ප්‍රින්ස් ගුණසේකර
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තුළ එකිනෙකා කෙරෙහි ගොඩ නැගුණ විශ්වාසය ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයට හේතුවූ බව නායක දිමුත් කරුණාරත්න පවසයි. නිදහස් මනසකින් ක්‍රීඩා පිටිය තුළ හා ඉන් පිටතදී ක්‍රියාත්මකවීමට සියලු ක්‍රීඩකයන්ට ඉඩ ලැබුණු හෙයින් කණ්ඩායම තුල එකමුතුකම වර්ධනය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පවසා සිටී. දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරය නිමවා ඊයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනකු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව පිට පිට ටෙස්ට් තරගාවලි 3ක් පරාජයවී පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා හා කණ්ඩායම දැඩි විවේචනයට ලක්ව සිටි මොහොතක දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගමාලාවක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම බවට පත්වූ අතර දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගමාලාවක් ජයගත් ලොව තුන්වැනි රට බවට ශ්‍රී ලංකාව පත්වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව සහභාගීවූ ටෙස්ට් තරග දෙකෙන්ම දකුණු අප්‍රිකාව පරදවා ටෙස්ට් තරගමාලාව ජයග්‍රහණය කිරීම ක්‍රිකට් ලෝකයේ මේ දිනවල ප්‍රබල මාතෘකාවක් බවට පත්ව ඇත.
පළමු ටෙස්ට් ජයග්‍රහයෙන් පසුව ඩර්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා විවේකාගාරය තුලදී පටිගතවූ විඩීයෝ පටයක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ජනතාව අතරට පැමිණීම පිළිබඳ විශාල කනගාටුවකින් පසුවන බව දිමුත් කරුණාරත්න මාධ්‍ය හමුවේ සඳහන් කළේය.
“ඒ වීඩියෝවෙන් කුසල් ක්‍රිකට් ආයතනයට කියන්න තියෙනවා කියූ ප්‍රශ්න මා දන්නේ නෑ. ඒක කුසල්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්. නමුත් එතැනදී කියන්න හැදුවේ වෙන දෙයක්. ගියේ වෙනත් පණිවිඩයක්. ක්‍රීඩා විවේකාගාරය ක්‍රීඩකයින්ට පමණක් වෙන්වූ අතිශය පෞද්ගලික තැනක්. එතැන කතා වෙන දෙයක් පිටතට ගිය එක ගැන කනගාටුයි“
“කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් එකට එකමුතුව ගිය ගමනක් මේක. අපි සියලු තීරණ ගත්තේ එකමුතුව. කණ්ඩායමක් විදිහට ගිය ගමනකදී දෙන්නෙක් තුන් දෙනක් වෙන වෙන පැතිවලට ඇද්දොත් ප්‍රශ්න ඇති වෙනවා. එහෙම නොවී අප හැම දෙනාම එකට සිටියා. මේ තත්ත්වය දිගටම පවත්වාගෙන ශ්‍රී ලංකාවට ඉදිරි ජයග්‍රහණ ලබාදීම අපේ සැලසුම විය යුතුයි“ දිමුත් කරුණාරත්න පැවැසීය.
“ නායකත්වය ලැබුණු විගස උප නායකයා සමග අදහස් හුවමාරු කොට ඉදිරි කටයුතු සැලසුම් කළා. අපේ සැලසුම් පුහුණුකරුට හා කණ්ඩායමේ කළමනාකාරීත්වයට දැනුම් දුන්නා. ඔවුන් අපට ඒ සදහා පූර්ණ සහයෝගය ලබා දුන්නා. ඒ නිසයි නිදහසේ ක්‍රීඩා කිරීමට අපට හැකියාව ලැබුණේ. තරගාවලි දෙකක් පිට පිට පරාජයවී සිටි අපට යළිත් ඉක්මණින් හොඳ මානසිකත්වයක් හදා ගැනීමට අවශ්‍ය වුණා. ඒක පහසු දෙයක් නොවන නිසා වෙනදාට වඩා දිනයේ කටයුතුවල වෙනස්කම් කිහිපයක්ම කිරීමට සිදු වුණා. තරගයක් නැති වුණාම කාමරයට කොටු වෙලා ඉන්නේ නැතිව නිදහසේ කටයුතු කිරීමට ක්‍රීඩකයින්ට ඉඩ ලැබුණා. සියලු දෙනා ක්‍රිකට් වලින් සතුටට පත්වෙලා හිටියේ “ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පැවැසීය.
“ නවකයින් ඔවුන්ගේ හැකියාවන් පෙන්වූවා. ලසිත් ඇඹුල්දෙනිය, ඔෂධ ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු හොඳින් යුතුකම් කළා. මේක කණ්ඩායමක් විදිහට ලැබූ ජයක්. හැමෝම මේ ජයග්‍රහණයට දායක වුණා. කුසල් ජනිත්ගේ ඉනිම පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයට විශේෂ දායකත්වයක් වුණා. වේග පන්දු යවන්නන් අපට තරගයේ රැඳී සිටීමට විශාල උපකාරයක් වුණා. දකුණු අප්‍රිකා පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දවා ගැනීමට වේග පන්දු යවන්නන් දුන් පීඩනය විශාල ලෙස ඉවහල් වුණා. ඒ නිසා පිතිකරුවන්ට විශාල ලකුණු ප්‍රමාණයක් ගත යුතු වුණේ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තමන්ට අවශ්‍ය හොඳම එකොලොස් දෙනා ලබාදීම අගය කළ යුතුයි “ දිමුත් කරුණාරත්න සදහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට හා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ස්තූතිය පළ කළේය. “ හතුරුසිංහගේ වැටුපයි, තරග පරාජයයි පහුගිය දිනවල ලොකුවට කතා කළා. දැන් තේරෙනවා ඇති අපේ තීරණය නිවැරදියි කියලා. ඇතැම් අයට තවත් ප්‍රශ්නයක් අපේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලි රටාව පිළිබඳ. අපි අහන්නේ මේ බිහිවුණ දක්ෂයින් මේ තරග රටාවෙන් නොවෙයි ද ආවේ. අප ලෝක කුසලාන දෙකක් දින්නා මේ තරග රටාවෙන්ම. අපේ ක්‍රීඩකයින් දක්ෂයි. අලුත් ක්‍රීඩකයින්ට උනන්දුව හා උවමනාව තියෙනවා නම් විශාල දෙයක් කළ හැකියි“ සිල්වා මහතා පැවැසීය.

0 Comments