Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටක් දියුණු කිරීමට ස්ථාවර ජාතික ප්‍රතිපත්ති තිබිය යුතුයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

ඕනෑම රටක් දියුණු කිරීමට කුමන රජයක්, කුමන ඇමැතිවරයෙක් පත් වුවත් වෙනස් නොවන ස්ථාවර ජාතික ප්‍රතිපත්ති තිබිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ අදහස් පළ කළේ දිවුලපිටිය සෙනුරි උත්සව ශාලාවේ පසුගිය 23 වැනි දා පැවති ‘එළිය’ සම්මන්ත්‍රණය අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ස්ථාවර ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී විනිවිදභාවය අත්‍යාවශ්‍ය කරුණක්. දූෂණය ඇති වන්නේ විනිවිදභාවය නොමැතිකමින්. දූෂණයෙන් තොර රටක් බිහිකිරීම ඉතා වැදගත්. අපේ පාලනය කාලයේ දී මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට විශේෂයෙන් චීනය උදව් කළා. අපේ රට ලෝකය දෙස බැලීමේ දී භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක තිබෙන රටක්. එවැනි තත්ත්වයක චීනය අප සමඟ සම්බන්ධ වෙලා වැඩ කිරීම ගැන විවිධ බලවත් රටවල් කලබල වීම රහසක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒ ආධාර ලබා ගත්තේ හුදෙක්ම අපේ රටේ සංවර්ධනයට සහ ආර්ථිකමය වශයෙන් පමණයි. අපේ රටේ ස්වෛරීභාවය, නිදහස ගැන හොඳ අවබෝධයකින් තමයි අපි සෑම විටම කටයුතු කළේ. අපට චෝදනා කරනවාට වඩා ඒ අයට පුළුවන්කම තිබෙනවා අපේ රටේ ආයෝජන කරන්න.

ඕනෑම තාක්ෂණික කර්මාන්තයකට පුහුණු කරන්න පුළුවන් තරුණ පරපුරක් අපේ රටේ සිටිනවා. 21 වැනි ශත වර්ෂය ලෝකයේ දැනුම මුල් කර ගත් ශත වර්ෂයක්. එම කාලයේ අපේ රටෙත් දැනුම මුල් වූ කර්මාන්ත හරහා රට දියුණු කරන්නට පුළුවන් ශ්‍රම බළකායක් සිටිනවා. රටක් ස්ථාවර විය යුතුයි. රටක් ස්ථාවර නැති නම් ආයෝජකයන් එම රටේ ආයෝජන කරන්නේ නෑ. මහින්ද රාජපක්ෂය රජයේ ස්ථාවරත්වයක් තිබුණා. ඒ නිසයි අද කොළඹ මෙවැනි සංවර්ධනයක් සිදු වුණේ.

අනාගතයේ ස්ථාවර රටක් බිහි කළ යුතුයි. මේ රටේ තිබෙන රාජ්‍ය ක්‍රමවේදය ස්ථාවර විය යුතුයි. ස්ථාවර රාජ්‍යයක් නොතිබුණොත් රටේ ස්ථාවරත්වයක් ඇති කරන්න බෑ. එවැනි පසුබිමක තමයි රටේ ආයෝජන බිහි කළ හැකි වන්නේ. ස්ථාවරත්වයක් තිබෙන මධ්‍යම රජයකට, බලය තිබෙන රජයකට ස්ථාවර ව්‍යවස්ථාවක් අවශ්‍යයි. අපි අද ඉතා විශාල වශයෙන් කතා කරනවා විදේශීය සෘජු ආයෝජන ගැන. නමුත් විදේශීය ආයෝජකයන් පමණක් නොව අපේ රටේ ව්‍යාපාරිකයන් වෙනත් රටවල ආයෝජන කරන්න පෙළඹී සිටිනවා. අපිට විශාල වශයෙන් විදේශීය විනිමය ගෙනෙන කර්මාන්ත වෙනත් රටවලට ක්‍රම ක්‍රමයෙන් යමින් පවතිනවා. මෙවැනි තත්ත්වයකට හේතුව තමයි රටේ ස්ථාවරත්වයක් නොමැතිකම. ප්‍රතිපත්තිවල ස්ථීරතාවයක් තිබිය යුතුයි. අද ඇමැතිවරයෙක් ප්‍රතිපත්තියක් ගෙනාවාම ඇමැතිවරයා මාරු වුණාම එම ප්‍රතිත්පත්ති වෙනස් වෙනවා. විදේශීය ආයෝජකයන් එවැනි ප්‍රතිත්පත්ති බලාපොරොත්තු වෙන්නේ නෑ.

අපේ රටේ උගත්, දක්ෂ, නිපුණතාවකින් යුත් තරුණයන් ඉන්නවා. රජයේ වැරැදි නිසා තමයි ආයෝජන නැත්තේ. විරැකියාවට හේතුවත් එයයි. එනිසා අපි ඉදිරියේ දී නායකයෙක්, රජයක් තෝරගැනීමේ දී විශ්වාසය තිබෙන පුද්ගලයකු තෝරා ගත යුතුයි.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය චන්න ජයසුමන, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.

ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඩුලිප් විජේසේකර, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ධනුෂ්ක ගොඩකුඹුර සහ කොටදෙනියාව සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();