ගාල්ල රත්ගම තරුණ ව්‍යපාරිකයන් දෙදෙනා පැහැරගෙනගොස් ඝාතනය කර මළ සිරුරු පුලුස්සා විනාශ කිරීමට සෘජුවම සම්බන්ධ තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතය.
එසේ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි. ප්‍රශ්න කිරීම සදහා මොවුන් තිදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (25) දිනයේ කැඳවා ඇතැයිද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනයන් සම්බන්ධයෙවන් මෙතෙක් හෙළිනොවූ බොහෝ තොරතුරු ඔවුන්ගෙන් කෙරෙන ප්‍රශ්න කිරීම්වලින් හෙළිකර ගැනීමට හැකි වෙතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.
තරුණ ව්‍යපාරිකයින් දෙදෙනාගේ පැහර ගැනීමටත් ඝාතනයටත් සැකපිට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධීපති ලෙස සේවයේ නිරතව සිටි පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සහ උප පොලිස් පරීක්ෂකයෙක් වන විරාජ් මධුසංක නැමැති නිලධාරින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවය. මෙතෙක් කර ඇති විමර්ශන වලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් ඇත්තේ මෙම ද්විත්ව ඝාතනයට ඝජුවම සම්බන්ධව සිටින්නේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ඇතුළු නිලධාරීන් 05 දෙනෙක් බවය. ඊට අමතරව තවත් නිලධාරීන් වක්‍රාකාරයෙන් හෝ මෙම ද්විත්ව ඝාතනයටත් පැහැර ගැනීමටත් හවුල්දැයි සොයා බලමින් සිටින බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය. එසේ තවත් නිලධාරීන් මෙම ඝාතනයන්ට සම්බන්ධ බව අනාවරණය වන්නේ නම් තරාතිරම නොබලා ඒ අයවද අත්අඩංගුවට ගන්නා බව එම නිලධාරියා සදහන් කළේය.ඊට අමතරව මෙම ද්විත්ව ඝාතනය සහ පැහැර ගැනීම දැන එය සැගවීමට ක්‍රියා කළ යම් නිලදාරියෙක් සිටීනම් ඒ අයට එරෙහිව අපරාධයක් වසන් කිරීමේ චෝදනාව මත නීතිය ක්‍රියාත්මක කරන බවද එම නිළධාරියා වැඩිදුරටත් සදහන් කළේය.
දැනට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගැනීමටත් ඔවුන් ඝාතනය කර විනාශ කිරීමටත් නායකත්වය දී ඇති බව විමර්ශන වලින් ඉතා පැහැදිලිවම අනාවරණය වී තිබේ. ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු එකී පැහැර ගැනීම මෙන්ම ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි පවසා ඇත. එහෙත් විද්‍යාත්මක සාක්ෂි සහ අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක විරාජ් මධුසංකගේ සාක්ෂිවලින් සියල්ල හෙළිවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කළේය.
කපිල් නිශාන්ත සිය මිතුරන් සමග මත්පැන් පානය කිරීමටත් වෙනත් කටයුතු සඳහාත් ආරක්ෂක නිවස්නයක් ලෙස භාවිතා කරනු ලබන අක්මීමන ගොනාමුල්ලේ පිහිටි නිවසට පැහැර ගැනූනු ව්‍යාපාරිකයන් දෙදෙනා රැගෙනගොස් දරුණු ලෙස පහර දෙමින් ඔවුන් සතුව ඇතැයි කියනු ලබන ගිනි අවියක් ඉල්ලා සිටි බව උප පොලිස් පරීක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබේ. පොලිස් සේවයට බැදී වසර 04 ක් පමණ වන එම නිලධාරියා එම පහරදීම් දැක සිහිසුන් වී ඇති බවද සඳහන්ය. කපිල නිශාන්තගේ කෘෘර වදහිංසා ඉවසා ගන්නට නොහැකිව රසීන් චින්තක නැමැති ව්‍යාපාරිකයා මිය ගිය විට නැවතත් උප පොලිස් පරීක්ෂක විරාජ් මධුසංක සිහිසුන් ව ඇත. තමාට නැවත සිහිය එළඹෙන විට මංජුල අසේල නැමැති අනිත් ව්‍යාපාරිකයාගේ මළ සිරුර දුටු බවත් විරාජ් මධුසංක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ හඩා වැටෙමින් පවසා ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය. එම ද්විත් ඝාතනය සම්බන්ධයෙන් මෙම නිලධාරියා දැඩි පීඩනයකට ලක්ව සිට ඇති අතර ප්‍රශ්න කිරීම් හමුවේ සියල්ල පැවැසීමෙන් අනතුරුව තමන්ගේ සිතට සහනයක් ලැබුණු බවද පවසා තිබේ.
තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනාගේ මළ සිරුරු වලස්මුල්ලට රැගෙන යාමට යොදා ගත් කැබ් රථයද ළඟදීම සොයා ගන්නට හැකිවෙතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි. මළ සිරුරු පිළීස්සීමට වලස්මුල්ල හෝ ඒ අවට ප්‍රදේශයක සිවිල් පුද්ගලයෙකුගේ සහයත් මෙම පොලිස් කණ්ඩායමට ලැබී ඇති බවට යම් සැකයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතිවී තිබේ. ඒ සම්බන්ධයෙන් ද මේ වන විට පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව සඳහන්ය.
ව්‍යාපාරිකයන් දෙදෙනාට පහර දෙන විට ඔවුන්ගේ සිරුරුවලින් වැහැරුණූ රුධිරය පොලිස් නිලධාරීන්ගේ ඇඳුම්වල ගෑවී තිබී ඇත. එම ඇදුම් සියල්ල මාතර වැල්ලබඩ පිහිටි පැරණි වලව්වක කසල වලකට දමා ගිනි තබා ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත. එම කසල වල පෙරේදා 23 අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන්ගේ අධික්ෂණයෙන් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ගේ විමර්ශනයට ලක්විය. එහිදී ලේ තැවරුණු පිළිස්සී ගිය ඇඳුම් කොටස් රැසක් ද සොයා ගෙන තිබේ.
එම ඇඳුම් කොටස්ද, තරුණයින් ඝාතනය වූ නිවසේ තිබී හමුවුණූ රුධිර කොටස්ද, මළ සිරුරු පිළිස්සූ ස්ථානයෙන් හමුවුණු ඇට කැබල සහ කෙස් සාම්පල් සියල්ලක්ම ඩී.එන්.ඒ පරීක්ෂණයක් සදහා යොමු කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගයාන් කුමාර වීරසිංහ

0 Comments