Ticker

6/recent/ticker-posts

Header Ads Widget

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදු වුණේ ජනතාවගේ ඇස්වලට වැලි ගහලායි

Author(s): 
අනුර ප්‍රේමලාල්

මන්ත්‍රී ශෙහාන් සේමසිංහ

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ජනතාවගේ ඇස්වලට වැලි ගහලා කරපු වැඩක් බව දැන් සිදුවන ක්‍රියාකාරකම්වලින් හොඳින් පැහැදිලි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

ඒ මහතා මේ බව සඳහන් කෙළේ පසුගිය දා (22) බත්තරමුල්ල නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

එහිදි වැඩිදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ‍ රටේ ජනතාවගේ ඇහැට වැලි ගහලා කරපු සංශෝධනයක්. ඒ බව පාර්ලිමේන්තුවේ පැවැති විවාදයෙන් පස්සේ ජනතාවට තේරුම් ගියා. ඒ හරහා හදපු ව්‍යවස්ථාදායක සභාව මෙනතරම් පක්ෂග්‍රාහී විදිහට අගමැතිවරයා වෙනුවෙන් කටයුතු කළාද කියන දේ ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් දැක්වූ අදහස් තුළින් පෙනුනා. ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම ඒ අතරින් සුවිශේෂී වුණා. මේ රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්නත් රාජ්‍ය යාන්ත්‍රණය විදිමත් කරන්නත් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවිම ඔවුන් ලැබූ අති මහත් ජයක් ලෙස පෙන්වුවත් ඒ කිසිවක් ව්‍යවස්ථාදායක සභාව හරහා සිදු වෙලා නැහැ. මේ වෙද්දි අකර්මණ්‍ය ව්‍යවස්ථාදායක සභාවක්. අගමැතිවරයා එහි පාලනය ඔහු අතට අරන් අධිකරණ ක්ෂේත්‍රයට බලපෑම් කර තිබෙන බව පැහැදිලියි. මේ ව්‍යවස්ථාදායක සභාවේ අවශ්‍යතාවය අද වෙන විට රටට දැනෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායක සභාව පක්ෂ පාතීවීම රටට ඔප්පු වෙලා තියෙන නිසා අද වෙන විට මේ ව්‍යවස්ථාදායක සභාව ඉල්ලා අස්විය යුතුයි. ඔවුන්ට හෘදසාක්ෂියක් තියෙනවා නම් රටේ පැවැත්ම සම්බන්ධ වගකීමක් තියෙනවා නම් ඔවුන් පැහැදිලිව ඉල්ලා අස්විය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආපු සියලු පනත් හරහා වෙනත් අරමුණක් ඉටු කර ගැනීමටයි උත්සාහ කෙළේ.

රන්ජන් රාමනායක මහතාගේ හෙළි දරව්වත් එක්ක රට බලවත් කළකිරීමට පත්වෙලා. ඔවුන්ගේ ඡන්දයෙන් පත්කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිටින බව හෙළිවීම නිසා රට අපකීර්තියට පත්වෙලා. ජනතාව මේ දිහා බලන්නේ පිළිකුලෙන්. කතානායකවරයාට දුරකතනයෙන් මේ නම් සම්බන්ධයෙන් දැනුම් දුන්න බව රන්ජන් රාමනායක මහතා කියනවා. දුරකතනය හරහා නම් හෙළි දරව් කළා නම් ඒ නම් රටට හෙළි කළ යුතුයි. මෙවැනි ඇමැති මණ්ඩලයක් කොහොමද රටක් පාලනය කරන්නේ. රට අපකීර්තියට පත්වෙන්නේ. ඒ නම් ටික කතානායකවරයාට ලබා දීලා නැත්නම් රන්ජන් රාමනායකගේ ප්‍රකාශය ගැන පරීක්ෂණකයක් කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයේ සිටියදී මේ අය අරලිය ගහ මන්දිරය බලහත්කාරයෙන් අල්ලා ගෙන හිටියා. රාත්‍රී කාලයට අරගිය ගහ මන්දිරය සූදු පිටියක් වුණා. මත්පැන් බිව්වා. රන්ජන් රාමනායක තමන්ගේ සගයන් ගැන තීන්දු තීරණ ගන්න ඇත්තේ ඒ දවස්වල ඔවුන්ගේ හැසිරීමෙන් වෙන්න පුළුවන්. නම් දුන්නේ නැහැ කියලා කතානායකවරයාට මේ වගකීමෙන් මිදෙන්න බැහැ. ලක්ෂ්මන් කිරිඇල්ල කමිටුව ගැන විශ්වාසයක් තියන්න බැහැ. ඔහු සභාව නොමග වයන ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී නිතරම කියනවා. ඉදිරිපෙළ කිහිප දෙනෙක් කොකේන් භාවිතා කරන බව කියද්දි ඉදිරි පෙළ අය කරන පරීක්ෂණ පිළිගන්නේ කොහොමද. අනිත් කරුණ එජාපයේ අය පත්කරන කමිටු කොහොමත් විශ්වාස කරන්න බැහැ. කුඩා දරුවාට පවා වංචාවක් වෙලා තියෙන බව පේන්න තියෙද්දි එජාපයේ වාර්තාවෙන් කිව්වේ එහෙම දෙයක් නොවුණු බවයි.

අපේ රාජ්‍ය සේවයේ අද බරපතළ කඩාවැටීමක් වෙලා. ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය සමිති නායකයින් අද අසාධාරණ ලෙස ස්ථාන මාරුකරලා. සී. ටී. බි එකේ තත්ත්වයත් එයයි. රූපවාහිනි සංස්ථාවේ කිහිප දෙනෙක්ගේ වැඩ තහනම් කරලා. අද රාජ්‍ය සේවයෙන්ම පළිගන්න තැනට ආණ්ඩුව පත්වෙලා. අපේ රටේ විවිධ පක්ෂ රටේ නායකත්වය ගෙන තියෙනවා. ඒ කිසිදු අවස්ථාවක නොවුණු පළිගැනීමක් මේ ආණ්ඩුවෙන් සිදු වෙනවා.

කිරිපිටි සම්බන්ධයෙන් වෛද්‍යවරු විවිධ මත ඉදිරිපත් කරද්දි රාජිත සේනාරත්න කියනවා බල්ලෝ බිරුවට ඔහුගේ ගමන නතරකරන්නේ නැහැලු. දියර කිරි වෙනුවට පිටිකිරි ප්‍රචලිත කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බවයි මේ අදහසින් කිය වෙන්නේ. රාජිත සහ ආණ්ඩුව බහුජාතික සමාගම් සමඟ තියෙන එකගතා කඩ නොකර ඉදිරියට ගෙනියන බවයි මේ කියන්නේ. බහුජාතික සමාගම් මඟින් මේ ආණ්ඩුව පාලනය කරනවා. මේ ආණ්ඩුව රට විනාශ කිරීම උපරිමයට ගිහින් තියෙන නිසායි මැතිවරණ තියන්නේ නැත්තෙත්. අපි මැතිවරණයක් ඉල්ලා අපිට ගන්න පුළුවන් සියලු පියවර ගන්නවා. නමුත් ආණ්ඩුව මැතිවරණ තැබීම ප්‍රමාද කරන්න නීතිපති, පක්ෂ නායක හමුවට කැඳවන්න හදනවා. එයින් මැතිවරණයට බාධාවක් නැහැ.මැතිවරණය පැවැත්විම ආණ්ඩුවේ වගකීමක්. ඒ නිසා කඩිනමින් සංශෝධන ඉදිරිපත් කරලා මැතිවරණය පවත්වන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා-

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පි. හැරිසන් ඇමැතිවරයාගෙන් වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවාම දිස්ත්‍රික් මට්ටමින් වී මිලදි ගැනීම් සිදුවෙන නිසා මෙහි ප්‍රශ්නයක් නැති බව කිව්වා. බදුල්ලේ වී මිලදි ගැනීම මධ්‍යස්ථාන 28ක් විවෘත වෙලා කියලා එතුමා කිව්වත් මේ වනතුරු බදුල්ලේ එවැනි ස්ථානයක් නැහැ. අපේ ආණුඩුව සමයේ රට සහලින් ස්වයංපෝෂිත වුණා. මේ ආණ්ඩුව ඇවිත් පොහොර සහනාධාරය පවා නැති කළා. දින ගණනාවක් අගමැතිවරයා වුණු හැටියේම මහින්ද රාජපක්ෂ මහතා ගොවීන්ට පොහොර සහනාදාරය දිම නිසා වී අස්වැන්න වැඩි වෙලා තියෙනව.

පළාත් සභාවල කාලය අවසන් වෙමින් පවතිනවා. මහින්ද රාජපක්ෂ සමයේ නිතරම මැතිවරණ කියලා කිව්වා. පසුගිය පළාත් පාලන මැතිවරණයත් වසර දෙකකට වඩා ප්‍රමාද කළා. දැන් පළාත් සභා මැතිවරණයත් නොකියා ඉන්නයි බලන්නේ. අපි කියන්නේ හැකි ඉක්මනින් මැතිවරණය තියන්න කියලයි.

පසුගිය කාලයේ මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගත්තා. දැන් මධුෂ් යට ගිහින් කොකේන් පාර්ලිමේන්තුවට ඇවිත්. මධුෂ් අත්අඩංගුවට ගන්න වෙලේ අත්අඩංගුවට ගත්ත රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් සහිත පුද්ගලයා අමතක වෙලා යමින් සිටිනවා. ඔහුව හෙළි කළ යුතුයි. රටේ ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක් බව මම නැවතත් අවධාරණය කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා-

.ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කළ කතාවෙන් කිව්වේ එතුමා බලාපොරොත්තු වුණ සුජාත දරුවා මේ ආණ්ඩුව අනාචාරයේ යොදවා ඇති බවයි. අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටින පක්ෂයක්. කණ්ඩායමක් විදියට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියලා ගෙනාපු මේ කොමිෂන් සභාවලින් වෙලා තියෙන ව්‍යවසනය නිසා ලැජ්ජාව තියෙනවා නම් ව්‍යවස්ථාදායක සභාව ඉල්ලා අස්වෙන්න අවශ්‍යයි. ආණ්ඩුවේ හිටපු විපක්ෂ නායකවරු මේක ඇතුළේ තියාගෙන කරන්නේ ගමේ කසිප්පු පෙරන මනුෂ්‍යයාට බලපත්‍රයක් දුන්නා වගේ දෙයක්.19ට පෙර ජනාධිපතිගේ විධායක බලයෙන් පත්වුණු අගවිනිසුරු,මැතිවරණ කොමසාරිස්වරයා, ඇතුලු පිරිස් රට යම්කිසි වැඩපිළීවෙළකට ගියා. අද මේ සියල්ල කඩා වැටිලා.

අද අධිකරණ විනිසුරන්ට තර්ජන පිට තර්ජන. විවාහ මංගල්‍යයකට ගියා නම්, කොටහලු මඟුලකට ගියා නම්, ප්‍රිය සම්භාෂණයකට ගියා නම්, කඩපිලේදි හෝ මුණ ගැහුනා නම් එය තමයි අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළට යෑමට තියෙන නුසුදුසුකම බවයි මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ. ඒ අය එක්ක එකතු වෙන කට්ටිය තමයි ඉහළට යන්න සුදුස්සෝ විදියට පෙන්නන්නේ. පසුගිය දවස්වල පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය ගැන ව්‍යවස්ථාදායක සභාවට ගෙනත් ප්‍රශ්න කළාට මැතිවරණ නැති එක ගැන ප්‍රශ්න කරන්න ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා කටයුතු කළාද. කරු ජයසුරිය කියන්නේ කවුද කියන දේ මම දන්නවා. රන්ජන් මහත්තයා දුරතකනයෙන් කියපු දේවල් මීට කලින් ප්‍රකාශ කළා. මේක විතරක් ලිඛිතව දෙන්න කියලා පාර්ලිමේන්තුව සතියක් වංචාවෙන් තියන් හිටියා.

ඇයි ආණ්ඩුවේ ඉන්න කොකේන් හරි මත්ද්‍රව්‍ය හරි ගන්න අය කතානායකවරයා හෙළි කරන්නේ නැත්තේ. අද අපිටවත් අපේ දරුවන්ටවත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. පවුලක් නැති සමජගත නොවුන පිස්සු බල්ලෙක් වගේ කෙනෙක් කියපු දෙයක් නිසා පාර්ලිමේන්තුවේ 225ය උත්තර නැතිව ඉන්නවා. දැන් ඒ බෝලේ හිමින් සැරේ අපේ පැත්තට එමින් තියෙන්නේ. අපි ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා සම්බන්ධයෙන් වග කියනවා. අපි ළඟ කොකේන් ගහන අය නැහැ. අපේ කණ්ඩායමත් මේ 225 අතරේ ඉන්න නිසා අපිට නිදොස් වෙන්න අවශ්‍යයයි. මේ නැව ගිලෙන්න පටන් අරන්. ගිලෙන නැවෙන් මීයෝ පනිනවා වගේ ආණ්ඩුවේම අයයි මේ චෝදනා කරන්නේ. රන්ජන් රාමනායක,බුද්ධික පතිරණ කියන්නේ අණුඩුවේ අය. මේවා අපි කිව්වානම් මාධ්‍ය සංදර්ශන කියනවා. අද පොන්සේකා මහත්තයා කියනවා ,තෙවරප්පෙරුම හොරාලු. තෙවරප්පෙරුම කියනවා පොන්සේකා හොරාලු. මේ ආණ්ඩුවේම අය නේද.

පෙබරවාරි 22වැනිදා විශේෂ දවසක් . අද වගේ දවසකයි රනිල් වික්‍රමසිංහ උතුරු නැඟෙනහිර ප්‍රභාකරන්ට එදා ඔප්පුවකින්ම ලියලා දුන්න දවස. අය වැය සම්මත් කර ගන්න දෙමළ සන්ධානායේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්න සිදු වෙලා. පාසල්වලට රෝහල්වලට දෙනවා කිව්ව දේවල් , ගම් පෙරළිය කරන්න නම් එදා පෙබරවාරි 22 වැනිදා එල්. ටි.ටී.ඊ යට ඔප්පුවෙන් දුන්න දේ දෙමළ සන්ධානයට ඔප්පුවෙන් දෙන්න රනිල් සූදානම් වෙනවා. දෙමළ ජනතාවගේ අයිතීන් දිනාදිය යුතුයි .නමුත් රට කෑලි කඩන්න බැහැ. දෙමළ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවට දෙමළ නායකයින්ගේ අවශ්‍යතාවයන් වෙනු වෙනුයි මේ ආණ්ඩුව පෙනී හිටින්නේ. ආණ්ඩුවේ කුමන්ත්‍රණ එළියට එන්න පටන් අරන් තියෙන්නේ. ඒ අයගේම මන්ත්‍රීධූර රැග ගැනීමේ අවශ්‍යතාවය නිසයි. අද බීඩි කොල, කරුංකා කන්ටේනර් පිටින් අහුවෙනවා. ඉල්ලපු කොමිස් මුදල් ලේඛන ගත වෙලා. මත්ද්‍රව්‍ය වෙනුවෙන් පෙනී හිටපු ඇමැතිවරු එළිවෙනවා. ඉස්සර කඩන්න බැහැ. බලක් තියෙන්නේ කියපු මිනිස්සුන්ට කනේ ඇගිලි ගහගන්න වරායක් හදපු ආණ්ඩුවක් තිබුණේ. එදා හැම තැනම ඇහුනේ සංවර්ධන ව්‍යාපෘති අරඹනවා.ඒවා විවෘත කරනවා කියන දේවල්. ජනතාවට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ කඩිනමින් මැතිවරණයකට යන එකයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();