පළමු තරගය ජය පරාජයක් නෑ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යළි වසන්තය උදාවීමේ පෙරනිමිති පෙන්නුම් කළ මහා වීර කාව්‍යයක් බවට පත්වූ යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස්ගෙත්, ප්‍රවීණ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ගෙත් සටන්කාමී පිතිහරඹය වෙලින්ටන් නුවර බේසින් රිසර්ව් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් අතරමග නතරවූයේ දෙපිල අතර පළමු ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත් කරමිනි.
නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 296ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ සංචාරක ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනකුම ලකුණු 13ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට නවසීලන්තයේ වේගපන්දු යවන්නන් සමත්වීමෙන් පසුව කවුරුත් සිතුවේ ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාවී නවසීලන්තයට පහසු ජයග්‍රහණයක් අත්වනු ඇති බවකි. ඇතැම් අනාවැකිවලින් පළවූයේ ශ්‍රී ලංකා පිල ඉනිමක පරාජයක් අත්විඳිනු ඇති බවකි.
එහෙත් කිසිවකු අපේක්ෂා නොකළ අන්දමේ පෙරළිකාර පිතිහරඹයක නිතරවූ එතෙක් ලකුණු අතරට සේන්දුවීමට අසමත්ව සිටි කුසල් මෙන්ඩිස් සහ පළමු ඉනිමේදී ලකුණු 83ක් රැස් කළ ඇන්ජෙලෝ මැතිව්ස් නවසීලන්තයේ බලාපොරොත්තු සුණුවිසුණු කරමින් තරගයේ සිවුවැනි දිනය පුරාම වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනගමින් කඩුල්ලේ රැඳී සිටි අතර අවසන් දිනය වූ ඊයේ තරගය ආරම්භ වී ඕවර 13කට පසුව වර්ෂාව ඇද වැටීම නිසා විසඳුමකින් තොරව තරගය නිමා කිරීමට විනිසුරුවරුන් තීරණය කරන තුරුම කඩුලු රැකගැනීමට සමත්වූහ.
කළෙකට අමතක නොවන පිතිහරඹයක නිරතවූ මේ ක්‍රීඩකයන් දෙදෙනා තරගය නිමාවට පත්වනවිට ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම ලකුණු 287 දක්වා ඉහළට ඔසවා තැබීමට සමත්වූයේ සියලු ගෞරවය ශ්‍රී ලංකා පිල වෙත හරවා තබමිනි. ඒ වනවිට කුසල් මෙන්ඩිස් ලකුණු 141ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 120ක් ද ලබා සිටියහ. දෙදෙනා අතර සිවුවැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 274ක් විය. මනා ඉවසීමකින් යුතුව පිතිහරඹයේ නිරත කුසල් සහ මැතිව්ස් ශ්‍රී ලංකා පිලේ සෙසු පිතිකරුවන්ගේ මානසිකත්වය ඉහළ දැමීමට සමත්වූ අතරම ඔවුනොවුන්ගේ දස්කම් විශිෂ්ට අයුරින් මුවහත් කරගත්හ.
පීඩනකාරී අවස්ථාවලදී ඉතා වේලාසනින්ම පසුබසින මානසිකත්වයක් පසුගිය කාලය පුරාම පෙන්නුම් කළ ශ්‍රී ලංකා පිලට මේ අමතක නොවන ටෙස්ට් තරගය ගෙන දුන්නේ නැවත ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ හිස එසැවීමට කදිම උත්තේජනයකි.
එංගලන්තය හමුවේ තරග 3-0ක ටෙස්ට් තරගමාලා පරාජයක් කරපින්නාගෙන නවසීලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය භූමියේදී දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයෙන් ප්‍රතිවාදීන් මෙල්ල කරන නවසීලන්තය හමුවේ පරාජය වීමට තිබුණු තරගයක් උඩුයටිකුරු කරවූයේ ඉතිහාසයේ පළමුවරටය.
දෙපිල අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන 26 වැනිදා ක්‍රයිස්චර්ච් නුවරදී ඇරැඹේ.
0 Comments