ලකුණු 197ක ඉලක්කය සම්පුර්ණ කරමින් මේ ජයග්‍රහණයට උර දුන්නේ නොදැවී ලකුණු 84ක් රැස් කරමිනි. ඔහුට අගනා සහයක් ලබාදුන් ඕෂධ නොදැවී ලකුණු 75ක් රැස් කිරීමට සමත්විය.

තරගය තුන්වැනි දිනයෙන් නිමාවට පත් කරමින් සාන්ත ජෝර්ජ් පාක් ක්‍රීඩාංගණයට එක්රොක්වූ දහස් සංඛ්‍යාත දකුණු අප්‍රිකානු ක්‍රීඩාලෝලීන් හමුවේ නිර්භීත පිතිහරඹයක නිරතවූ කුසල් මෙන්ඩිස් පන්දු 110කදී හතරේ පහර 13ක් එල්ල කිරීමට සමත්වූ අතර ඕෂද පන්දු 106කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සිය ඉනිමට එකතු කරගත්තේය.

තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වනවිට කඩුලු 2ක් දැවී ලකුණු 60ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලට තුන්වැනි දිනයේ දිවා ආහාරයට පෙර ජයග්‍රහණයෙන් තරගය නිමාකර දුන් කුසල් සහ ඕෂධ අතර තුන්වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 163කි.

තුන්වැනි දිනය ආරම්භ වෙද්දී තරගය දෙපිලටම විවෘත එකක් බවට පත්වී තිබූ අතර ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලකුණු 137ක් අවශ්‍ය වී තිබිණි. දකුණු අප්‍රිකාවට කඩුලු 8ක් අවශ්‍යවී තිබිණි. එහෙත් කුසල් සහ ඕෂධ ඉතා සන්සුන්ව හා සැලසුම් සහගතව ජයග්‍රහණය කරා ගියේ දකුණු අප්‍රිකානු පිලේ වේගපන්දු අභියෝගය ගැන කිසිදු තැකීමක් නොකරමිනි. විශේෂයෙන් කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් දැඩි පීඩනයකට පත් කිරීමට සමත්වූයේ අලංකාර ඩ්‍රයිව් පහර මගින් පිටිය වර්ණවත් කරමිනි. වමතින් දඟපන්දු යවන කේෂව් මහරාජ් පන්දු යැවීමට කැඳවූ මොහොතේ ඉදිරියට පැන දැවැන්ත පහරකින් පන්දුව දර්ශන තිරයට ඉහළින් ඇදීයාමට සැලැස්වූ ඕෂධ දකුණු අප්‍රිකානු පිලේ නායක ෆෆ් ඩු ප්ලෙසිගේ පීඩනය තවත් ඉහළ දැමුවේය.

කගීසෝ රබාඩා පැයට කිලෝමීටර් 140ක උපරිම වේගයෙන් පන්දු යවමින් කුසල් සහ ඕෂධගේ හිසරදය නතර කරගැනීමට දැඩි උත්සාහයක නිරතවිය. එහෙත් මේ පිතිකරුවන් දෙදෙනා කිසිදු අපහසුතාවකින් තොරව ඒ තර්ජනය මැඩ පැවැත්වූහ. ඔලිවර් ඩුආන්ට සහ දකුණු අප්‍රිකානු වේගපන්දු තුරුම්පුව ඩේල් ස්ටේන්ට ද අත්වූයේ එවැනිම ඉරණමකි.

දකුණු අප්‍රිකානුවන්ට කඩුල්ලක් දවාගැනීමට ලැබුණු එකම අවස්ථාව වූයේ ඔලිවර් ඩුආන්ගේ පන්දුවකට කුසල් මෙන්ඩිස්ගේ පිත්තේ දාරයේ වැදී ස්ලිප් හි සිටි හෂීම් අම්ලා වෙත ඇදී ගිය උඩපන්දුව මොහොතේ ඔහුට රැක ගැනීමට නොහැකිවීම පමණි. ඒ වනවිට කුසල් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 70කි. පෙරේදා උදෑසන ඕවර 8ක් ඇතුළත ලකුණු 36ක් උදුරා ගැනීමට කුසල් සහ ඕෂධ සමත්වීමෙන් පසුව ඩේල් ස්ටේන් පන්දු යැවීමට කැඳවූ අතර ඔහුගේ පළමු ඕවරයේදීම හතරේ පහර 3ක් එල්ල කළ කුසල් දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් ලැබූ ස්ටේන් දැඩි පීඩනයකට හසු කර දැමුවේය.දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ ඉලක්කය පහසු කරනු ලැබුවේ පන්දු යවන්නන් විසිනි. පළමු ඉනිමේදී ලකුණු 222ක් රැස් කළ දකුණු අප්‍රිකානුවන්ගේ දෙවැනි ඉනිම ලකුණු 128කට සීමා කිරීමට ශ්‍රී ලංකාවේ පන්දු යවන්නෝ සමත්වූහ. දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය ආබාධයකට ලක්වීම

නිසා ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කළේ ක්‍රීඩකයන් 10 දෙනකුගෙනි.

ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවට සේන්දුවූයේ දස්කම් අතර නොසිටින ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කරමින් ද, තවත් ක්‍රීඩකයන් රැසක් විවිධ ආබාධවලට ලක්වීමෙන් නවක ක්‍රීඩකයන් ඇතුළත් කරමින් ද තොග වශයෙන් කණ්ඩායමේ වෙනස්කම් රැසක් සහිතවය. එමෙන්ම දකුණු අප්‍රිකානු සංචාරයට පෙර නවසීලන්ත සංචාරයේදී සහ ඔස්ට්‍රේලියානු සංචාරයේදී ටෙස්ට් තරගමාලා පරාජයන් දෙකක් උරුම කරගනිමිනි.

ශ්‍රී ලංකා පිලේ මේ ඓතිහාසික ජයග්‍රහණය ලෝක ක්‍රිකට් පිටියේ මෑත කාලයේ සිදුවූ විශාලතම පෙරළිය ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ අදහස වී තිබේ.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම 222 (සියලුදෙනා දැවී) ක්වින්ටන් ඩි කොක් 86, ඒඩ්න් මැක්‍රාම් 60, ෆෆ් ඩු ප්ලෙසි 25 (විශ්ව ප්‍රනාන්දු 62/3, කසුන් රාජිත 67/3, ධනංජය ද සිල්වා 15/2) සහ දෙවැනි ඉනිම - 128 (සියලුදෙනා දැවී) ෆෆ් ඩු ප්ලෙසි නොදැවී 50, හෂීම් අම්ලා 32 ( සුරංග ලක්මාල් 39/4, ධනංජය ද සිල්වා 36/3, කසුන් රාජිත 20/2)

ශ්‍රී ලංකාව පළමු ඉනිම - 154 (සියලුදෙනා දැවී) නිරෝෂන් දික්වැල්ල 42, ළහිරු තිරිමාන්න 29 (කගීසෝ රබාඩා 38/4, ඩුආන් ඔලිවර් 61/3) සහ දෙවැනි ඉනිම - 197/2යි. කුසල් මෙන්ඩිස් නොදැවී 84, ඕෂද ප්‍රනාන්දු නොදැවී 75යි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();