Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එකෙන් පටන් ගන්නා අපේ දරුවන්ට

මේ ලිපිය 2019 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම වෙනුවෙන් හෙට (17) දින පැවැත්වෙන නිල උත්සවයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද්දකි.

2019 වසරේ ජනවාරි 17 වැනි දින ඔබේ දරුවා පාසලට පැමිණෙන පළමු දවසයි. වසර පහක් පුරා ඔබේ දරුවා වැඩුණේ, රැකුණේ ඔබේ පවුලේ සාමාජිකයන්ගේ ආදරය, රැකවරණය සහ පෝෂණය ඇසුරු කර ගනිමිනි. ඒ හා සමඟ දරුවාගේ මූලික චින්තන රටාව සංවර්ධනය කරන්නට ද මූලික දායකත්වය ලැබුණේ ඔබේ ගෙදර පරිසරයෙනි.

මෙතැන් සිට ඔබේ දරුවාගේ ජීවිතයට අලුත් ආදරණීයයන් පිරිසක් එක්වෙයි. ඔවුන් සමඟ දෙවැනි සංවර්ධන අවධිය පාසලෙන් අරඹන ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්නට රටේ අධ්‍යාපන පද්ධතිය නිවැරැදි දිශානතියක ගමන් කරවීම යුගයේ අවශ්‍යතාවයයි. ඒ සඳහා අවැසි සවිය, සහයෝගය මෙන්ම නිවැරැදි තීන්දු තීරණ රටේ අධ්‍යාපන පද්ධතිය හරහා සවිබල ගැන්වීමට හැකි නිසි මඟපෙන්වීම ලබාදීමේ වගකීම අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා සතුව පවතියි.

පූර්ණ පෞරුෂයක් සහිත පුද්ගලයකු බිහිකිරීම සඳහා වඩාත් තීරණාත්මක අවධිය ලෙස සැලකෙන්නේ ප්‍රාථමික අධ්‍යාපන අවධියයි. ප්‍රාථමික අධ්‍යාපනය ලබාදීමේ මූලික අරමුණු වන්නේ හයවැනි ශ්‍රේණියේ සිට ද්විතීයික අධ්‍යාපනය සාර්ථකව හැදෑරීමට අත්‍යාවශ්‍ය වූ ඉගෙනුම් නිපුනතාවලට සිසුන් ළඟා කරවීමත් සිසුන්ගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය සඳහා ශක්තිමත් අඩිතාලමක් සකස් කිරීමත්ය.

දිවයිනේ ක්‍රියාත්මක වන පාසල් 10,194න් පාසල් 9193ක ප්‍රාථමික අධ්‍යාපන අංශ ක්‍රියාත්මක වන අතර, සෑම වසරකම 340,000කට ආසන්න දරුවන් සංඛ්‍යාවක් පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වෙයි.

2019 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන ඔබේ දරුවන් පාසල් අධ්‍යාපනය අවසන් කර සමාජයට පිවිසෙන්නේ 2031 වසරේදී ය. අද අප ජීවත්වන ලෝකයට වඩා අපේ දරුවන්ට හෙට දවසේ විවර වන ලෝකය, ඒ තුළ ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන අභියෝග අතිශයින්ම වෙනස් මුහුණුවරක පවතිනු ඇත. ශීඝ්‍ර ලෙස සංවර්ධනය වන විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ නවතම සොයාගැනීම්, අත්හදාබැලීම් හමුවේ අනාගත වැඩ ලෝකයේ අවශ්‍යතා අදට වඩා වෙනස් වනු නිසැකය. දැනුම, කුසලතා, හැකියාවන් මෙන්ම රැකියාවන් ද අද අප අර්ථ ගන්වා ඇති ස්වභාවයට වඩා බොහෝ සේ වෙනස් වනු නොඅනුමානය. මේ නිසා අද පාසල් අධ්‍යාපනයට ප්‍රවේශ කරන දරුවා වෙනුවෙන් අප ක්‍රියාත්මක විය යුත්තේ ඒ සියලු සමාජ විපර්යාසයන්ට, අභියෝගයන්ට අපහසුවකින් තොරව මුහුණ දිය හැකි ශක්තිමත් අනාගතයක් සැලසුම් කිරීම වෙනුවෙනි.

එම අනාගත ඉලක්ක වෙත දරුවන් ගෙන යා හැකි ගුණාත්මක අධ්‍යාපන අවස්ථා පාසල් පද්ධතිය තුළින් ලබාදීම අත්‍යවශ්‍ය වෙයි. ඉදිරි දශක කිහිපයක අනාගතය දෙස විමසිලිමත් වෙමින්, ලෝක අධ්‍යාපන ප්‍රවණතා කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින්, ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ හොඳින් අධ්‍යයනය කරමින් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ හඳුනාගත් අත්‍යවශ්‍ය වෙනස්කම් නොපසුබටව ක්‍රියාවට නංවන්නට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ පූර්ණ අවධානය යොමුවීම මෙරට දරු පරපුර ලැබූ ඉමහත් ජයග්‍රහණයකි. එතුමන්ගේ දූරදර්ශී නායකත්වය, ද්විතීයික අධ්‍යාපන අවස්ථා වෙත පිවිසෙන දරුවන්ගේ මූලික අධ්‍යාපන අදියර වඩාත් සක්‍රීය, ඵලදායී මෙන්ම ගුණාත්මක බවින් ඉහළටම ඔසවා තබන්නට නිවැරැදි පන්නරක් ලබා දෙයි.

ඒ අනුව, මූලික අධ්‍යාපන අවධිය ගත කරන ඔබේ දරුවන්ට පාසල තුළ ප්‍රීතිමත් හා ප්‍රියජනක ලෙස ගතකිරීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් දැමීමටත්, නිරීක්ෂණය හා ගවේෂණයට පෙළඹවෙන ස්වයං ඉගෙනුමට යොමු කරන ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය ක්‍රමෝපායන් පාසල් අධ්‍යාපනය පද්ධතියට එක්කිරීමටත් මෑතකාලීනව ක්‍රියාවට නැංවූ වැඩසටහන් රැසකි.

ප්‍රාථමික අධ්‍යාපනයට පිවිසි ඔබේ දරුවන් කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කළ යුතු කරුණු හා තත්ත්වයන් පිළිබඳ මවුපියන් වශයෙන් ඔබ ද දැනුවත් විය යුතු බොහෝ දේ පවතී. විභාග මත පදනම් වෙමින් දැනුම ලෙස තොරතුරු එක්රැස් කරනු වෙනුවට, මතක ශක්තිය මැනබැලීමට එහා ගිය නිපුනතාවන්ගෙන් දරුවන් සන්නද්ධ කිරීමේ වගකීම ඔබට ද පැවරෙයි. පාසල් ප්‍රධානීන් මෙන්ම ප්‍රාථමික අධ්‍යාපන ගුරුවරුන් වෙත ද ඒ සම්බන්ධ සුවිශේෂ අවධානය යොමු කළ යුතුව පවතී. වඩාත් ගුණාත්මක සහ ඵලදායී ප්‍රාථමික අධ්‍යාපනයකට ඔබේ දරුවා ප්‍රවේශ කරවීම වෙනුවෙන් රජයක් වශයෙන් අපට ද ඔබට ද පැහැර හැරිය නොහැකි කාර්යභාරයක් පවතී.

ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෑතකාලීන සංවර්ධන ක්‍රියාමාර්ග

* පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35කට සීමා කිරීම

(2016 වසරේ සිට පළමු ශ්‍රේණියට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව එක බැගින් අඩු කර 2021 වනවිට ප්‍රාථමික පන්ති කාමරයක එක් පන්තියක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 35 කිරීම - මේ වසරේ පන්තියක සිටින සිසුන් ගණන 37කි)

* ක්‍රියාකාරකම් මූලික ප්‍රාථමික විෂය නිර්දේශ නවීකරණ 2016 වසරේ සිට හඳුන්වා දී තිබේ.

* විෂය නිර්දේශ නවීකරණ පිළිබඳ ප්‍රාථමික ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාවට නංවා ඇත.

ක්‍රියාකාරකම් පාදක ප්‍රාථමික අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන (Primary learning Resource center) ලබාදීම සඳහා මුල් අදියරේ දී පාසල් 619ක් තෝරාගන්නා ලදී. මේ වනවිටත් ඒ අතුරින් පාසල් 275ක ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකර අවසන් කර තිබේ. මේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය ක්‍රියාකාරකම් කාමරයක් හා කියවීම් කාමරයක් මෙන්ම පන්ති කාමරවලින් ද සමන්විත වෙයි. පාසල්වල අවශ්‍යතාව පරිදි මේ ගොඩනැඟිලි තනිමහල් සහ දෙමහල් වශයෙන් ඉදිකර ඇත)

* පළාත් මට්ටමින් ප්‍රාථමික අධ්‍යාපනය සඳහා බඳවා ගන්නා ලද උපාධිධාරී ප්‍රාථමික ගුරුවරුන් පුහුණුකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම 2018 වසරේ දී සිදුකරන ලදී. ඒ අනුව 2018 වසරේ දී උපාධිධාරී ගුරුවරුන් 3100ක් ප්‍රාථමික ගුරුවරුන් ලෙස පුහුණු කර ඇත.

* ජාතික අධ්‍යාපන ආයතනය මඟින් මේ වසරේ සිට පළමු සහ දෙවැනි ශ්‍රේණි සඳහා ක්‍රියාකාරකම් පාදක ඉංග්‍රීසි පොත සහ ඉගෙනුම් කට්ටලය හඳුන්වා දී ඇත.

* රටේ සියලු දරුවන්ට පූර්ණ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙමින් නොමිලේ සුරක්ෂා සිසු රක්ෂණාවරණ හිමිකම ලබාදී ඇති අතර එය පළමු ශ්‍රේණියට පිවිසෙන දවසේ සිට ඔබේ දරුවාට ද හිමිවෙයි.

* සෑම වසරකම 1-11 දක්වා ශ්‍රේණිවල සියලු දරුවන්ට නොමිලේ පාසල් පෙළ පොත් ලබාදෙන අතර, වසරක් පාසා නොමිලේ නිල ඇඳුම් ලබාගැනීමට හැකි පරිදි නිලඇඳුම් වවුචරපතක් ද හිමිවෙයි.

* පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් දරුවන්ට නිර්මාණය කරදීම වෙනුවෙන් විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ද සියලු පාසල්වල ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙයි.

ඔබේ දරුවාගේ පාසල් අධ්‍යාපන ගමන්මගට සවිමත් පන්නරයක් ලබාදෙමින් සඵලදායී අනාගතයක් වෙත ඔවුන් ප්‍රවේශ කරවීමටත්, අනාගත වැඩලෝකයට සාර්ථකව මුහුණ දිය හැකි මානව සම්පත් ඒ හරහා ගොඩනැංවිමටත් සියලු දෙනාගේ සක්‍රීය දායකත්වය අතිශයින්ම වැදගත් වෙයි. ඒ වෙනුවෙන් සාමූහිකව එක්වන ලෙස ඔබ සැමට ඇරයුම් කරන අතර, ඔබේ දරුවා අරඹන අලුත් පාසල් ජීවිතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවායි සුබාශිංසන එක්කරන්නෙමු.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();