නවසීලන්තයේ වෙලිංටන් හීදී නිමාව දුටු පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදී ලකුණු 203ක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් හිටපු ටෙස්ට් ක්‍රීඩක ටී. එම්. ඩිල්ෂාන් පසු කොට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු වාර්තා කළ 6 වැනි ක්‍රීඩකයා බවට පත්වෙයි. ඇන්ජලෝ මැතිව්ස් මේවන විට ටෙස්ට් තරග 79කදී ලකුණු 5499ක් රැස්කර සිටින අතර එයට ශතක 9ක් හා අර්ධ ශතක 33ක් ඇතුළත් කොට ඇත.
ඩිල්ෂාන් ලකුණු 5492ක් රැස්කර මැතිව්ස්ට පසුපසින් සිටින අතර මැතිව්ස් තවත් ලකුණු 3ක් ලබා ගැනීමෙන් ටෙස්ට් තරග 90කදී ලකුණු 5502ක් ලබා සිටින මාවන් අතපත්තු පසු කිරීමේ අවස්ථාව උදාකර ගනී. දැනට ශ්‍රී ලංකාවේ වැඩිම ටෙස්ට් ලකුණු කුමාර සංගක්කාර (12400), මහේල ජයවර්ධන (11814), සනත් ජයසූරිය (6973) හා අරවින්ද ද සිල්වා ( 6361) ලබා සිටිති. දැනට ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 3887ක් හා දිනේෂ් චන්දිමාල් ටෙස්ට් ලකුණු 3682ක් ලබා සිටිති.
නවසීලන්තයට එරෙහි වෙලින්ටන් ටෙස්ට් තරගයේදී මැතිව්ස් පළමු ඉනිමේදී ලකුණු 83ක් හා දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 120ක් ලබා වාර්තා පොතට පිවිසියේය. ඔහු සමග නොදැවී ලකුණු 120ක් රැස්කළ කුසල් මෙන්ඩිස් ද මෙම වාර්තාවලට සම්බන්ධ විය. වසර 10කට පසු ටෙස්ට් තරගයක සම්පූර්ණ දිනක් පුරා කඩුල්ලක් පූජා නොකළ පිතිකරුවන් දෙදෙනකු ලෙස මැතිව්ස් - කුසල් යුගලය ඉතිහාසයට එක්විය. මෙයට පෙර එවැනි සම්බන්ධතාවක් ගොඩ නැගුණේ වසර 2008දී චිතගෝං හි බංග්ලාදේශයට එරෙහිව ලකුණු 405ක් රැස්කළ නීල් මැකෙන්සි හා ග්‍රෙග් ස්මිත් අතරය.
හිටපු නායක අර්ජුන රණතුංග හා අසංක ගුරුසිංහ කඩුලු බිද වැටීමට නොදී දිනක් පුරා පාකිස්තානයට එරෙහිව ලකුණු 240ක් ලබා ගැනීම මෙයට පෙර ශ්‍රී ලංකාවෙන් බිහිවූ වාර්තාව වේ. එය මෙයට වසර 32කට පෙර 1986දී කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩා පිටියේදී බිහිවුණි. අනතුරුව 1997දී සනත් ජයසූරිය හා රොෂාන් මහනාම ආර්. ප්‍රේමදාස පිටියේදී ලකුණු 283 හා 265ක් ලෙස අවස්ථා දෙකකදී, 2006දී සංගක්කාර හා මහේල එස්. එස්. සී. පිටියේදී ලකුණු 357ක් ලබා මෙවැනිම දස්කම් දක්වා තිබිණි. මේ අතර මැතිව්ස් සහ මෙන්ඩිස් දියත් කළ විශිෂ්ට ඉනිම් හේතුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ඔවුන් දෙදෙනාම සමත්ව සිටිති.
කුසල් මෙන්ඩිස් ද පසුකරමින් මැතිව්ස් ස්ථාන 8ක් ඉදිරියට එමින් ශ්‍රේණිගත කිරීම්වල 16 වැනි තැන අත්කරගෙන සිටින අතර මෙන්ඩිස් 18 වැනි තැන රැදී සිටින්නේ ස්ථාන 2ක් ඉදිරියට එමිණි. ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ස්ථානයක් පහතට වැටෙමින් 13 ස්ථානයේ පසුවන අතර දිමුත් කරුණාරත්න පෙර පරිදිම 7 වැනි තැන රැදී සිටී.
0 Comments