Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමැති අනුමැතිය නැතිව විදෙස් ගතවන ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ට වැඩ වරදී

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග, ක්‍රීඩා සම්මන්ත්‍රණ, පාඨමාලා හා වෙනත් සැසිවාර හා ක්‍රීඩා සම්බන්ධ කාර්යයන් සඳහා ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය නොලබා මෙරටින් පිටත්වන ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ට, නැවැත කිසිදු අවස්ථාවක එවැනි කටයුතු සඳහා ඇමැතිවරයාගේ අනුමැතිය ලබා නොදීමටත්, අනුමැතිය නොලබා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් විදේශ ගතවන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරයි.

මේ අතර පෙරේදා කොළඹ පදනම් ආයතනයේදී නිමාවට පත්වූ ක්‍රීඩාවේ ප්‍රගමණය සඳහා වන උපායමාර්ග හඳුනා ගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ වැඩමුළුවට සහභාගී නොවූ ක්‍රීඩා සංගම් 9ක ප්‍රධානීන්ට එරෙහි පියවර ගැනීමට ද ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇතැයි පැවැසේ. අංගම්පොර, ඔරු පැදීම, පවර්බෝල්, සාම්ප්‍රදායික කරාටේ දෝ, ස්පැක්ට්රෝ, බෝල්රූම් ඩාන්ස්, රෝල් බෝල්, ටේබල් ටෙනිස් හා ත්‍රෝ බෝල් යන ක්‍රීඩාවලට අයත් ජාතික ක්‍රීඩා සංගම්වලින් කිසිදු නිලධාරියකු එම වැඩමුළුවට එක් නොවීම කැපී පෙණුනි.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුව ක්‍රීඩා අමාත්‍යාංශය, පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රීඩා සංගම්, ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ සියළු ආයතන වැඩ මුලුවට එක්ව සිටි අතර නොපැමිණි ක්‍රීඩා සංගම් තම වගකීම් පැහැර හැර ඇතැයි චෝදනාවක්ද එල්ල වුණි. මේ වැඩමුලුවේදී ජාතික සංගම්වල ක්‍රියාකාරීත්වය විධිමත් කිරීම හා අමාත්‍යාංශ සම්බන්ධීකරණය, ක්‍රීඩා ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය හා දිවයින පුරා කුසලතාවලින් පිරි ක්‍රීඩකයන් හඳුනා ගැනීම වැනි විෂයන් කෙරෙහි අවධානය යොමුව තිබිණි.

එමෙන්ම ක්‍රීඩා පනත හා සංශෝධිත රෙගුලාසිවලට අනුගතවන පරිදි ජාතික ක්‍රීඩා සම්මේලනයේ ක්‍රියාකාරීත්වය විනිවිද භාවයකින් සිදුවීම ඉදිරි කාලයේදී ඉතා වැදගත් බවද අවධාරණය කොට ඇත. එසේ නොවන්නේනම් එම ජාතික ක්‍රීඩා සංගමයේ කිසිදු නිලධාරියකුට විදේශ සංචාරයකට සහභාගීවීමේ අවස්ථාව හිමි නොවන බවද, සියලුම ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ට දැනුම්දී ඇත. ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතාගේ අස්සනින් යුතු චක්‍රලේඛයක් සියලුම ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ට යවා ඇති අතර ඉදිරියේදී ඒ අනුව කටයුතු නොකරණ සංගම් ප්‍රධානීන්ට එරෙහි පියවර ගැනීමටද අපේක්ෂා කෙරේ.

ක්‍රීඩා සම්බන්ධ කාර්යයන් සඳහා විදෙස් ගතවීමේදී ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට වෙනම අයැදුම්පත්‍ර ආකෘතියක් ලබාදී ඇති අතර එය නිසි ලෙස පුරවා දින 14කට පෙර අමාත්‍යාංශයට ලබාදීම අනිවාර්ය වේ. එයට ජාතික ක්‍රීඩා සම්මේලනයේ හෝ ක්‍රීඩා සංගමයේ ලේකම්ගේ අස්සන හා නිල මුද්‍රාව තැබීමද අත්‍යාවශ්‍ය බව දැනුම්දී ඇත. අදාළ කටයුත්ත සඳහා ජාත්‍යන්තර සම්මේලනයේ ආරාධනා පත්‍රය, එම තරගයට අදාළ නීති රීති හා සහභාගීවන රටවල් ගණන, ක්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීමේදී තේරුම් කමිටු නිර්දේශ හා පාසල් ක්‍රීඩිකාවන් ඇතුළත්වන අවස්ථාවකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය අනිවාර්ය කොට ඇත.

මේ අතර සියලුම ජාතික ක්‍රීඩා සංගම්වල කාර්යන් විනිවිදභාවයෙන් යුතුව පවත්වා ගැනීම උදෙසා සම්පූර්ණ කරගත යුතු ලේඛණයක්ද ජාතික ක්‍රීඩා සංගම් වෙත යැවීමට පියවර ගෙන තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();