Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගැරහුම් ඉවතට තල්ලු කරමින් පැසසුම් ළඟා කරගත් කුසල් මෙන්ඩිස්

දකුණු අප්‍රිකානුවන්ට සිය භූමියේදිම තරග 2-0කින් ටෙස්ට් තරගාවලියේ අන්ත පරාජයක් උරුම කරදුන් පළමු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත්විය. දකුණු අප්‍රිකානු ටෙස්ට් ඉතිහාසයේ එවැනි දස්කමක් පෙන්නුම් කිරීමට මීට පෙර සමත්වී ඇත්තේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව පමණි.

ශ්‍රී ලංකා පිලට එක් කඩුල්ලක තියුණු ජයක් හිමිවූ ඩර්බන් නුවර පැවැති පළමු තරගයේදි කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු153ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් තරගමාලා ජයක් හිමිවූ පෝර්ට් එලිසබෙත් නුවර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදි ඕෂද ප්‍රනාන්දු සමග එක්ව කඩුලු 8ක පහසු ජයක් කරා කණ්ඩායම රැගෙන ගියේ කුසල් මෙන්ඩිස්ය.

පසුගිය කාලයේ ටෙස්ට් තරග බිමේ ලකුණු අහේනියකට මුහුණපාමින් මෙරට ක්‍රීඩාලෝලින් අතර දැඩි විවේචනයට ලක්වූ කුසල් සිය ටෙස්ට් තරග දිවිය පෝර්ට් එලිසබෙත් නුවරදී යළි ඔපමට්ටම් කරගත්තේ නොදැවී ලකුණු 84ක් රැස් කරමිනි.

24 හැවිරිදි මේ පිතිකරුවා ජාතික පිලට සේන්දුවූයේ දේශීය පාසල් ක්‍රිකට් පිටියේ ප්‍රමුඛතම සම්මාන උළෙල වන සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසුවය. වසර 2013දී කුසල් මේ ගෞරවාන්විත සම්මානයෙන් පිදුම් ලබද්දී ඔහු අනාගත ක්‍රිකට් අඹරේ දීප්තිමත් තරුවක් බවට පත්වනු ඇතැයි කවුරුත් අනාවැකි පළ කළහ.

මෑත කාලයේදි කුසල් දැඩි ලකුණු ඉඩෝරයකට හසුවූ බවට විවිධ මත පළවූවත් සැබැවින්ම ඔහුගේ දස්කම් කැපී පෙනෙන මට්ටමකට නොපැමිණියේ ඔහුගෙන් දීර්ඝ ඉනිමක් වාර්තා නොවීම නිසා පමණි. ඒ හැර පසුගිය කැලන්ඩර් වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළ එකම පිතිකරුවා ඔහු විය. එමෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් එවැනි දස්කමක් පෑවේ ඉන්දීය පිලේ නායක විරාත් කෝලිට පමණක් දෙවැනි වෙමිනි.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සෙල්ලමකට ගනිමින් ඔහු දෙවැනි ටෙස්ට් තරග‍යේදි නැවත සුපුරුදු දස්කම් අතරට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් මෙසේ කීවේය.

‘ක්‍රීඩාලෝලීන් කුසල්ගේ පිතිහරඹයෙන් අන්දමන්ද වන දිනය වැඩි ඈතක නොවෙයි. ඔහු ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම පිතිකරුවකු වන බව ඔප්පු කළා. ඔහුගේ ඉනිම අතරතුර විශිෂ්ට පහරවල් රැසක්ම එල්ල කළා. අපි ඔහුට නිදහසේ සෙල්ලම් කරන්න ඉඩ දිය යුතුයි. ලෝක ක්‍රිකට් පිටියට අග්‍රගණයේ පිතිකරුවකු බිහිවීමට එය සාධකයක් වේවි.’

‘මේ කොලුගැටයාට තාම අවුරුදු 24යි. ඔහුට විශාල වශයෙන් මග පෙන්වීමක් අවශ්‍යයි. එහෙම වුණා කියලා ඔහුටම ආවේනික ක්‍රීඩා විලාසයට බලපෑම් කරන්න අවශ්‍ය නෑ. ඔහුට විශේෂ හැකියාවක් තියෙනවා. කාලයක් යද්දී ඔහු වඩාත් පරිණත වෙද්දී අපට එය අවබෝධ වේවි. ඔහු තවමත් පසුවන්නේ ප්‍රාථමික මට්ටමේ. ආත්ම විශ්වාසය ගැන පොඩි පොඩි සැක සංකා ඔහු තුළ තිබෙනවා. නමුත් සැබෑව නම් ඔහු විශිෂ්ට පිතිකරුවෙක්. කාලයක් යද්දි මිනිස්සු ඔහු ගැන වැඩිපුර කතාබහ කරන්නට පටන්ගනීවි. එතකොට හැමෝම 'wow' කියා විමතිය පළ කරාවි.’

වසර 2002දී සහන් විජේරත්න ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය අත්කර ගැනීමෙන් පසුව මොරටුව වේල්ස් කුමර විදුහලෙන් එවැනි ගෞරවයක් දිනාගත් දෙවැනි ක්‍රීඩකයා වන කුසල් මෙන්ඩිස් පෝර්ට් එලිසබෙත් නුවරදී දැක්වූ දස්කම් ජාත්‍යන්තර විචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක්විය.

ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගැනීමෙන් වසර දෙකකට පසුව එනම්, 2015 ඔක්තෝබර් මාසයේදි බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයන් වන අර්ජුන රණතුංගට සහ මහේල ජයවර්ධනට පසුව අවුරුදු 23ක් සම්පූර්ණවීමට පෙර ටෙස්ට් ලකුණු දහස ඉක්මවු ශ්‍රී ලංකා පිලේ තුන්වැනි පිතිකරුවා ලෙසත් වාර්තාපොතට ඇතුළත්විය. මේ වනවිට ටෙස්ට් තරග 38කදී ශතක 6ක් සහ අර්ධ ශතක 9ක් සමග ලකුණු 2639ක් රැස් කර ඇති කුසල් මෙන්ඩිස් ජාතික ක්‍රිකට් පිලේ නොම්මර එකේ පිතිකරු බවට පත්වනු ඇතැයි දැන් දැන් විචාරකයෝ අනාවැකි පළකරති.

-ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();