නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් නුවර පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිල මත වැටී තිබුණු පරාජයේ සෙවැණල්ල ඉවතට තල්ලු කරමින් කණ්ඩායමේ ගෞරවය රැක දුන් පිතිකරුවන් දෙදෙනා අතරින් කුසල් මෙන්ඩිස් කැපී පෙනුණි. වේගපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවට පත්වූ මේ තණතීරුවේදී නවසීලන්ත පිලේ ටිම් සවුති ඇතළු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුලු 3ම ලකුණු 13කට බිඳ වැටුණු මොහොතේ හිටපු නායක හා ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් සමග එක්ව ඉනිම පිළිසකර කළ 23 හැවිරිදි මේ පිතිකරුවා ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවේ වසර 2013දීය.
මෑත කාලයේ දැඩි ලකුණු අහේනියකට මුහුණපෑමෙන් විවේචන රැසකට ලක්වූ කුසල් ඊයේ ජයපරාජයෙන් තොරව නිමාවට පත්වූ මේ ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදි නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 141කි. එය ඔහුගේ 6 වැනි ටෙස්ට් ශතකය ද විය.
වසර 2002දී සහන් විජේරත්න ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය අත්කර ගැනීමෙන් පසුව මොරටුව වේල්ස් කුමර විදුහලෙන් එවැනි ගෞරවයක් දිනාගත් දෙවැනි ක්‍රීඩකයා වන කුසල් මෙන්ඩිස් වෙලින්ටන් නුවර දී දැක්වූ දස්කම් ජාත්‍යන්තර විචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක්විය.
ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගැනීමෙන් වසර දෙකකට පසුව එනම්, 2015 ඔක්තෝබර් මාසයේදි බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ඊයේ
තරගයෙන් පසුව වෙලින්ටන් නුවර ක්‍රීඩාගාරයට පියමැන්නේ කාගෙත් ගෞරවය මැදය.
තරගයේ සිවුවැනි දිනය වූ පෙරේදා දිනය නිමාවනවිට නොදැවී ලකුණු 116ක් ලබා සිටි කුසල්ගේ එකම අභිප්‍රාය වූයේ අවසන් දිනය වූ ඊයේ අමතක නොවන ද්විත්ව ශතකයක් රැස් කිරීමටය. එහෙත් වර්ෂාව ඊට හරස් විය. එසේ නොවුවානම් ඔහු පසුවූ ඉහළ මානසිකත්වය හමුවේ ඒ කඩඉමට සේන්දුවීමේ අවස්ථාවත් ඔහුට ලැබීමට ඉඩ තිබිණි.
‘දෙවැනි ඉනිමේ වේලාසනින්ම කඩුලු 3ක් බිඳ වැටුණාට පසුව මා පිතිහරඹයේ නිරතවූයේ මැතිව්ස්ගේ විශිෂ්ට සහයෝගය ලබමිනුයි. නවසීලන්ත වේගපන්දු යවන්නන්ගේ දරුණු පන්දු දෙකක් ඔහුගේ සිරුරේ ගැටීමෙන් පසුව මා වෙත පැමිණ මැතිව්ස් මෙසේ කීවා. කොහොම හරි පන්දුවට මුහුණ දෙන්න. එය සිරුරේ වැදුණාට කමක් නෑ. ඔහු පන්දුවට මුහුණදෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසුව මටත් නිකරුණේ කඩුල්ල පූජා නොකර වැඩි කාලයක් රැඳී සිටීමට අවශ්‍ය ශක්තිය ලැබුණා.‘ කුසල් මෙන්ඩිස් එසේ කීවේය.
‘මම පිට ඉන්නෙන් පිටතට වැටෙන පන්දු හඹා යමින් පහරදීමට උත්සාහ කරන හැම අවස්ථාවකදීම මැතිව්ස් පැමිණ මට උපදෙස් දුන්නා. ඇත්තටම ඒවා මට විශාල රුකුලක් වුණා.‘
නවසීලන්ත වේගපන්දු යවන්නන් හමුවේ නිර්භීතව පිතිහරඹයේ නිරතවූ කුසල් මෙන්ඩිස් සහ ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ වීරයෝ බවට පත්වූහ. ඊට පෙර දිනයේ ලකුණු 116ක් ලබා සිටි කුසල්ගේ බලාපොරොත්තුව වූයේ මේ තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ පිතිහරඹ පුහුණුකරු තනතුරෙන් සමුගැනීමට නියමිතව සිටි ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දෙවරක්ම දිනාගත් හිටපු ටෙස්ට් පිතිකරු තිලාන් සමරවීරට ගෞරවයක් ගෙනදෙමින් ද්විත්ව ශතකයක් රැස් කිරීමටය.
පිතිහරඹයෙන් දැඩි පසුබෑමකට ලක්ව සිටි පසුගිය කාලයේ තම මානසිකත්වය ඉහළ දමාගැනීමටත්, නැවත ලකුණු අතරට පිවිසීමටත් තිලාන් සමරවීරගෙන් ලද උපදෙස් පිළිබඳ ස්තූති පූර්වකව සිහිපත් කරන කුසල් කණ්ඩායමේ සෙසු සගයන් හැඳින්වූයේ සමරවීරගේ සෙවැණැල්ල ලෙසටය. කලක් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් බේරාගත් විශිෂ්ට පිතිකරුවකු වූ සමරවීරට කුසල් මෙන්ඩිස් සමකරමින් කණ්ඩායමේ සගයෝ කුසල්ට නොමඳ දිරියක් ගෙන දුන්හ. කුසල් මෙන්ඩිස් මේ තරගයේදී ක්‍රීඩා කළේ ඔහුගේ සුපුරුදු රිද්මයෙන් නොව ඊට වෙනස් ආකාරයකිනි. එය මුළුමනින්ම තිලාන් සමරවීරගේ පිතිහරඹ රටාවට සමාන එකක් විය.
ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයන් වන අර්ජුන රණතුංගට සහ මහේල ජයවර්ධනට පසුව අවුරුදු 23ක් සම්පූර්ණවීමට පෙර ටෙස්ට් ලකුණු දහස ඉක්මවු ශ්‍රී ලංකා පිලේ තුන්වැනි පිතිකරු වන කුසල් මෙන්ඩිස් ජාතික ක්‍රිකට් පිලේ නොම්මර එකේ පිතිකරු බවට පත්වන පෙරනිමිති පහළ කරමින් සිටී.
ෆවුස් මොහොමඩ්
0 Comments