නිරෝෂාන් ප්‍රියංකර
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය තෙවැනි සතිය නිමාවනවිට පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සැරසන්ස් ක්‍රීඩා සමාජයේ නායක මිලින්ද සිරිවර්ධන සමත්ව සිටී. ඔහු තරග 3කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 294ක් රැස්කළ අතර පසුගිය සතියේ බදුරලිය පිලට එරෙහිව වාර්තා කර ලකුණු 175 ඉහළම ඉනිම වෙයි. හලාවත ක්‍රීඩා සමාජයේ හර්ෂ කුරේ අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 291ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවන අතර එන්.සී.සී ක්‍රීඩා සමාජයේ ළහිරු උදාර (270) තෙවැනි තැන අත්කරගෙන සිටී. පසුගිය සතියේ පෙරමුණේ පසුවූ එන්.සී.සී. නායක ඇන්ජලෝ පෙරේරා 5 වැනි තැනට පත්ව තිබේ. ළහිරු මිලන්ත (ද්‍රවිඩ සංගම්) සිවුවැනි තැන සිටී.
පන්දු යවන්නන් අතර පසුගිය සතියේ පෙරමුණ ගත් රාගම ක්‍රීඩා සමාජයේ අමිල අපෝන්සු සමගින් කඩුලු 25 බැගින් දවා ගැනීමට පළමු සතියේ පන්දු යවන්නන් අතර පෙරමුණට පත් එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ තරිඳු රත්නායකද සමත්ව සිටී. එහෙත් තරිඳුට එරෙහිව පිතිකරුවන් ලබාගෙන ඇත්තේ ලකුණු 442ක් බැවින් ඔහු පළමු ස්ථානයේ පසුවෙයි. අපෝන්සුගෙන් ලකුණු 551ක් උදුරා ගැනීමට පිතිකරුවන් සමත්ව ඇත. කඩුලු 16ක් සමගින් සී.සී.සී ක්‍රීඩා සමාජයේ මාලින්ද පුෂ්පකුමාර දෙවැනි තැන පසුවෙද්දී සචිත්ර සේනානායක (එස්.එස්.සී) සහ මොහොමඩ් ශිරාස් (බී.ආර්.සී) පිළිවෙළින් සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවෙති.
ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ලකුණු 29.890ක් ලබාගත් එන්.සී.සී ක්‍රීඩා සමාජය සමත්ව ඇත්තේ පළමු ඉනිමේ ජයග්‍රහණ ද්විත්වයක් සමගිනි. රාගම ක්‍රීඩා සමාජය ලකුණු 29.670ක් සමගින් දෙවැනි තැනත්, ද්‍රවිඩ සංගම් පිල (28.565) තෙවැනි තැනත් පසුවන අතර පසුගිය සතියේ පෙරමුණේ සිටි හලාවත ක්‍රීඩා සමාජය සිවුවැනි ස්ථානයට පත්ව තිබේ.
එස්.එස්.සී පිල දෙවැනි තැනට ඇද දමමින් බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සී.සී.සී ක්‍රීඩා සමාජය සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 35.390ක් සමගිනි. එස්.එස්.සී පිල ප්‍රසාද ලකුණු33.895ක් ලබාසිටින අතර සැරසන්ස් පිල (28.015) තෙවැනි තැන පසුවෙයි.
තරගාවලියේ සිවුවැනි සතියට අදාළව යුද හමුදාව සහ එන්.සී.සී ක්‍රීඩා සමාජය අතර තරග ඊයේ එන්.සී.සී පිටියේදී ආරම්භ වූ අතර අද තරග 5ක් ආරම්භ වීමට නියමිතය.
අද ආරම්භ වන තරග
රාගම - වරාය අධිකාරිය (මුවර්ස්)
හලාවත - මුවර්ස් (කටුනායක)
එස්.එස්.සී - බදුරලිය (එස්.එස්.සී)
මීගමුව - කෝල්ට්ස් (කෝල්ට්ස්)
බී. ආර්.සී - සැරසන්ස් (බී.ආර්.සී)
0 Comments