ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම අනපේක්ෂිත ඉරණමකට ඇද දැමූ ට්‍රෙන්ට් බෝල්ට් අවසන් පිතිකරුවන් 6දෙනාම පන්දු 15ක් ඇතුළත ලකුණු 4ක් පමණක් ලබාදී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීම නිසා ක්‍රයිස්චර්ච් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ තරගය ආරම්භවී ඕවර 9ක් ඇතුළත ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 104කට සීමා විය. තරගයේ පළමු දිනය නිමාවනවිට කඩුලු 4කට ලකුණු 88ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල ඊයේ උදෑසන පිටියට පිවිසියේ නවසීලන්ත පිල පළමු ඉනිමේ ලකුණු 178 පසු කිරීමේ බලාපොරොත්තු අතැතිවය. ඒ වනවිටත් ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනකුම දවාගනිමින් ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් සිටි ටිම් සවුති හමුවේ ආරක්ෂාකාරීව පිතිහරඹයේ නිරතවූ ඇන්ජෙලෝ මැතිව්ස් සහ රොෂේන් සිල්වා ඉනිමට තවත් ලකුණු 7ක් එකතු කළේය. එහෙත් බෝල්ට් යැවූ ශ්‍රී ලංකා ඉනිමේ 37 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවෙන් රොෂේන් සිල්වා දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා පිල දැඩි පසුබෑමකට ලක්විය.
අනතුරුව සිය ඊළඟ ඕවරයේ පළමු පන්දුවෙන් නිරෝෂන් දික්වැල්ල දවාගනිමින් අනපේක්ෂිත තර්ජනයක් එල්ල කළ බෝල්ට් එම ඕවරයේ පස්වැනි සහ හයවැනි පන්දුවලින් පිට පිට තවත් කඩුලු දෙකක්ම දවාලීමෙන් ශ්‍රී ලංකා ඉනිම එහෙම පිටින්ම ඇද වැටිණි. එම ඕවරයේදී බෝල්ට් කිසිදු ලකුණක් ලබානොදුන් අතර ලකුණු 100කට කඩුලු 5ක්ව තිබූ ශ්‍රී ලංකා ඉනිම ඕවරය අවසානයේ දිස්වූයේ ලකුණු 100කට කඩුලු 8ක් ලෙසිනි.
ඉන් නොනැවතුණු බෝල්ට් ඔහුගේ ඊළඟ ඕවරය තුළ ඉතිරි කඩුලු 2ත් දවාලමින් ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 104කට සීමා කළේ සිය කණ්ඩායමට ලකුණු 74ක වාසියක් ද ලබා දෙමිනි. එක් අන්තයකින් පිතිකරුවන් පිට පිට දැවී යද්දී අනික් අන්තයේ අසරණව බලා සිටි මැතිව්ස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 33කි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවන් සිවුදෙනාම බෝල්ට්ගේ පන්දු හමුවේ ලකුණු නොලබා දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.
නවසීලන්තයේ වේගපන්දු යවන්නන් පෙරළිකාර දස්කම් දැක්වූවත් දෙවැනි ඉනිමේ පන්දුවට පහරදීමට පිටියට පිවිසි නවසීලන්තයේ ආරම්භක පිතිකරුවන් කිසිදු අපහසුවකින් තොරව ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට මුහුණදීම කැපී පෙනුණි.
ජීට් රේවල් සහ ටොම් ලෙතම් එක්ව පළමු කඩුල්ලට ලකුණු121ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් දැඩි වෙහෙසට පත් කළ අතර ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබාදී රේවල් පිටියෙන් ඉවත්වූයේ ලකුණු 74ක්ම රැස් කරමිනි. ඔහුගේ දැවීයාමෙන් පසුව නායක කේන් විලියම්සන් සහ ලේතම් එක්ව දෙවැනි කඩුල්ලට තවත් ලකුණු 68ක් එකතු කළහ. ළහිරු කුමාරගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබාදී විලියම්සන් පිටියෙන් ඉවත්වෙද්දී නවසීලන්ත පිලේ ලකුණු සංඛ්‍යාව 189ක් විය.
දිනය නිමාවනවිට නවසීලන්ත පිල සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 231ක් ලබා සිටි අතර කඩුලු 8ක්ම අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 305ක් ඉදිරියෙන් පසුවෙයි.
අද තරගයේ තුන්වැනි දිනයයි.
0 Comments