- ලබන වසරේදී පාසල් ක්‍රීඩකයන්ටත් අවස්ථාවක්
- ජාතික ශූරතාවලිය 27 දා සිට පනාගොඩ දී
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය 38 වැනි වරට සංවිධාන කරන ජාතික ස්කොෂ් ශූරතාවලිය මේ මස 27 වැනිදා සිට සිවු දිනක් පුරා පනාගොඩ යුද හමුදා ජනපදයේ, ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී පැවැත්වේ.
පිරිමි/කාන්තා විවෘත හා ආධුනික ලෙස ප්‍රධාන කොටස් 4කින් සමන්විත මේ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස දෙවැනි වරටත් යුද හමුදාව කටයුතු කරයි.
යුද හමුදාපතිවරයාගේ සංකල්පයක් අනුව ‘නිරෝගීමත් හමුදාවක්, නිරෝගීමත් ජාතියක්’ සහ ‘ජාතින් අතර සංහිදියාව වර්ධනයට ක්‍රීඩාව’ යන තේමාවන්ට අනුව යමින් යුද හමුදාව මෙවර තරගාවලියේ අනුග්‍රාහක කටයුතු සිදු කරයි. හමුදාවට ආවේණික ක්‍රීඩාවක් වන ස්කොෂ් ක්‍රීඩාව නඟා සිටුවීමටත්, මේ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමටත් යුද හමුදාව ලබාදෙන පූර්ණ සහයෝගය හේතුවෙන් ජාතික ස්කොෂ් සංගමයේ ඉල්ලීම පරිදී මේ තරගාවලියට අනුග්‍රහය දැක්වීමට එක්වූ බව තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ කොළඹ පැවැති හමුවකදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවැසීය.
පසුගිය වසරේ යුද හමුදාවේ අනුග්‍රහයෙන් ජාතික ශූරතාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති අතර පනාගොඩ යුද හමුදා ජනපදය තුළ ක්‍රීඩා ජනපදයක් නිර්මාණය කිරීමේ ගමනේදී ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ජාත්‍යන්තර මට්ටමේ ස්කොෂ් ක්‍රීඩාගාරයක් ලෙස නවීකරණය කිරීම හේතුවෙන් මෙවර තරගාවලිය පනාගොඩදී පැවැත්වේ. මේ දිනවල එම ක්‍රීඩාංගණයේදී යුද හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරගාවලිය පැවැත්වෙමින් තිබේ.
මේ වනවිට එම ජනපදයේදී ක්‍රීඩා ඉසව් 37කට පමණ පහසුකම් සපයා ඇති අතර ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයන් 257 දෙනකු ජාතික ක්‍රීඩා සංචිත රැසක් නියෝජනය කිරීමද කැපී පෙනෙයි.
‘මෙරට ක්‍රීඩාවේ දියුණුවට යුද හමුදාවෙන් අතදිය හැකි සෑම අවස්ථාවකම දායකත්වය ලබාදීමට කටයුතු කරනවා. රටේ අනාගතට මනා ශරීරි සෞඛ්‍යයෙන් යුත් දරුවන් බිහි කිරීමටත්, ක්‍රීඩාවෙන් සංහිදියාව ඇති කිරීමටත් කටයුතු කරන අතර ලබන වසරේදී දිවයින පුරා ස්කොෂ් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමටත් අපි කටයුතු කරනවා. රට පුරා යුද හමුදාව ව්‍යාප්තව ස්ථානගතවී ඇති බැවින් එමගින් උතුරේ සිට දකුණටත්, බස්නාහිර සිට නැඟෙහිරටත් ක්‍රීඩාව ගෙන යෑමේ හැකියාව හමුදාව සතුව තියෙනවා.’ යුද හමුදාපතිවරයා පැවැසීය. මේ යටතේ හමුදා කඳවුරු 40ක පමණ ස්කොෂ් ක්‍රීඩාපිටි ඉදිකිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
ලබන වසරේ දී සියළු වයස් කාණ්ඩ සඳහා විවෘත ස්කොෂ් තරගාවලියක් සංවිධාන කරමින් පාසල් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට විශේෂ අවස්ථාවක් ලබාදීමටත් යුද හමුදාව මූලිකත්වය ගන්නා බවද මේ මාධ්‍ය හමුවේදී සඳහන් කෙරිණි.
තරගාවලියේ අවසන් දිනයේ ප.ව.4.30ට විවෘත අංශයේ කාන්තා පිරිමි අවසන් තරග පැවැත්වෙන අතර එම තරග සජීවිව විකාශනය කිරීමට ද කටයුතු යොදා තිබේ.
වසර 1981දී ආරම්භ වූ ජාතික ශූරතාවලියේදී වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවකට හිමිකම් කියමින් 13 වරක් පිරිමි අංශයේ ශූරයා වීමට සමන් තිලකරත්න සමත්ව ඇති අතර කාන්තා අංශයේ වැඩිම ශූරතා දිනාගෙන ඇත්තේ යැෂ්මින් ශාරුක් (7) විසිනි.
පසුගිය වසරේ පැවැති තරගාවලියේදී අඛණ්ඩව 5 වැනි වරටත් පිරිමි ශූරතාව දිනා ගැනීමට රවිඳු ලක්සිරි සමත්වූ අතර මිහිලියා මෙත්සරණ පිට පිට දෙවැනි වරටත් කාන්තා ශූරතාව දිනා ගත්තාය. ඇය 2012-2014 දක්වා ශූරතා ත්‍රිත්වයක්ද දිනා තිබේ.
මේ මාධ්‍ය හමුවේ ජාතික ස්කොෂ් සංගමයේ සභාපති එයාර් කමාන්ඩර් (විශ්‍රාමික) අජිත් අබේසේකර, ලේකම් කමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රියදර්ශන ජයවර්ධන, යුද ස්කොෂ් කමිටු සභාපති ජගත් ගුණවර්ධන මහත්වරුද අදහස් දැක්වූහ. හමුදා ක්‍රීඩා අධ්යක්ෂ මේජර් ජෙනරාල් අනුර සුබසිංහ මහතාසමගින් යුද හමුදා ස්කොෂ් කමිටුවේ නිලධාරීන්, යුද හමුදවේ ක්‍රීඩා කටයුතු සම්බන්ධ නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.
නිරෝෂාන් ප්‍රියංකර
0 Comments